Home අද බදු ගෙවන අය රටට සම්පතක්

බදු ගෙවන අය රටට සම්පතක්

1944
0

ආදායම අතිශය වැදගත්ය. එහෙත් මෙරට පුද්ගලික ආදායම් ලිපිගොනු ලක්ෂ 5ක් පමණ තිබුණත් ඉන් බදු ගෙවනුයේ 31,000ක් තරම් ප්‍රමාණයක් බව ඉකුත්දා පාර්ලිමේන්තුවේ ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය. එසේම, මෙරට රජයේ ලියාපදිංචි කළ සමාගම් 105,000ක් වුවත් සමාගම් බදු ආදායමෙන් 82%ක් ලැබෙන්නේ සමාගම් 362කින් වන බවත් හෙතෙම පෙන්වා දුනි. මේ අනුව අපි දැන් මෙරටට අය විය යුතු බදු කල් නොයවා අය කර දීමේ කර්තව්‍යයේදී මහඟු මෙහෙවරක් ඉටු කෙරෙන බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයතිලක මහතා දිනමිණ පුවත්පත සමග සිදුකළ සාකච්ඡාව ‌‌මෙසේ ඉදිරිපත් කරමු.

 

මුලින් අපි කොමිසමේ ස්වභාවය පිළිබඳ හඳුනා ගනිමු?

කලින් බදු සමාලෝචන මණ්ඩලය වශයෙන් පැවැති මෙය 2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ යාවත්කාලීන කරමින් බදු අභියාචනා කොමිෂන් සභාව පිහිටුවා තියෙනවා. මුදල් ඇමැතිවරයා විසින් මේ සඳහා සභාපති ඇතුළු සාමාජිකයන් 9 දෙනකු පත් කරනු ලබනවා. ඒ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනකු, මහාධිකරණයේ විශ්‍රාමික විනිශ්චයකාරවරු තිදෙනකු හා රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික දෙදෙනකු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලැබූ නිලධාරියෙක් වශයෙනුයි. සතියේ වැඩකරන දිනවල පෙරවරු 10ටත් නැවත සවස 2ටත් සැසිවාර පවත්වමින් අභියාචනා විභාග කිරීම් කරනවා. එසේම, නීති උපදෙස් සඳහා විශේෂඥ දැනුම ඇති නීතිඥවරුන්ගෙන් උපදෙස් දෙනවා. මඟ පෙන්වීම් කරනවා. මෙය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාත් රජයත් අතර ඇති ස්වාධීන ආයතනයක්.

බදු අභියාචනයක් ගොනු කරන්නේ කොහොමද ?

එය අපහසු නැහැ. මහජනතාවගේ පහසුව පිණිස ඉතා සරලව, ලිපියක ස්වරූපයෙන් වුණත් අභියාචනය, බදු අභියාචනා කොමිෂන් සභාවේ ලේකම් වෙත ලිඛිතව යොමු කළ හැකියි. සාමාන්‍යයෙන් මෙතෙක් බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා යොමු කෙරුණේ මුලින් දේශීය අාදායම් අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනා කිරීමෙන් පසුවයි. එවිට එම දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳ නැවත සලකා බලා ලිඛිතව තීරණයක් දෙනවා.

එහෙත්, අභියාචනාකරු ඊටත් එකඟ නොවන විටදී, එසේත් නැතිනම් එයිනුත් සාධාරණයක් ඉටු වී නැතැයි හැඟෙනවා නම් තමයි, බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කරන්නේ. මුලින් ලිඛිතවත් ඉන් අනතුරුව වාචිකවත් දෙපාර්ශ්වයට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙහිදී ලැබෙනවා. ඒ අනුවයි පසුව දෙපාර්ශ්වය පිළිබඳ සලකා බලා තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන්නේ. මූල්‍ය සීමාවකින් තොරව පොදුවේ සියලු බදු අභියාචනා කොමිෂන් සභාවට යොමු කෙරෙනවා. ඒ සියල්ලට අදාළ විභාග කිරීම් නොපමාව කිරීමට කොමිෂන් සභාවේ විනිශ්චය මණ්ඩලය ඇතුළු උපාධිධාරින්ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලය ඇප කැප වී සිටිනවා.

