Home අද අල්ලස් දුෂණ නීතිය දැන් පෞද්ගලික අංශයටත් වලංගුයි

අල්ලස් දුෂණ නීතිය දැන් පෞද්ගලික අංශයටත් වලංගුයි

22193
0

වසර 30 ට පමණ පසුව ශ්‍රී ලංකාව සඳහා අල්ලස දුෂණය මෙන්ම වත්කම් බැරකම් සම්බන්ධ නීති අලුත් කරමින් නව පනතක් සම්මත කරගැනීමට පාර්ලිමේන්තුව පසුගියදා කටයුතු කළ අතර ඒ අනුව නව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවක් ඉදිරියේදී පිහිටුවීමට නියමිතය.

සම්මත වු නව පනත මගින් රටේ අල්ල දුෂණය තුරන්කිරීමේ වැඩපිළිවෙලට කොතරම් දායකත්වක් ලබාගැනීමට හැකිවේද යන්න සම්බන්ධයෙන් මෙම පනත සකස් කිරීමට ආරම්භයේ සිටම දායක වු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා සමඟ ඉරිදා ලංකාදීපය සිදුකළ සාකච්ඡාව ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

අල්ලස දුෂණය වෙනුවෙන් නව නීතියක්

රටතුළ අල්ලස දුෂණය පිටුදැකීම සම්බන්ධයෙන් වන කතිකාව බොහෝ කලක සිට සිදුවන අතර කෙසේ වෙතත් රටේ මෙම නීතියේ පුර්ණ වෙනසක් වුයේ වසර 30 ට පමණ පසුව වීම විශේෂත්වයකි. ඒ සඳහා නව වැඩපිළිවෙලක් සකස් වීම සිදුවු අකාරය සරත් ජයමාන්න මහතා පැහැදිලි කළේ මෙලෙසිනි.

“දුෂණ විරෝධි පනත ඒකමතිකව සම්මත කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවු නිසා ගෙවුනු සතිය සුවිශේෂි සතියක් බවට පත්වෙනවා. විශේෂයෙන්ම 1994 දී අල්ලස් කොමිෂන් සභාව  පිහිටුවලා වසර 29 ට පසුව තමයි මෙලෙස අල්ලස පිළිබඳ නීතිය වෙනස් වෙන්නේ. 2004 එක්සත් ජාතීන්ගේ අල්ලස දුෂණය පිළිබඳ ප්‍රඥප්පතියට ශ්‍රී ලංකාව  අත්සන් කළත් ඒ සඳහා අනුගතවීමක් සිදුවුනේ නැහැ. කොහොමඋනත් මේ රටින් අල්ලස හෝ දුෂණය පිටු දැකීමට  අපිට රටක් ලෙස යුුතුකමක් තිබෙනවා.  රටේ සංවර්ධනයට බලපාන තීරණාත්මක සාධකයක් තමයි අල්ලස දුෂණය තුරන් කිරීම

