Home අද ආනයන සීමා ඉවත් කිරීම පිළිවෙළකට විය යුතුයි

ආනයන සීමා ඉවත් කිරීම පිළිවෙළකට විය යුතුයි

2306
0

මෙරට ආර්ථිකය පසුගිය කාලයේදී විශාල අර්බුදයකට ලක්ව තිබුණි. ඒ තත්ත්වය තුළ අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා මෙරටට විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ දහසකට අධික ප්‍රමාණයක් සඳහා ආනයන සීමා පනවා තිබුණි. එහෙත්, වර්තමානය වන විට මෙරට ආර්ථික තත්ත්වය කෙමෙන් ස්ථාවර තත්ත්වයකට පත්වීම තුළ එම ආනයන සීමා ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ. මෙම සීමා ඉවත් කිරීම මඟින් මෙරට ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳව ආර්ථික විශ්ලේෂක චිත්‍රාල් ජයවර්ණ මහතා දිනමිණ පුවත්පත සමඟ කළ සංවාදක් මෙසේ දැක්වේ.

මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ දහසකට වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීම සීමා කරනු ලැබුවේ 2022 වර්ෂයේ මුල් කාලයේ සිටයි. එහෙත්, දැන් වාහන හැර අනෙක් සියලු භාණ්ඩවලට පනවා තිබූ සීමාව ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මේ තත්ත්වය මෙරට ආර්ථිකයට සිදු කරන්නේ කුමන බලපෑමක්ද?

මේ විදිහේ ආනයන භාණ්ඩ මෙරටට ගෙන ඒම සීමා කළේ ඇයි ද කියලා අපි මුලින්ම සලකා බැලිය යුතුයි. ඒ තත්ත්වයට රට පත්වන්න හේතු මොනවාද කියන එක සලකා බැලිය යුතුයි. එයට ප්‍රධාන හේතු කිහිපයක් බලපානු ලැබුවා. එයින් ප්‍රධාන කරුණු බවට පත් වුණේ වෙළෙඳ හිඟයක් ඇතිවීම, ප්‍රමාණවත් විදේශ සංචිත නොමැති වීම ඇතුළු කරුණු ප්‍රධාන ලෙස බලපානු ලැබුවා. මෙරට වෙළෙඳ හිඟය ඇති වීමට ප්‍රධාන ලෙස බලපානු ලැබූ ප්‍රධාන කරුණු බවට පත්වූයේ අවශ්‍ය නොවන දේ පවා මෙරටට ආනයනය කළා. ඒ සියලු දේ නිසා මෙරට සතු මුදල් විදේශයන් වෙත ඇදී ගියා. මේ සියලු කරුණු මෙරට විදෙස් සංචිත පහළ යාමට හේතුවක් වුණා. ඒ නිසා තමයි රජය ආනයන සීමා පැනවීම සිදු කරනු ලැබුවේ.

ඒ වගේම අප රට කාලයක් තිස්සේ සම්ප්‍රදායික අපනයන ආර්ථිකයක් පිළිබඳව විශ්වාසයෙනුයි වැඩ කළේ. එහෙත්, පසුගිය කාලය තුළ මෙරටට දේශීය සම්ප්‍රදායික කර්මාන්ත හා කෘෂි කර්මාන්තයද බිඳ වැටුණා. ඒ වගේම මෙරටට සැලකිය යුතු ආදායමක් ගෙන එනු ලැබූ සංචාරක කර්මාන්තයද 2018 වර්ෂයෙන් පසු කඩා වැටීමකට ලක් වුණා. 2018 වර්ෂයේදී මෙරට සංචාරක කර්මාන්තයෙන් පමණක් ඩොලර් බිලියන හයකට කිට්ටු ප්‍රමාණයක් ලබා ගත්තා. එහෙත්, පසුව පැමිණි කොවිඩ් වසංගතය සහ දේශපාලන ගැටලු නිසා සංචාරක කර්මාන්තය විශාල කඩා වැටීමකට ලක් වුණා. එයත් මෙරට ආර්ථිකයට ප්‍රබල විදිහට බලපානු ලැබුවා. ඒ අතර අපේ සම්ප්‍රදායික කෘෂි නිෂ්පාදන අපනයනය වගේම ඇඟලුම් කර්මාන්තය ද පහළ යාමකට ලක් වුණා. අද වන විට අපේ ඇඟලුම් කර්මාන්ත ශාලා රැසක් මෙරටින් ඉවත් වෙමින් බංග්ලාදේශය වැනි රටවල් වෙත ගමන් කරමින් තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය පිළිබඳව නිසි විදිහට තේරුම් ගෙන නව සැලසුම් නව මාර්ග ඔස්සේ කටයුතු කිරීමට අප දැන් උත්සාහ කළ යුතුයි. එහෙම කළොත්, අපේ ආර්ථික තත්ත්වය ස්ථාවර තත්ත්වයකට පත් කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා.