එසේම, දේශීය අාදායම් නව සංශෝධන පනතට අනුව දැන් දේශීය අාදායම් කොමසාරිස් ජනරාල්වරයාට ඉදිරිපත් කළ අභියාචනා විභාග කෙරෙමින් පවතිද්දීම ඔහුගේ තීරණය මාස 07කට වඩා ප්‍රමාද වන්නේ නම්, බදු අභියාචනා කොමිෂන් සභාවටත් අභියාචනය කිරීමේ හැකියාවත් දැන් පවතිනවා. පෙරට වඩා වැඩි අභියාචනා ගණනක් දැන් ලැබෙන්නට එම කරුණත් බලපෑ බවක් හඳුනාගත හැකියි. කලින් පැවැති ආකාරයට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ තීන්දුවට අදාළ කරුණු සවිස්තරව මාසයක් ඇතුළත දන්වන්නැයි බදු අභියාචනා කොමිෂන් සභාව මඟින් දන්වනවා. එයින් බදු ගෙවන්නාගේ අභියාචනය දක්වනවාට වඩා වෙනස් ඇස්තමේන්තුවක් සකස් කිරීමට හේතු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කරනවා.

දැන් අපි ඊළඟ පියවරට යොමු වෙමු?

බදු අභියාචනා කොමිසම ඉදිරියේ අභියාචනා කළ පාර්ශ්වයටත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ අනෙක් පාර්ශ්වයත් යන දෙපිරිසම කැඳවීමට දින වකවානු නිකුත් කරනවා. අභියාචනය කළ තැනැත්තාම කොමිෂන් සභාවේ පෙනී සිටිය යුතු බවට නියමයක් නැහැ. ඒ තැනැත්තාගේ නියෝජිතයන්ට මෙහි පෙනී සිටීමේ හැකියාව පවතිනවා. ඉඳහිට නීතිඥවරු සහභාගි වන අවස්ථා දක්නටත් පුළුවන්. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් සහකාර කොමසාරිස්වරු ආදීන් බොහෝ විට අභියාචනා විභාග කෙරෙන අවස්ථාවලට සහභාගි වෙනවා.

කොළඹ පිහිටි බදු අභියාචනා කොමිෂන් සභාවේ කාර්යාල සංකීර්ණයේ අභියාචනා විභාග කිරීමට යොදා ගන්නා ශාලා දෙකක් තිබෙනවා. එහිදී විශ්‍රාමික විනිසුරුවරු දෙදෙනෙක් සහ විශ්‍රාමික පරිපාලන නිලධාරියකුගෙන් සමන්විත මණ්ඩල තුනක් වශයෙන් අභියාචනා විභාග කරනවා. ඒ අනුව සතියකදී අභියාචනා 90ක් පමණ විභාගයට ගැනෙනවා. ප්‍රමාදයකින් තොරව අභියාචනා විභාග කිරීමේ කටයුතු හමාර කිරීමයි අපේක්ෂා කෙරෙන්නේ. මේ වන විට අභියාචනා ලැබීමේ වැඩිවීමක් පෙන්නුම් කිරීමත් දක්නට පුළුවන්.

කාගේත් අපේක්ෂාව ප්‍රමාදයකින් තොරව අභියාචනා විභාග කිරීමයි ?

ඇත්තෙන්ම. ඉකුත් කොරෝනා වසංගතය පැවැති කාලයේදී පැවැති බාධා හමුවේ කොමිෂන් සභාවේ කටයුතුවලටත් බාධා පැමිනුණා. ඇත්තෙන්ම, රජයට විශාල වශයෙන් බදු අයවිය යුතුව තිබුණත් නිසි ක්‍රමවේදය අනුව අභියාචනා ආදියට ගතවන කාලය තරමක් දීර්ඝ වීම නිසා එම මුදල් ලැබීම් පමා වෙනවා. ඇතැම් විට එවැනි එක් නඩුවකින් පමණක් රුපියල් බිලියන ගණනක බදු ආදායම් රජයට අයවූ අවස්ථා හඳුනාගත හැකියි.