අල්ලස දුෂණය සම්බන්ධයෙන් නීති සකස් කිරීමේදී අපි පසුපසින් සිටියත් ලෝකමට්ටමින් ඉදිරියට පැමිණ තිබෙන රටවල් රැසක් තිබෙනවා. මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේදී  අපිට ඒවායේ ආදර්ශ ලබාගන්න පුළුවන් වුනා. විශේෂයෙන්ම අල්ලස් දුෂණය තුරන්කළ රටවල් අතර මුලින්ම සිටින්නේ  ස්කැන්ඩිනේඩියානු රටවල් . මුල් රටවල් 25 අතර ආසියානු රටවල් 03 සිටිනවා. ඒ අංක 03 ලෙස සිංගප්පුරුව අංක 15 ලෙස හොංකොං සහ අංක 25 ලෙස භුතානය යි. අපේ නීතිය සකස් කිරීමේදී මේ රටවල් වල සහය ලබාගැනිමටත් ඔවුන් අධ්‍යනය කිරීමටක් අපි යොමුවුනා. අලුත් ශක්තිමත් නීතියක් අල්ලස දුෂණය වෙනුවෙන් සම්මත කරගැනීමේදී පැවති නීතියේ තිබුණු අඩුපාඩු මොනවද කියලා සොයා බලන්න වෙනවා. 2016 වසරේ නොවැම්බර් මාසයේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ලෙස පත්වීමෙන් පසුව මම ඇතුළු කණ්ඩායම  එක්සත් ජාතින්ගේ සංවිධානයේ උදව් ඇතිව මේ සම්බන්ධයෙන්  අධ්‍යයනයන් කළා. මෙහිදී අපි අවධාරණය කරගත් ප්‍රධානම කාරණය තමයි අල්ලස දුෂණය තුරන් කිරීමට නම් මහජනතාවගේ විශ්වාසය දිනාගත් ආයතනයක් තිබෙන්නට අවශ්‍යයි යන කාරණය.  එය සැබෑ ලෙසම ස්වාධීන විය යුතුයි. පත්වීම කාර්යභාරය සහ වැඩ කරනවිට ස්වාධීන විය යුතුයි. මේ සියල්ල අවධානයට ගනිමින් අලුත් පනත් කෙටුම්පත සකස් කළා. පසුගිය සතියේ සම්මත වුන පනත 2019 වන විට මුල් කෙටුම්පත් කරලා තිබුණේ. නමුත් ඊට පසුව රාජ්‍ය පාලනයේ  සිදුවුන වෙනස්කම් සමග එය සම්මතවීම ප්‍රමාද වුණා. පසුගිය සතියේදී සම්මත කරගැනීමට හැකිවුයේ එලෙස ආරම්භකළ පනත් කෙටුම්පතයි.”

කොමිෂන් සභාව වෙත සාමාජිකයින් පත්කිරීම්

නව පනත යටතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීමේදී විශේෂයෙන් අවධානය යොමුකර ඇති අතර කොමසාරිස්වරුන් පත්කිරීමේදී ඔවුන්ගේ වයස අවුරුදු 62 ට වඩා අඩුවිය යුතු බවටද නීති හදුන්වා තිබේ. එලෙස සිදුව ඇති නව වෙනස්කම් සම්බන්ධයෙන් ජයමාන්න මහතා පැහැදිලි කළේ මෙලෙසිනි.

“කොමිෂන් සභාව වෙත කොමසාරිස්වරුන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සිදුකරන්නට භාරදි තිබෙන්නේ ස්වාධීනබව තහවුරු කිරීම සඳහා. මෙම කොමසාරිස්වරුන් පත්කිරීමේදි ඔවුන්ගේ කුසලතා නිරික්ෂණය කර පත්කිරීම් කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට වගකීමක් තිබෙනවා. ඒවගේම කොමිෂන් සභාවට පත්වන කොමසාරිස්වරුන් වයස අවුරුදු 62 ට වඩා අඩු විය යුතුයි කියලා මේ පනත මගින්ම තීරණයක් ගෙන තිබෙනවා. එය බොහොම වැදගත් කාරණයක්. එවගේම මෙම පුද්ගලයින් පත්කරන විට මේ විෂය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස්කරගන්නට ඔවුන්ට බලය තිබෙනවා. කොමිෂන් සභාවට සාමාජිකයින් තුන්දෙනා තෝරාගැනීමේදි ඒ වෙනුවෙන් ලොකු වගකීමක්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තිබෙනවා. මොකද භෞතිකව සහ මානසිකව යෝග්‍ය පුද්ගලයින් කොමසාරිස්වරුන් ලෙස පත්කරගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු කාරණයක්.

කොමිෂන් සභාව හරහා සිදුකරන විමර්ශන වලට අදාළව නඩු පැවරීම් වලදී අධිචෝදනා පත්‍රයට අත්සන් කරන්නේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා. මේ නිසා ඔහුව පත්කිරීමේදී ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. නව පනත අනුව ඔහු පත්කළ යුත්තේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවයි.  මීට පෙර එම පත්කිරීම සිදුකළේ ජනාධිපතිවරයා විසින්.”

