Home අද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ ඇයි?

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ ඇයි?

605
0
දේශිය වශයෙන් ණය ප්‍රතිව්‍යූහගත කළ යුත්තේ ඇයි ද යන්න සම්බනදයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබේ.  ලංකාදීප පුවත්පතේ පළකර තිබු එම ලිපිය පහතින්

මුදල් අමාත්‍යාංශය නිකුත් කර තිබෙන ණය වාර්තාව අනුව 2023 මාර්තු 31 වන විට ලංකාවේ දේශීය – විදේශීය මුළු ණය තොගය ඇමෙරිකන් ඩොලර් මිලියන 91,561 කි. බිලියන වලින් නම් 91.5 කි. ඉන් බිලියන 50 ක් දේශීය ණය වන අතර ආණ්ඩුව ඇපවී ලංවිම වැනි රාජ්‍ය ව්‍යාපාර ලබාගන්නා ණය ද ඒ තුළ අන්තර්ගතය. තවත් බිලියන 36 ක් විදේශීය ණය වෙයි. තවත් බිලියන 5.5 ක් මහබැංකුව විසින් ගත් ණයයි. සරලව කිවහොත් රජයේ ණය බිලියන 86 කි. මහ බැංකුවේ ණය බිලියන 5.5 කි.

2022 දෙසැම්බර් 31 වැනිදාට සාපේක්ෂව 2023 ජනවාරි, පෙබරවාරි හා මාර්තු යන මාස තුනේ දී පමණක් ඇමෙරිකන් ඩොලර් බිලියන 6.8 කින් රජයේ ණය වැඩිවී තිබේ. 2022 දෙසැම්බර් 31 වන විට පැවැති රජයේ මුළු ණය තොගය ඇමෙරිකන් ඩොලර් බිලියන 84.7 කි.

2023 මුල් මාස තුනේ දී දේශීය වශයෙන් ගෙන තිබෙන ණය ප්‍රමාණය ඉතා විශාලය. ඒ අතරට දැනට නොගෙවන ණය ද එකතුවී තිබේ. දේශීය වෙළෙඳ පොළෙන් ණය ගන්නේ භාණ්ඩාගාර බිලප්ත් සහ බැඳුම්කර මගිනි. ඊට අමතරව මහ බැංකුවෙන් ද අත්තිකාරම් ලෙස මුදලින් ණය ගනියි. මේ 2023 මුල් මාස තුනේ දී එසේ ගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,218 කි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට යන්නේ එසේ තව තවත් ණය ගනිමිනි. පැන නගින ගැටලුව වන්නේ එසේ තව තවත් ණය ගනිමින්, තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලබාගන්නා ප්‍රතිඵලය කුමක්ද යන්නය. තිබෙන ණය ගොඩ තව තවත් විශාල කරයි. එහෙයින් ප්‍රතිව්‍යුහගත කිරීමක් නැවත නැවත කරන්නට වේදැයි ප්‍රශ්නයක් මතුවෙයි. මුල්‍ය අරමුදල සමග එකඟතාව තිබෙන්නේ දැනට තිබෙන ණය ප්‍රතිව්‍යුගත කිරීමටය. එහෙත් අලුත් ණයත් සමග ඒ ක්‍රියාවලිය ඉතා විශාල වශයෙන් තව තවත් සංකීර්ණ කරයි.

මහ බැංකුව 2022 දී නිකුත් කර තිබෙන දත්ත අනුව භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත්වලින් සියයට 31ක් මිලදීගෙන තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් විශ්‍රාම වැටුප් අරමුදල්වලිනි. 2022 වන විට නිකුත් කර තිබෙන මුළු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල වටිනාකම රුපියල් බිලියන 12,872කි. ඉන් රුපියල් බිලියන 3,954 ක්ම ඉහත කී විශ්‍රාම වැටුප් අරමුදල්වල සාමාජිකයන්ගේ සල්ලිය.

ඒ අනුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනවලින් සියයට 31ක් ඉහත කී විශ්‍රාම වැටුප් අරමුදල්වල සාමාජිකයන්ගේ සල්ලිය. සියයට 29ක් ගෙන තිබෙන්නේ වාණිජ බැංකුවලිනි. තවත් සියයට 20ක් ගෙන තිබෙන්නේ මහ බැංකුවෙනි. සමස්ත දේශීය ණයවලින් සියයට 28කට හිමිකම් කියන්නේ මහ බැංකුව, වාණිජ බැංකු සහ විශ්‍රාම වැටුප් අරමුදල්වල සාමාජිකයෝය.

මහ බැංකුවේ ණය මොහොතකට පැත්තකින් තියමු. මහ බැංකුවට සල්ලි අච්චු ගසාගත හැකිය. විශ්‍රාම වැටුප් අරමුදල්වල සේම වාණිජ බැංකුවල තිබෙන්නේ ද රටේ සාමාන්‍ය ජනතාවගේ මුදල්ය. එහෙයින් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ඒ සියල්ලෝම යම් බලපෑමකට ලක්වෙති. එසේම පෞද්ගලික සමාගම්, වෙනත් බැංකු, මූල්‍ය සහ රක්ෂණ සමාගම් යනාදිය මගින් ගෙන තිබෙන භාණ්ඩාගාර බිලපත් සහ බැඳුම්කරවල ප්‍රමාණය සියයට 13කි.

