Home අද මහ බැංකු අධිපතිගේ සහතිකය බැංකු පිළිගනීයි

මහ බැංකු අධිපතිගේ සහතිකය බැංකු පිළිගනීයි

692
0

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වාගෙන යනු ඇති බවට කරන ලද සහතිකය හා ඒ සම්බන්ධ අදාළ ක‍්‍රියාවලිය පිළිබඳව සපයන ලද පැහැදිළි කිරීම ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) පිළිගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ ආචාර්ය වීරසිංහගේ එම ප‍්‍රසිද්ධ නිවේදනය මගින් වැදගත් ගැටළු ආවරණය කර ඇති අතර ඉදිරි දේශීය ණය ප‍්‍රශස්තකරණය (DDO) හෝ දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම (DDR) මගින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට බලපෑමක් සිදු නොවන බවටත් එමගින් බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතන වල තැන්පත්කරුවන්ට කිසිඳු ආකාරයකින් අහිතකර බලපෑමක් සිදු නොවන බවටත් නිශ්චිත සහතිකයක් ඇතුලත් කර ඇති බවය

ශ්‍රී ලංකා බැංකු සංගමය SLBA පැවසූයේ බැංකු අංශය සඳහා ලබා දෙන දින පහක නිවාඩුව රජය තුළ DDO/DDR උපාය මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප‍්‍රමාණවත් දින කාලයක් ලබා දීමට සහ මහජනතාවට සහ වෙළඳපොළ සහභාගීවන්නන්ට ආවර්ජනය කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහා බව මහ බැංකු අධිපතවරයා පැහැදිළි කර ඇති බවයි.

මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට අමතරව, DDO/DDR උපාය මාර්ග ප‍්‍රකාශයට පත් කළ යුතු බවටත්, විවාදයක් මගින් පාර්ලමේන්තුවේත්, කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ, හා රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමේ නිසි ක‍්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතු බවටත්, මහ බැංකු අධිපතවරයා සිදුකළ ප‍්‍රකාශය ද සංගමය පිළිගෙන ඇත.

මෙම දින පහක නිවාඩුව තුළ සාමාන්‍ය පරිදි ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර, මාර්ගගත සහ වෙනත් ඩිජිටල් ක‍්‍රම හරහා තම බැංකු සේවා ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට හැකි බව ද මහ බැංකු අධිපතවරයා පැහැදිලි කල බව සඳහන් කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය SLBA පෙන්වා දුන්නේ බැංකුවල ප‍්‍රාග්ධන සහ ද්‍රවශීලතා අනුපාත, නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවතින බව හා බැංකු විසින් මෙම දර්ශක කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බවයි.

ශ්‍රී ලංකා බැංකු සංගමය SLBA මගින් ශ්‍රී ලංකාවේ සියලූම බලපත‍්‍රලාභී බැංකු නියෝජනය කරන බවත් සාමාජිකයින් අතර සහයෝගීතාව හා අවශ්‍ය පරිදි බැංකු අංශයේ මෙහෙයුම් සම්බන්ධීකරණය දිරිමත් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම සීමාව තුළ, ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද ප‍්‍රතිපත්ති සහ නියාමන රාමුවට අනුකූලව ශී‍්‍ර ලංකාව තුළ ශක්තිමත් බැංකු ව්‍යුහයක් පවත්වාගෙන යාම සහ සංවර්ධනය කිරීම සඳහා සහාය වීම ප‍්‍රධාන අරමුණක් වන බව ද සංගමය පවසයි.

 

Previous articleමැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට සාමාජිකයන් පත් කෙරේ
Next articleදේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ ඇයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here