කොමිෂන් සභාවට අවශ්‍ය මුදල් ලබාගැනීම

දුෂණ විරෝධී නව පනත මගින් කොමිෂන් සභාවේ වියදම් සහ අවශ්‍ය මුදල් සම්බන්ධයෙන් තීරණය ගැනීමේ අයිතිය කොමිෂන් සභාවට ලබාදී තිබිමෙ වැදගත් තත්වයකි. කොමිෂන් සභාවට අවශ්‍ය පරිදි වියදම් සඳහා මුදල් ලබාගැනීම පසුගිය තත්වය යටතේ දුෂ්කරකාර්යක් වි තිබුණු අතර නව පනත මගින් එයද වෙනස් කර තිබේ. මේ සම්බන්ධයෙන් සරත් ජයමාන්න මහතා පැහැදිලි කළේ මෙලෙසිනි,

“මහා භාණ්ඩාගාරය ලබාදෙන මුදලින් යැපීමට මීට පෙර දී කොමිෂන් සභාවට සිදුව තිබුණා. මේ නිසා අත්‍යවශ්‍යම  කටයුතු සඳහා මුදල් නොලැබෙන අවස්ථාද තිබුණා. ඒවගේම කොමිසන් සභාවේ නිලධාරින් ලෙස පොලිස් නිලධාරීන් 200 පමණයි සිටියේ. පොලිසියට අවශ්‍ය වෙලාවට එම නිලධාරීන් නැවත පොලීසියිට කැදවන්න පුළුවන්. මේ නිසා කාර්යමණ්ඩලය සම්බන්ධයෙන් ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. ඒවගේම මුල්‍ය විගණනය , ගණකාධිකරණය , විද්‍යාත්මක ක්ෂේත්‍රය , ඉංජිනේරු විද්‍යාව , මානව කළමණාකරණය  පිළිබඳ දැනුම ඇති පුද්ගලයිනුත් මේ සඳහා අව්‍යයි. ඒ අනුව තමයි අලුතින් හදන කොමිෂන් සභාවට අවශ්‍ය මුදල් වෙනුවෙන් ඇස්තමේන්තු සකස් කරගන්න ඔවුන්ට හැකියාව ඔවුන්ට ලබාදී තිබෙන්නේ. ඒවා පාර්ලිමේන්තුව හරහා ලබාගන්නට ඔවුන්ට අවස්ථාව තිබෙනවා. ඒවගේම තමන්ට අවශ්‍ය දක්ෂතම විශේඥයින් තමන්ගේ විමර්ශකයින් ලෙස බඳවා ගන්නට කොමිෂන් සභාවට දැන් හැකියාව තිබෙනවා.  ඒ අනුව විමර්ශකයෝ ලෙස ඔනෑම ක්ෂේත්‍රයක අයෙක් බදවාගන්න පුළුවන්. ඔවුන් ස්ථීර මෙන්ව තාවකාලික ලෙස බදවාගන්න අවස්ථාව තිබෙනවා. එය බොහොම වැදගත් සංශෝධනයක්. මේ නිසාම රටේ ජනතාවට විද්වතුන්ට නරඹනන් ලෙස සිටි කාලය අවසන් වෙනවා. අල්ලස දුෂණය තුරන් කිරීමට සහය දෙන්න දැන් පුරවැසි ඔබටත් අවස්ථාව තිබෙනව.”

සංශෝධනය වී ඇති නීතීන්

අල්ලස් හෝ දුෂණ පනත , වත්කම් බැරකම් නීතිය , කොමිෂන් සභා පනත යන නීතින් තුන වෙනුවට නව දුෂණ විරෝධී පනත හදුන්වා දි ඇති මේ හරහා නීතියේ සිදුව ඇති සංශෝධන පිළිබඳව ජයමාන්න මහතා විස්තර කළ අතර එම වෙනස්කම් සිදුවන්නේ මෙසේය,