විශාල වශයෙන් ආදායම් ලබන සමාගම්, ව්‍යාපාර හෝ පුද්ගලයන් ආදීන් අභියාචනාකරුවන් වශයෙන් මේ කොමිෂන් සභාවෙන් සාධාරණය අපේක්ෂා කරනවා. ඉතින් අභියාචනාවලට අදාළ කරුණු සමථයකට පත් වීමෙන් ඒ මුදල් රාජ්‍ය ආදායමට බැර වෙනවා. මේ කොමිසමේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ කාලච්ඡේද වසර මැදදීත් අවසානයේදීත් යෙදෙනවා. ඒ අනුව ඉකුත් වසරේදී රුපියල් 519,362ක් වාර්තා වෙනවා. ඊට වඩා වැඩි ප්‍රගතියක් මේ වසරේ මුල් මාස 6ට අදාළව රුපියල් බිලියනයක් ඉක්මවූ එනම්, රුපියල් 1,027,992,282ක් වශයෙන් ගණනය කර තිබෙනවා. එසේම, 2023 වර්ෂය ආරම්භයේදී පැවැති අභියාචනා 825න් 155කට අදාළව ඉකුත් ජුනි මාසය වන විට තීන්දු දීමට බදු අභියාචනා කොමිසමට හැකියාව ලැබී තිබෙනවා. ඉකුත් වර්ෂයේදීත් අභියාචනා 174කට අදාළ තීන්දු බදු අභියාචනා කොමිසමෙන් නිකුත් කර තිබෙනවා.

බැංකු ඇපකරයක් ගැනත් අහන්න ලැබෙනවා?

යම් ආයතනයක් හෝ තැනැත්තෙක් බදු අභියාචනාවක් කොමිෂන් සභාවට බාර දෙන විට ඒ තැනැත්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට තිබෙන මුළු බදු මුදලෙන් ආපසු ගෙවනු ලබන 25%කට අදාළ බැංකු ඇපකරයක් හෝ මුදලින් ඇප තබනවා නම් ආපසු නොගෙවන 10%ක තැන්පතුවකුත් මෙහි තැබිය යුතු වීමත් එක් නිර්ණායකයක්. ඒ ඇපකරය, අභියාචනාකරු අභියාචනාවෙන් ජය ගතහොත් නැවත ඒ තැනැත්තාටම ලැබෙනවා. නොඑසේ නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවට යොමු කෙරෙනවා. වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් මේ අනුව බදු අභියාචනා කොමිෂන් සභාවේ කටයුතු හරහා රජයට ලැබෙනවා.

ඒත්, බදු අභියාචනා කොමිෂන් සභාවේදී සමථකරණයට ඉඩ ලැබෙනවා. එය ඉතා වැදගත්. දෙපාර්ශ්වය මිත්‍රශීලී වාතාවරණයකදී ඉතා සුහදව, අන්‍යෝන්‍ය ගරුත්වය ආරක්ෂා වන පරිදි ඔවුනොවුන්ගේ රහස්‍ය භාවයත් උපරිමයෙන් ආරක්ෂා කරමින් පොදු එකඟතාවකට පැමිණීමට ඉඩ සැලසීම මෙහි විශේෂත්වයක්. අධිකරණයමය කටයුතුවලට යොමු වීමට වඩා බොහෝ බදු ගෙවන්නන් මෙහිදී කරුණු සමථයකට පත් කර ගැනීමට වැඩි කැමැත්තක් පෙන්වන බවක් දක්නට පුළුවන්.

සෘජුවම අභියාචනාධිකරණයට යාමට වඩා බදු අභියාචනා කොමිෂන් සභාව හමුවට පැමිණීම පාර්ශ්වකරුවන් වැඩි කැමැත්තක් දක්වනවා. එවිට සමථයකට පත්වන තැන සිට ඉදිරියට කටයුතු කෙරෙනවා. නොඑසේ නම් බදු අභියාචනා කොමිෂන් සභාවෙන් දෙන තීන්දුවට එකඟ නොවේ නම්, අභියාචනා කළ පාර්ශ්වයට අභියාචනයටත් එතැනින් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනා ඉදිරිපත් කළ හැකියි. ඇත්තෙන්ම, බදු ගෙවන්නන් රටකට සම්පතක්. ඒ අනුව එම තැනැත්තන් මෙරට වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වන බවත් නොරහසක්. නොඑසේ නම් බදු අභියාචනා කොමිෂන් සභාවෙන් දෙන තීන්දුවට එකඟ නොවේ නම්, අභියාචනා කළ පාර්ශ්වයට අභියාචනාධිකරණයටත් එතැනින් පසුවත් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනා ඉදිරිපත් කළ හැකියි. වාණිජ මහ අධිකරණයේ නඩු තීන්දුවලදී අභියාචනා කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ඒ අනුව අභියාචනා සඳහා ගත වන කාලය අඩු වෙනවා. මෙහිදී ද අභියාචනා සඳහා ගත වන කාලය අඩු කිරීමට එය ආදර්ශයට ගත හැකියි.