විදුලි බල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනත් රුපියල් බිලියන 237 ක බැඳුම්කර හා බිල්පත් මිලදීගෙන තිබේ. එසේම ලාංකික පුරවැසියන් ද රුපියල් බිලියන 254ක බැඳුම්කර හා බිල්පත් මිලදීගෙන තිබේ. එලෙස බලනවිට රටේ සමස්ත ප්‍රජාවටම ආණ්ඩුව ණය වී සිටියි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ඒ සියලු දෙනාටම බලපෑම් සිදුවෙයි. සරලව කිවහොත් එය රටේ අති විශාල බහුතරයකට බලපාන කාරණයකි.

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් සංඛ්‍යාව පමණක් ලක්ෂ 197කි. ඒ නිතිපතා දායක වන සාමාජිකයන් ලක්ෂ 26 ක් සහ දැනට දායක නොවන සාමාජිකයන් ලක්ෂ 171ක් වශයෙනි. 2020 වනවිට සේවක අර්ථසාධක අරමුදල ආණ්ඩුවේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබෙන මුදල රුපියල් බිලියන 2,643 කි. ඒ වනවිට ඒ අරමුදලේ මුළු ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 2,829 කි. සේවක භාරකාර අරමුදලේ සාමාජිකයන් ගණන 2021 දී ලක්ෂ 26කි.

ඒ ඊ.ටී.එෆ්. අරමුදලේ මුළු වත්කම රුපියල් බිලියන 419 කි. 2021 දී ඔවුන්ගේ මුළු ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 410 කි. ඉන් රුපියල් බිලියන 352.5ක් ආයෝජනය කර තිබෙන්නේ රජයේ සුරැකුම්පත්වලය. ඒ ප්‍රතිශතය සියයට 86කි. ස්ථාවර තැන්පතුවල කර තිබෙන ආයෝජනය රුපියල් බිලියන 28කි. ඒ අනුව සේවක අර්ථ සාධක සහ භාරකාර යන අරමුදල් දෙකේ මුදල්වලින් සියයට 95 ක් පමණ ආයෝජනය කර තිබෙන්නේ රජයේ සුරැකුම්පත්වලය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ඒ අරමුදල්වල ආයෝජන හා ප්‍රතිලාබ එනම් රජයට දුන් ණය මුදල සහ ඊට හිමි පොලිය කපා හැරියහොත් ඒ අරමුදල් දෙක සහ එහි සාමාජිකයන් වන රටේ පුරවැසියෝ ලක්ෂ 223 ක් විශාල අර්බුදයකට ඇද වැටෙති. හේතුව එතරම් විශාල ජන පිරිසකගේ විශ්‍රාමික අරමුදල්වලින් සියයට 95ක් පමණම රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබීමය. ඒ නිසා ආණ්ඩුව විශ්‍රාම වැටුප් අරමුදල්වලින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඉතාමත් පරිස්සම් විය යුතුය. හේතුව එමගින් බලපෑම් ඇති වන්නේ මහා ලොකු ධනවතුන්ට නොව සාමාන්‍ය ජනතාවට වීමය. ඒ ජනතාවට ජීවිත කාලයටම හිමි එකම ඉතිරි කිරීම මේ විශ්‍රාම වැටුප් අරමුදල පමණක් විය හැකිය. වෙනත් ඉතිරි කිරීම් නැති විය හැකිය. එහෙයින් ඒ අසරණයන්ට අගතියක් නොවන ලෙස කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමකි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ණය කපා හැරීමකට අපට එකඟ විය නොහැකිය. ඊට හේතුව ණය ගෙන තිබෙන්නේ රජය විසින් රජයේ ආයතනවලින්ම වීමය. එහෙයින් රජය රජයේ ආයතනවලින් ගත් ණය කපා හැරියහොත් ඒ ආයතන පවත්වාගෙන යාමට නොහැකි වෙයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවක් මූල්‍ය අරමුදලේ කිසිම ලේඛනයක සඳහන් නොවෙයි. මූල්‍ය අරමුදල පළමුව හිතන්නේ ලංකාව ගැන නොව ලංකාවට ණය දුන් රටවල් සහ පුද්ගලයන් පිළිබඳවය. මූල්‍ය අරමුදල මේ සකස් කරන්නේ ඒ ණය අයකර දීමට අවශ්‍ය වටපිටාවය.