“වර්ෂ 1954 දි මුලින්ම අල්ලස් පනත ඉදිරිපත් වුණා. 1975 වත්කම් බැරකම් නීතිය හදුන්වා දුන්වා.  1994 කොමිෂන් සභා පනත ඉදිරිපත් වුණා. එතෙක් අල්ලස් දුෂණ විමර්ශනය කළේ අල්ලස් දුෂණ දෙපාර්තමේන්තුවෙන් . ඒ අවස්ථාවේදී නඩු පැවරීම සම්බන්ධයෙන් තීරණය ගත්තේ නීතිපතිවරයා. 1994 පසුව කොමිෂන් සභාවක් නිර්මාණය වුණා. නමුත් එලෙස නීතියක් ගෙන ආ පමණින් ශක්තිමත් කොමිෂන් සභාවක් ඇතිවෙන්නේ නැහැ. ඔවුන්ට මුදල්, නිලධාරීන් මෙන්ම වැඩ කිරීම් සම්බන්ධයෙන් ද ඔවුන් ස්වාධීන විය යුතුයි. අලුතින් හදුන්වා දුන් දුෂණ විරෝධී පනත මගින් මෙම පනත් තුනෙහි පැවති නීති වෙනුවට ශක්තිමත් එක නීතියක් ඇතිවී තිබෙනවා.

ඒ වගේම මේ පරණ පනත් තුන යටතේ දැනටමත් උසාවියේ පවතින නඩු , විමර්ශන ආරම්භකර ඇති කටයුතු වලට ආදි කිසිම දෙයකට බලපෑමක් වෙන්නේ නැහැ. ඒවා ඒ ආකාරයෙන්ම ඉදිරියට යනවා.

නව පනත ක්‍රියාත්මක වීමෙන් පසුව කිසියම් තැනැතෙක් මේ පනතට කලින් සිදුවන වැරද්දක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරනවානම් ඒ වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ බලය කොමිෂන් සභාවට තිබෙනවා. මොකද පරණ පනත් වල හදුනාගෙන තිබෙන වැරදි මේ නව පනත තුළත් ඇතුලත් කර තිබෙනවා. නමුත් මේ පනත මගින් අලුතින් හදුන්වලාදී තිබෙන වැරදි සම්බන්ධයෙන් ( පරණ පනතේ නොතිබුණ වැරදි)  අතීතයට බලපාන ලෙස නඩු පරවරන්න බැහැ.

උදාහරණයක් ලෙස බැදියාවන් අතර ඝට්ටනට , පුද්ගලික අංශයේ අල්ලස් ලබාගැනීම් , විදේශිය රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් මේ ආකාරයේ අලුත් වැරදි මේ පනත මගින් හදුන්වා දී තිබෙනවා. ඒවා සඳහා අතීතයට බලපාන ලෙස නඩු පවරන්න බැහැ. ඒ වගේම නඩු අහලා උසාවියෙන් තින්දු දීලා අවසන් කර තිබෙන නඩු වලට අලුතින් නඩු පවරන්න බැහැ. “

අලුත් වු වත්කම් බැරකම් නීතිය

නව පනත යටතේ වත්කම් බැරකම් නීතිය වඩා බලත්වී ඇති අතර වෙනස්කම් රැසක් සිදුව තිබෙනවා. ඒ සියල්ල සම්බන්ධයෙන් සරත් ජයමාන්න ජනාධිපති නීතිඥවරයා දීර්ඝ පැහැදිලිකිරීමක් සිදුකළ අතර වත්තම්බැරකම් නිතිය වෙනස් වන්නේ මෙසේය,