එසේම, බදු අභියාචනා කොමිෂන් සභාවට අවුරුදු 3ක ධුර කාලයකටයි සභාපති ඇතුළු සාමාජිකයන් පත් කරන්නේ. ඉන් පසුව නැවත අලුතෙන් මුදල් අමාත්‍යවරයා විසින් පත් කිරීම් කෙරෙනවා. ඒ අනුව ඉකුත් වර්ෂයේ ජුනි මසදී පැවැති කොමිෂන් සභාවේ කාලය නිම වුණා. ඉන් දෙමසක කාලයකට පසුවයි දැන් කටයුතු කරන බදු අභියාචනා කොමිෂන් සභාව පත්වුණේ. ඒ අනුව මා සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාම ලත් එස්. අයි. ඉමාම් විනිශ්චයකාරවරයාද අභියාචනාධිකරණයේ විශ්‍රාම ලත් සුනිල් රාජපක්ෂ විනිශ්චයකාරවරයාද විශ්‍රාමික මහාධිකරණ විනිසුරු එස්. කේ. වීරවර්ධන, අයි. එම්. අබේරත්න, එස්. වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීන් සමඟ විශ්‍රාමික සිවිල් පරිපාලන නිලධාරින් වන බී. ජේ. ජයරත්න, ජී. ඩී. සී. ඒකනායක, ජී. ඩී. කේ. අමරවර්ධන යන මහත්ම මහත්මීන් කටයුතු කරනවා. එසේම, තවත් උපදේශකවරු 10 දෙ‍ෙනක් ද කොමිසම නියෝජනය කරනවා.

ඒත්, අභියාචනා විභාගයේදී ඇතැම් විට බලපාන ගැටලු ගැනත් අහන්න ලැබෙනවා?

අභියාචනා කරන දෙපාර්ශ්වය අදාළ කරුණු දැක්වීම් අභියාචනා විනිසුරුවරුන්ගේ දෙපස සිට සිදු කෙරෙනවා. ඒත්, ඇතැම් විට ඒ කරුණු දැක්වීම් එම ශාලාවේම කෙළවරේ සිටින නීති උපදේශකවරුන්ට නෑසෙන බවට මැසිවිලි නැඟෙන අවස්ථා තියෙනවා. ඒ ගැටලුව අවම කිරීමට සන්නිවේදන උපකරණ නවීකරණය හෝ අලුතෙන් යෙදවීම වැදගත්. රජයේ වියහියදම් සීමා කිරීමේ රජයේ ප්‍රතිපත්තිමය තීරණ යටතේ ලිපි ද්‍රව්‍ය හිඟයේ සිට කාර්ය මණ්ඩලයේ අඩුකම, වාර්ෂික පුහුණුවීම් පමා වීම් ආදිය දක්වාම විවිධ දුෂ්කරතා පැවතියත් උපාධිධාරින් බහුතරයකින් සැදුම්ලත් කොමිෂන් සභාවේ සීමිත කාර්ය මණ්ඩලය උපරිමයෙන් වැඩ කොටස ඉටු කරනවා. එසේම, දේශීය ආදායම් බදු සංශෝධන පනතට අනුව බදු අභියාචනා කොමිෂන් සභා පනත සංශෝධන කටයුතුවලට අදාළ මූලික පියවර මේ වන විට ගෙන තිබෙනවා. ඒ කටයුතු තවදුරටත් කඩිනම් වන්නේ නම්, එය කොමිසමේ කටයුතුවලට පහසුවක්.

අභියාචනා කටයුතු හමාර වූ විට අභියාචනාව ඉදිරිපත් කළ පාර්ශ්වය ජය ගත් විට ඔවුන් තැබූ බැංකු ඇපකරය නැවත ගෙවිය යුතුයි. එහිදී අභියාචනය යොමු කළ මුල් අවස්ථාවේදීම තැබූ බැංකු ඇපකරය රජයේ බැංකු ගිණුමට බැර කරනවා. නැවත ඉන් මුදල් රැගෙන දීමට යම් කාලයක් ගත වෙනවා. ඒ කාලය හැකි තරම් අඩු කිරීමට නිතර උත්සාහ දරනවා.

Previous articleසෞඛ්‍ය ක්ෂේත්‍රයට ජනපතිගෙන් නියෝගයක්
Next articleවසර 10කට පසුව යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 512,000 ක් වගා කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here