ලංකාව අද මුහුණ දී සිටින අර්බුදයට සමාන ප්‍රශ්නවලට අද ලෝකයේ රටවල් 20ක් මුහුණ දී සිටියි. ඒ අතරින් රටවල් පහක් දැනටත් ණය පැහැර හැර සිටියි. ලංකාව, රුසියාව, ලෙබනනය, සැම්බියාව සහ සුරිනාම් ඒ රටවල් පහයි. ආර්ජන්ටිනාව, බෙලරුසියාව, ඉක්වදෝරය, ඊජිප්තුව, එල්සැල්වදෝරය, ඉතියෝපියාව, ඝානාව, කෙන්යාව, නයිජීරියාව, පාකිස්තානය, ටියුනීසියාව, යුක්රේනය, වෙනිසියුලාව, ඇෆ්ගනිස්තානය සහ සිරියාව ඉතාම ඉහළ අවදානමක සිටියි. ඒ රටවල් අතරින් මුල්‍ය අරමුදලට ගියේ ලංකාව, පකිස්තානය සහ ඝානාව පමණකි.

ඒ රටවල් 20 අතරින් පකිස්තානය මැයි මාසයේ දී මුල්‍ය අරමුදලට කිව්වේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තමන් එකඟ නොවන බවය. පකිස්තානයේ මුදල් අමාත්‍ය ෂාක් ඩා මහතා පසුගියදා (ජුනි 10 වැනිදා) ප්‍රකාශ කළේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟ බවය. මුල්‍ය අරමුදල කිව්වත් නැතත් පකිස්තානය විදේශ ණය ප්‍රතිව්‍යුගත කරන බව හෙතෙම කියයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඔහු ඍජුව ප්‍රතික්ෂේප කරයි.

රටකට තමන්ගේ දේශීය ණය තමන්ගේ දේශීය මුදල්වලින් ගෙවා ගැනීමට නොහැකිවීම බරපතළ තත්ත්වයක් බව පකිස්තාන් මුදල් ඇමැති කියයි. දේශීය මුදල් රට ඇතුළේ පවතියි. ඒවා රැස්කරගෙන දේශීය ණය ගෙවීමට ආණ්ඩුවට පුළුවන් විය යුතුයි. එහෙත් ලංකා ආණ්ඩුවට එසේ නොසිතෙන්නේ සහ නොසිතන්නේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ඔවුන් සතු දුප්පත් දැනුම, අවබෝධය සහ පලපුරුද්දේ මහිමයෙනි.

දැන් ඝානාව දෙසට හැරෙමු. ඒ රට මානව සම්පත් සංවර්ධන දර්ශකයෙන් සේම ඒක පුද්ගල ආදායම අතින් ද ලංකාවට පහළින් සිටින රටකි. එරට මානව සම්පත් සංවර්ධන දර්ශකය 0.632 කි. ලංකාවේ එය 0.782 කි. 2022 දී ඝානාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 2353 කි. 2022 දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 3,393 කි. ඝානාවේ ණය තිරසර නොවන මට්ටමකට පැමිණියේ පසුගිය වසරේ සිටය.

එහෙත් ඝානාව ඍජුව – එක්වරම මුල්‍ය අරමුදලට නොයයි. ඔවුන් රට සතු ණය ගැන තිරසර අධ්‍යයනයක්, විශ්ලේෂණයක් කරයි. එසේ කළේ ඔවුන් විසින්ම මිස මුල්‍ය අරමුදලේ උපදෙස් මත නොවේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් ඔවුන්ම ආරම්භ කරයි. ඒ සාකච්ඡාවල දී තමන් ගත් ණය ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීමට ආණ්ඩුව සමත් වෙයි. කාලය දිගු කිරීමට එකඟ නොවූ අයගේ ණය ගෙවයි.

ඒවා ගෙවා දමන්නේ එකඟ වූ අය සමග ණය හුවමාරු කර ගැනීමෙනි. ඝානාව ඒ සියල්ල කර තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාමට පෙරය. එසේම එරට මුල්‍ය ස්ථාවරත්ව අරමුදලක් ද සකසා තිබේ. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් රැස්කරගෙන තිබේ. ඒ අරමුදල පිහිටුවා තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අපහසුතාවලට පත්වන ආයතන සහ සමාගම්වලට උදව් කිරීමටය. ඝානාව අනුගමනය කරන්නේ එවැනි සරල එහෙත් ප්‍රායෝගික සහ තිරසාර වැඩසටහනකි. ඒ නිසා ඝානාවේ දේශීය ණය තිරසාර නොවේ කියා මුල්‍ය අරමුදලට කිව නොහැකිය.

ලංකාවටත් එයම කළ හැකිව තිබිණි. එමගින් කිසිම පාර්ශ්වයක් අවදානමකට ලක් නොවෙයි. ලංකා ආණ්ඩුව සැරසෙන්නේ කුමකටදැයි අපි තවමත් නිශ්චිතව නොදනිමු. ඊට හේතුව ආණ්ඩුව සියල්ල රහසේ කිරීමය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම රටේ ජනගහනයෙන් දස ලක්ෂ ගණනකට බලපාන කාරණයකි. ඒ සම්බන්ධව සෑම තොරතුරක්ම සