Home අද ජීඑස්පී ලැබීම අපේ කඩා වැටුණු ආර්ථිකයට සවියක්

ජීඑස්පී ලැබීම අපේ කඩා වැටුණු ආර්ථිකයට සවියක්

3168
0

 ඉදිරි වසර හතර සඳහා යුරෝපයට අපනයනය කරන වෙළෙඳ භාණ්ඩ 7,000ක් සඳහා ජීඑස්පී තීරු බදු සහනය හිමිවීම මෙරට ආර්ථිකයට සුවිශේෂ ලෙස බලපාන බවත්, ස්ථාවරව ඇති ආර්ථිකය ආරක්ෂා වන ආකාරයට ආනයන ලිහිල් කිරීම් කළ යුතු බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් දුනුසිංහ මහතා පැහැදිලි කළේ මෙසේය,

 අන්තර්ජාතික වෙළෙඳාමේදි ජීඑස්පී සහන වැදගත් වෙන්නේ කොහොමද?

ලෝකයේ වෙළෙඳාම සිදුවන ප්‍රධාන ක්‍රමවේදය ලෝක වෙළෙඳ සංවිධානයයි. එහි ක්‍රමවේද අනුව සෑම රටකටම සමාන ආකාරයෙන් තීරු බදු අය කළ යුතුයි. ඒ වගේම අන්තර්ජාතික වෙළෙඳාමේදි එක හා සමාන කොන්දේසි පවත්වාගෙන යා යුතුයි. වර්තමාන තත්ත්වය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලට සංවර්ධිත රටවල වෙළෙඳපොළට පිවි‍සීමේදි විශාල බාධකවලට මුහුණ දීමට සිදු වෙනවා.

මේ නිසා ලෝක වෙළෙඳ සංවිධානය බිහිවීමට පෙර සිට විශේෂ (වරණීය) තීරු බදු ක්‍රමයක් ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින රටවලට සංවර්ධිත රටවල වෙළෙඳපොළට පිවිසීමට අවස්ථාව සලසා තිබුණා. එයට හේතුව සංවර්ධනය වෙමින් පවතින රටවලට එම වෙළෙඳපොළ සමඟ තරග කිරීමට හැකියාවක් නොතිබීමයි. ඒ නිසා යුරෝපා රටවල වෙළෙඳපොළට පිවිසීමේ දි සංවර්ධිත රටවල් අපෙන් පහළ තීරු බද්දක් අය කළා. මේ ක්‍රමවේදය, අමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා ජපානය වැනි රටවල ක්‍රියාත්මක වෙනවා.

මේ වරණීය තීරු බදු පහසුකම් අතරින් වඩා ත්‍යාගශීලි ක්‍රමය තිබෙන්නේ යුරෝපා සංගමයට අයත් රටවලයි. මේ යටතේ ඒ රටවල තෝරා ගත් භාණ්ඩ ගණනාවක් පහළ තීරු බදු යටතේ අපනයනය කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ වාසිය අපේ මත්ස්‍ය නිෂ්පාදන, විසිතුරු මල්, ඇඟලුම් නිෂ්පාදන වැනි දේවල් යුරෝපයට අපනයනය කිරීමේදි විශේෂ සහායක් වුණා.

ජීඑස්පී සහනය යටතේ අපනයන කිරීමේදි සාපේක්ෂව මිල අඩුවීම නිසා ඒ රටවල ගැනුම්කරුවන් අපේ රටවලින් ආනයනය කිරීමට පෙලඹුණා. එයින් අපේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබී තිබෙනවා.

මේ ක්‍රමය යටතේ අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට අමෙරිකාව, යුරෝපය වැනි රටවල පහළ තීරු බදු යටතේ වෙළෙඳපොළට පිවිසීමට අවස්ථාව සලසුණා. මේ යටතේ භාණ්ඩ වර්ග 7,000කට ආසන්න ප්‍රමාණයක් තීරු බදු රහිතව හෝ නැත්නම් අඩු තීරු ගාස්තු යටතේ යුරෝපයට අපනයනය කිරීමට අවස්ථාව ලැබුණා. අපේ ඇඟලුම් කර්මාන්තයේ දියුණුවට ජීඑස්පී සහනය බලපෑවා. 1990 සිට 2005 දක්වා අපේ ඇඟලුම් ලෝක වෙළෙඳපොළට ගියේ කෝටා පහසුකමක් යටතේයි. මේ කෝටා ක්‍රමය නිසා අපේ රටේ ඇඟලුම් කර්මාන්ත ශාලා විශාල වශයෙන් ව්‍යාප්ත වුණා. කෝටා ක්‍රමය අහෝසි වීමෙන් පසු අපේ අපනයනකරුවන්ට යුරෝපා වෙළෙඳපොළට ශක්තිමත්ව මුහුණ දීමට ජීඑස්පී සහනය බලපෑවා.