නැවතත් අපේ සංචාරක අංශය පිබිදීමකට ලක්වෙමින් තිබෙනවා. ඒ නිසා අපට මේ ඔස්සේ යම් ආර්ථික ස්ථාවර තත්ත්වයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ආනයන ලිහිල් කිරීමේදී අප රටක් විදිහට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සහ මේ වන විට රජය ගෙන තිබෙන ක්‍රියා මාර්ග පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

ආනයන සීමා ඉවත් කිරීම යම් ස්ථාවර පිළිවෙළක් අනුව කළ යුතුයි. එහෙම නොවුණොත් එය නැවත හානිදායක තත්ත්වයක් වීමට ඉඩ තිබෙනවා. මෙහිදී රටේ ආර්ථිකයට වඩාත් හොඳ දේ තෝරා ගෙන ලිහිල් කිරීම් කළ යුතුයි. ආණ්ඩුව දැන් සිදු කරගෙන යමින් තිබෙන්නේ එයයි. මෙහිදී අප සලකා බැලිය යුතු අනෙක් කරුණක්ව තිබෙන්නේ මෙරට නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ මෙරටට ආනයනය කිරීම නවතා දැමීම කළ යුතුයි.

පසුගිය කාලයේදී මෙරට ආර්ථිකයට සවියක් වන කෘෂිකර්ම උපකරණ ආනයනයට ද සීමා පනවා තිබුණා. ඒ තත්ත්වය ගැන ඔබේ අදහස කුමක්ද.?

ඔව්. කෘෂි කර්මාන්තයට සහ මෙරට කර්මාන්ත නැංවීමට අවශ්‍ය කරන උපකරණ සඳහා පනවා තිබෙන සීමා ඉවත් කිරීම කළ යුතුයි. එමඟින් මෙරට ආර්ථිකය වෙත නව පණක් ලබාදීමට හැකියාව ලැබෙනවා. එහෙත් දැන් කෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති ආර්ථික දැති රෝදය සෙමෙන් සහ ස්ථාවරව කැරකීමට ඉඩ ලබා දිය යුතුයි. ක්‍රමානුකූලව කැරකැවීමට ඉඩ ලබා නොදී ඒකේ රිද්මය වෙනස් කළොත් නැවත ආර්ථිකය බිඳ වැටීමකට ලක්වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානයෙන් යුතුව කටයුතු කළ යුතුයි.

මෙම ආනයන සීමා ඉවත් කිරීම නිසා ඩොලරයේ අගය නැවත ඉහළ යාමට හේතුවක් වීමට ඉඩ තිබෙනවා නේද ?