“පරණ වත්කම් පනතට වඩා බොහොම පොහොසත් ප්‍රතිපාදන මේ නව පනතේ තිබෙනවා. මෙතෙක් වත්කම්බැරකම් ප්‍රකාශ ලබාදීමට නියමවී තිබුණු කොට්ඨාශයට වඩා වත්කම් බැරකම් ලබාදිය යුතු ප්‍රමාණය වැඩි කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා , ආණ්ඩුකාරවරුන් , පළාත් සභා මැති ඇමතිවරුන් , පළාත් පාලන ආයතන සභිකවරුන් , සියලුම මහජන නියෝජිතයින්ගේ කාර්ය මණ්ඩල , මහජන සංස්ථාවල නිලදාරීන් , දේශපාලන පක්ෂවල සියලු තනතුරු හොබවන්නම් , මැතිවරණ සඳහා අයදුම්කරන සියලු අපේක්ෂකයින්  කොමිෂන් වල සභාපති ඇතුළු සාමාජිකයින් ලංකාව නියෝජනය කරන තනාපතිවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු කාණ්ඩයට ඇතුළත් වෙනවා. ඒවගේම තීරණාත්මත රාජකාරි කරන මැද පංතියේ නිලදාරීන් සිටින බොහෝ රාජ්‍ය ආයතන තිබෙනවා . ඔවුන්ද මේ යටතට අයත් වෙනවා. ඒවගේම අල්ලස් ලබාගැනීමට හේතුවන තනතුරු දරන නිලධාරීන් සම්බන්ධයෙන් අවධානය යොමුකරන ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට අදාළ රෙගුලාසි නිකුත් කරන්න කොමිෂන් සභාවට බලය තිබෙනවා. ඒවගේම තවදුරටත් වත්කම්  බැරකම් ලබාදිය යුත්තේ කවුදැයි තිරණය කිරීමට කොමිෂන් සභාවට දැන් හැකියාව තිබෙනවා.”

වත්කම් බැරකම් ප්‍රකාශයට එහාගිය තොරතුරු

“පරණ පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ පමණයි ලබාදුන්නේ. නමුත් මේ අලුත් නිතිය යටතේ වත්කම් බැරකම් වගේම ආදායම් වියදම් ලබාදීමත් අනිවාර්යයි.  එවගේම ඔවුන්ගේ අනිතුත් බැදියාවන් අනාවර්ණය කිරීම අනිවාර්යයි.  ඒවගේම දැනට වත්කම් බැරකම් ලබාදෙන්නේ රජයේ සේවයට ඇතුළත්වනවිට සහ වසරකට වරක් කරන යාවත්කාලීන කිරීමක් ලෙසයි. නව පනත යටතේ එය එසේම තිබෙනවා. එවගේම රජයේ සේවයට සමුදීමෙන් පසුව වසර දෙකක් යනතුරු වත්කම් බැරකම් ලබාදිය යුතුව තිබෙනවා. දේශපාලඥයින් මහජන නියෝජිතයින් ඇතුළු සියලු දෙනා මේ පනත යටතේ රජයේ නිලධාරින් ලෙස හදුනවා තිබෙනවා. ඔවුන් සියලු දෙනා මේ ආකාරයට වත්කම් බැරකම් ලබාදීම කළ යුතු වෙනවා. ඒවගේම තමන්ගේ ආදායම හදිසියේම රුපියල් මිලියන 02 ට වඩා වැඩි උවහොත් වත්කම් බැරකම් ප්‍රකාශය යාවත්කාලීන කිරිම අනිවාර්යෙන් කළ යුතු වෙනවා. මින් ඉදිරියට වත්කම් බැරකම් ප්‍රකාශය අතින් ලියා සම්පුර්ණ කර ලබාදිය යුතු නැහැ. එය ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට මාර්ගගත ක්‍රමට ඔස්සේ ලබාදීමට හැකියාව තිබෙනවා. එලෙස එය යාවත්කාලීන කළ සැනින් අදාළ පුද්ගලයාට සහ ආයතන ප්‍රධානියාට ඒ පිළිබඳ රිසිට්පතක් ලැබෙනවා. ඒව‌ගේම වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති කාර්යාලයට පාර්ලිමේන්තුවට වගේ විවිධ තැන්වලට ලබාදිය යුතු නැහැ.  සියලු දෙනා වත්කම් බැරකම් ලබාදිය යුතු වන්නේ එකම ස්ථානයකට පමණයි. ඒ අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ එකකයටයි. ජනාධිපතිවරයාද තම වත්කම් බැරකම් ප්‍රකාශය ලබාදිය යුතු වන්නේ එම ඒකකයට. මෙම විශේෂ එකකට රටේ අනිතුත් ආයතන හා සම්බන්ධ වෙමින් අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා.”

වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම

“වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම තුළ අපේ රටේ සංස්කෘතිය නිසා විවිධ ප්‍රශ්න ඇතිවීමට පුළුවන්. මේ නිසා වත්කම් බැරකම් ප්‍රකාශ සම්පුර්ණයෙන් අනාවරණය නොකර සංස්කරණය කළ එකක් ප්‍රකාශයට පත්කරනවා. උදාහරණයක් ලෙස අදාළ පුද්ගලයාට බැංකු ගිණුම් කීයක් තිබෙනවාද ඉඩම් කීයක්  තිබෙනවාද නිවාස කීයක් තිබෙනවාද ආදී ලෙස තොරතුරු පමණක් වෙඩ් අඩවියක ප්‍රසිද්ධ කරණවා. ඒවිට එකරුණු සත්‍ය ද අසත්‍යද කියා මහජනතාවට සොයාබැලීමටත් අසත්‍ය කරුණු වෙනුවෙන් පැමිණිලි කිරිමටත් හැකියාව තිබෙනවා.

නියමිත දිනයට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන පුද්ගලයින්ට නව නීතිය යටතේ එකවරම නඩු පවරන්නේ නැහැ. ඔවුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන්න මාසයක්  ප්‍රමාද  උනොත් මාසයක වැටුපට සමාන අධිබාරයක් අයකරනවා මාස දෙකක් පරක්කු උනොත් මාස 06 ක වැටුපට සමාන අධිබාරයක් ගන්නවා. මාස තුක් පරක්කු කළොත් නඩු දමනවා.  වත්කම් බැරකම් ප්‍රකාශ නොදීම , ප්‍රමාද කිරීම සහ අසත්‍ය තොරතුරු දීම , යන වැරදි වලට කලින් පැවති රුපියල් 1000 ක දඩය වෙනුවට දඩය රුපියල් ලක්ෂ 02 සහ වසරක සිරදඩුවමක් ලෙස සංශෝධනය කර තිබෙනවා. මෙය ලොකු වෙනසක් වෙයි කියලා අපි  විශ්වාස කරනවා.”

අලුතින් එකතුවන නීති

මෙතේක අල්ලස හෝ දුෂණ වරදවල් ලෙස හදුනාගෙත තිබු කරුණු වලට අමතරව අලුතින් කරුනු හදුන්වා දී ඇති අතර එම අලුත් නීතී මේසේය,

“නව පනත මගින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අල්ලස් කොමිසමට බලය පබාදී තිබෙනවා , ඒ වගේම බැදියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට  වත්කම් නැවත ලබාගැනීමේ ප්‍රතිපාදන ඇතුළත් කර තිබෙනවා. එලෙස වත්කම් නැවත ලබාගැනීමට චෝදනා ලබන පුද්ගලයින් වැරදිකරුවිය යුතුයි. ඒනිසා පුළුල් ලෙස විමර්ශන සිදුවිය යුතුයි. ඒවගේම අල්ලසින් දුෂණයෙන් උපයාගත් දේපල නැවත ලබාගැනීම සඳහා තවත් විශේෂ නීතියක් හදුන්වා දෙනවා. වෙනත් රටවල් වල තිබෙන දේපල සම්බන්ධනේ ඒ ඒ රටවල් පවසන්නේ නැහැ. එයට සුවිශේෂි නිති අවශ්‍යයි.  ඒවෙනුවෙන් අපි කටයුතු කරගෙන යනවා. අල්ලස දුෂණය යටතේ ලිංගික පහස ලබාගැනීම වරදක් ලෙස හදුන්වා දී තිබෙනවා. මෙම නීතියට  ස්ත්‍රී දුෂණය , බරපතල අපයෝජ මෙන්ම ඉලෙක්ට්‍රෙිනික මාධ්‍ය ඔස්සේ ශරීරය පෙන්විමත් ලිංගික අපයොජනයක් ලෙස මේ පනත මගින් හදුනාගෙන තිබෙනවා.”

පෞද්ගලික අංශය වෙනුවෙනුත් නීති

අල්ලස දුෂණයේදී මෙතෙක් අවධානය යොමුව තිබුණේ රාජ්‍ය පාර්ශවය වෙනුවෙන් පමණී. නමුදු නව පනත යටතේ රාජ්‍ය අර්ධ රාජ්‍ය මෙන්න පෞද්ගලික අංශය වෙනුවෙන්ද අල්ලස දුෂණය වරද හදුන්වා දී තිබෙන අතර එලෙස අලුතින් හදුන්වාදී තිබෙන නීති සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා පැහැදිලි කලේ මෙසේය,

“පුද්ගලික අංශයේ අල්ලස් දුෂණ ක්‍රියාවන් සිදුවීම රටේ ආර්ථිකයට බලපානවා.  උදාහරණයකට සුපිරි වෙළඳ සංකීරණයකට භාණ්ඩ සැපයීම්ක් සම්බන්ධයෙන් කතාකළොත් එහි භාණ්ඩ සපයන වෙළෙන්දන්ගෙන් එක් අයෙකුගෙන් පමණක් භාණ්ඩ ලබාගන්නවා. ඒ සඳහා එම වෙළෙන්දා ඔහුට අල්ලසක් ලබාදෙනවා. එවිට එළවඵ විකුණන තැනැත්තා භාණ්ඩයේ වටිනාකම වැඩිකරනවා. මේනිසා පාරිභෝගිතයාට අසාධාරණයක් වෙනවා. මේ ආකාරයට පුද්ගලික අංශයම දුෂණයට අල්ලසට යටඋනොත් ආර්ථිකට පරිහානියට පත්වෙනවා. රාජ්‍ය සේවකයෝ පුද්ගලික අංශයෙන් අල්ලස් ගන්නවා කිව්වත් කිසිවෙක් පැමිණිලි කරන්නේ නැහැ. පුද්ගලික අංශයේ අල්ලස් දුෂණ වංචා සිදුවන බව අපි දන්නවා. මේ පනතෙන් පසුව දැන් ඒ සඳහාත් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අවුරුදු හතක සිරදඩුවම හෝ මිලියනයක මුදලක් මේ සඳහා දඩුවම ලෙස නියම කර තිබෙනවා.”

ජනතාව ලෙස ඔබ

පනතක් සම්මත වු පමණින් සියල්ල වෙනස් නොවන අතර එය ක්‍රියාත්මක කරගැනීම වෙනුවෙන් පුරවැසියන් ලෙස ජනතාවටද වගකීමක් ඇති බව සරත් ජයමාන්න මහතා අවධාරණය කරන අතර රටේ අල්ලස දුෂණය තුරන් කිරීමේ ක්‍රියාවලියට දායක වීමටද ඔවුනට දැන් අවස්ථාව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

“ ජනතාව ලෙස තවදුරටත් ‍ඔබ නිහඩවෙන්න එපා. බොරුවට හොරු ඇල්ලුවද කියලා අහන්න එපා. අල්ලස් නොදී ඉන්න ඔබට වගකිමක් තිබෙනවා. අල්ලස දුෂණය වලක්වා ගැනීමට ක්‍රමවේදයක් සකස්කර ගන්න රාජ්‍යයට බලකිරිමේට ඔබට හැකියාව තිබෙනවා. තොරතුරු දැනගැනිමේ පනත භාවිත කර මේ සම්බන්දයෙන් සොයාබැලීමට ඔබට හැකියාව තිබෙනවා. මේ සියල්ල භාවිතයට ගන්න කියලා මේ රටේ මහජනතාවගෙන් මම බොහොම වගකීමෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

Previous articleලබන මාසයේ සිට ඉන්ධන මිල සූත්‍රය අලුත් වෙයි
Next articleදිනේෂ් ශාෆ්ටර්ගේ සමීප මිතුරෙකුත් අභිරහස් ලෙස මියයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here