ජීඑස්පී හා ජීඑස්පී ප්ලස් තීරු බදු සහන අතර වෙනස කුමක්ද?

ජීඑස්පී ප්ලස් සහනය ජීඑස්පී ප්ලස් තීරු බදු සහනයට වඩා ත්‍යාගශීලියි. ජීඑස්පී ප්ලස් තීරු බදු සහනයට සුදුසුකම් ලබන්නේ ලෝකයේ රටවල් සුළු ප්‍රම­ාණයක් පමණයි. අප්‍රිකානු රටවල් කිහිපයක් හා ආසියාවේ සුළු රටවල් සංඛ්‍යාවක් එයට සුදුසුකම් ලබා තිබෙනවා. අපේ රටට ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලැබීම නිසා ජීඑස්පී සහනය ලැබීමට වඩා විශාල ලැබී තිබෙනවා.

ඉදිරි වසර හතර සඳහා ශ්‍රී ලංකාවට ජීඑස්පී සහනය දීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. මෙය මෙරට ආර්ථිකයේ ස්ථායිතාවට බලපාන්නේ කොහොමද?

ජීඑස්පී සහනය ඉදිරි වසර හතර සඳහා හිමිවීම ඉතාමත් ධනාත්මක දෙයක්. එක පැත්තකින් මේ අවස්ථාව වන විට ගෝලිය ආර්ථිකය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. යුක්රේන – රුසියා යුද්ධය නිසා තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ගෑස් මිල ඉහළ ගිහින් තිබෙනවා. ඒ රටවල උද්ධමනය ඉහළ ගොස් තිබෙන නිසා ඇඟලුම් මිලදී ගැනීම් අඩුව තිබෙනවා. 2020 වසරේ ජන – ජූලි මාස සමඟ සසඳන විට පසුගිය මාස 6 තුළ රෙදි පිළි අපනයනය සියයට 15කින් පමණ පහළ ගිහින් තිබෙනවා. රුසියාව යුක්රේනයට සූරියකාන්ත තෙල්, තිරිඟු පිටි වගේ දේවල් අපනයනය කිරීමට බාධා කර තිබෙන නිසා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින් තිබෙනවා. එවැනි ආර්ථික තත්ත්වයක් යටතේ ගෝලිය ආර්ථිකයේ මිලදී ගැනීමේ ශක්තිය පහළ ගොස් තිබෙනවා.

මෙයට අමතරව දේශීය වශයෙන් ගත්විට රැකියා අහිමිවන තත්ත්වයක් දකින්න ලැබෙනවා. කඩා වැටුණු ආර්ථිකය යම් ආකාරයකට හිස ඔසවන්න උත්සාහ කරන බවක් දකින්න ලැබෙනවා. ගෝලීය හා දේශීය ආර්ථික තත්ත්වය තුළ ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලැබීම විශාල පිටිවහලක්. අර්බුදකාරී තත්ත්වයෙන් ක්‍රමානුකූලව ගොඩයන්න අවස්ථාවක් වෙනවා.

ජීඑස්පී තීරු බදු සහනය දීමේදි යම් යම් කොන්දේසි පැනවීමක් සිදු වෙනවාද?

මේ කාරණය ජීඑස්පී තීරු බදු සහනය ලබා ගැනීමේදී ඉතාම වැදගත් කාරණයක්. ප්‍රධාන වශයෙන්ම කම්කරු නීති ආරක්ෂා කිරීම වැදගත් කොට සැලකෙනවා. එයට අමතරව පාරිසරික නීතිවලට අනුගතවීම වැදගත් වෙනවා. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම, පුද්ගල නිදහස ජීඑස්පී සහනය දීමේදී සැලකිල්ලට ගන්නවා.

මේවා කොන්දේසි විදිහට සැලකිය යුතුද යන්න අප අවධානයට ගත යුතුයි. මානව පරිණාමයත් එක්ක ශිෂ්ටසම්පන්න ලෝකය වැලඳගන්නා ගුණාංග. අපි පරිසරය ආරක්ෂා කළත්, කම්කරු නීති හා භාෂණ නිදහස ආරක්ෂා කළත් ඒවා අපට කවුරුවත් කොන්දේසි දාලා කියන්න ඕනෑ නැහැ. ඒවා ඇත්තටම ආරක්ෂා කළ යුතුයි. මේවා කොන්දේසි හැටියට අපට පෙනෙන්නේ අ‍ප වැනි රටවල් මේවා උසස් ගුණාංග විදිහට නොසලකන නිසයි.

Previous articleප්‍රංශ ජනාධිපති අද රාත්‍රියේ දිවයිනට
Next articleආර්ථික අර්බුදය නිසා මිනිස්සු බිස්කට් කන්නේ නැහැ – අනුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here