නැහැ. එහෙම වෙන්න කිසිම ඉඩක් නැහැ. දැන් මෙරටට විදේශ විනිමය නැවත පැමිණෙමින් තිබෙනවා. ඒ නිසා සීමා ඉවත් කිරීම නිසා මෙරට ආර්ථිකය තුළ ඩොලරයේ මිල නැවත වේගවත් විදිහට ඉහළ යාමට ඉඩක් නැහැ. දැන් තත්ත්වය අනුව ඩොලරය රුපියල් 320ත් අතර ස්ථාවර වෙමින් තිබෙන්නේ. 2020 තිබූ තැනට ඩොලරයේ අගය පහළ යාවී කියලා එයින් මම කියන්නේ නැහැ. එහෙත්, අනාගතයේ මෙරටට නැවත විදේශ ආධාර ලැබීමේ ප්‍රවණතාවය අනුව ඩොලරයේ මිල රුපියල් තුන්සියයෙන් පහළට පැමිණීමටත් අවස්ථාව තිබෙනවා. ඒ නිසා නැවත සීමා ඉවත් කිරීම නිසා ඩොලර‌ෙය් අගය විශාල ලෙස ඉහළ යාමක් හෝ විදේශ විනිමය හිඟයක් ඇති වීමට ඉඩක් නැහැ.

එහෙත්, ආනයන සීමා ඉවත් කළ ද වාහන මෙරටට නැවත ආනයනය කිරීම ගැන අවධානය යොමු කර නැහැ. ඔබ සිතන්නේ නැවත වාහන මෙරටට ගෙන්වීම නුසුදුසු කරුණක් විදිහටද ?

මගේ අදහස අනුව නම්, මේ අවුරුද්ද තුළ මෙරටට වාහන ආනයනය කිරිම එතරම් සුදුසු දෙයක් විදිහට මම හිතන්නේ නැහැ. ලබන අවුරුද්දේ මැද භාගය දක්වා වාහන මෙරටට ගෙන්වීම සීමා කරන්න පුළුවන්නම් එය වඩාත් සුදුසු ආර්ථික උපක්‍රමයක් බවයි මගේ හැඟීම. නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කළහොත් මෙරටින් විදේශ වෙත විශාල ඩොලර් ප්‍රමාණයක් ඇදී යනවා. නැවත ස්ථාවර වෙමින් තිබෙන මෙරට ආර්ථිකයට ඒ තත්ත්වය එතරම් සුදුසු තත්ත්වයක් විදිහට සලකන්න බැහැ.

එහෙත් වාහන ආනයනය කිරීමේදි පනවන බදු නිසා මෙරට රාජ්‍ය ආදායමට විශාල ඉපැයීමක් කරන්න පුළුවන්. එහෙත්. වාහන ගෙන්වීම සීමා කිරීම නිසා ඒ ආදායම අහිමි වෙනවා. මෙය මෙරට රාජ්‍ය ආදායමට බලපෑමක් නොවෙයිද?

ඒ ආකාරයේ බලපෑමක් සිදු වෙන බව පෙනුණත් එයට සාපේක්ෂව සිදු වන වෙනත් නාස්ති පිළිබඳව ද අවධානය යොමු කළොත්, මේ සියලු තත්ත්වයන් වැළැක්වීමට පුළුවන්කම ලැබෙනවා.

මෙරට අපනයන 7% ක ඉලක්කයක් වෙත ඉදිරියේදී යොමු කරන බවට ආණ්ඩුව විශ්වාසය පළ කරනවා. මේ ඉලක්කය වෙත රැගෙන යාමට හැකියාවක් තිබෙනවාද? ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක කළ යුත්තේ කොහොමද?

ඔව්. ඉදිරි වසර දෙක තුළදී විදේශීය ණය ගෙවීම් සඳහා යන ගමනේදී අපනයන ඉලක්කයන් සපුරා ගන්නේ කොහොමද යන්න පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතුයි. ඉදිරි වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ අපනයනය 7% ඉලක්කයට එහා ගිය සියයට 10ක ඉලක්කයක් කරා ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපායික සැලැස්මක් සකස් කරන්න ඕනෑ. ඒ සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් ද සකස් කළ යුතු වෙනවා. ඒ වගේම අප රටේ අපනයනය සඳහා සම්ප්‍රදායික වෙළෙඳපොළවලින් මිදී අලුත් වෙළෙඳපොළ ද නිර්මාණය කළ යුතු වෙනවා.

උදාහරණයක් ලෙස ඉන්දියාව ලෝකයේ අනෙකුත් රටවල් අබිබවා ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. ඉන්දියානු ජනගහනය ලෝක ජනගහනයෙන් 25%කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරනවා. මේ අනුව ඉන්දියාවේ ජනතාවගේ ජීවන රටාව සහ ආර්ථිකමය රටාව වෙනස් වෙමින් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ අපනයනයන් සඳහා කෙටිම මාර්ගය වශයෙන් ඉන්දියාව හඳුනාගත යුතුව තිබෙනවා. ඉන්දියාවේ වෙ‌ෙළඳපොළ අප රට විසින් ආක්‍රමණය සඳහා ප්‍රමුඛ සැලැස්මක්, ක්‍රමෝපායික සැලැස්මක් සකස් කිරීම ඉතාමත් වැදගත් දෙයක් විදිහට සඳහන් කළ හැකියි.

එසේම මැද පෙරදිග රටවලවල වෙළෙඳපොළ පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා. එම රටවල වෙ‌ෙළඳපොළවල් කෙසේද? විශේෂයෙන් ඩුබායි රාජ්‍යය තුළ සංචාරක කර්මාන්තය ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා. එහි සංචාරක කර්මාන්තයට රුකුලක් සපයන්නේ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳපොළයි. එ් නිසා මේ හා සමගාමීව අපේ දේශීය හා ස්වර්ණාභරණ කර්මාන්තය එම රටවල ප්‍රචලිත කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකියි. මෙවැනි ආකාරයේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මඟින් මෙරට දේශීය ආර්ථිකය සහ වෙළෙඳපොළ නව දිශාවක් වෙත යොමු කළ හැකියි.

මේ සඳහා ඇති කළ හැකි නව ක්‍රමවේදයන් සහ නව වැඩපිළිවෙළ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ හැකිද?

ශ්‍රී ලංකාවේ අපනයනවල අගය එකතු නොකළ භාණ්ඩ මොනවාදැයි යන්න හඳුනාගෙන ඒ සඳහා අලුතෙන් අගය එකතු කළ හැකි අංශය මොනවාද කියා සොයා බැලිය යුතුයි. ඒ සඳහා අපනයනකරුවන් දිරිගැන්වීම කළ යුතුයි. ඒ වගේම සම්ප්‍රදායික අපනයනයෙන් මිදී ලෝක වෙ‌ෙළඳපොළට අවශ්‍ය නව භාණ්ඩ නිෂ්පාදනය සඳහා දිරිගැන්වීම් කළ යුතුයි. ඒ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මේ සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම කළ යුතුයි. එය අනිවාර්යයෙන් සහ කඩිනමින් විය යුතු දෙයක් විදිහටයි සැලකිය යුත්තේ. නව අපනයන වෙළෙඳපොළවල් සොයා ගැනීම සඳහා තානාපති සේවයට විශාල කාර්යභාරයක් සිදු කළ හැකියි. ඒ සඳහා තානාපති සේවාවලින් සැලැස්මක් ගෙන්වාගෙන එම සැලැස්ම අධ්‍යයනය කොට ඔවුන්ට ඒ සඳහා මාර්ගෝපදේශනයක් ලබා දීම කළ යුතුයි. එහෙම වුණොත්, අපට අපේ අපනයන ඉලක්ක වඩාත් හොඳ තත්ත්වයකට පත් කළ හැකියි. ලෝක වෙළෙඳපොළේ තරගකාරී භාණ්ඩ සඳහා වගේම තත්ත්වයෙන් උසස් කරලීම සඳහාත් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා තත්ත්ව සහතිකයන් අනිවාර්ය කළ යුතුයි. එමඟින් අපේ දේශීය භාණ්ඩ සඳහා ජාත්‍යන්තර අගයක් එකතු වෙනවා.

 

Previous articleපාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් එකඟ නම් 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ හැකියි
Next article“ජනතාවට අස්වැසුමෙන් සහනයක් වෙන්න රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍යයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here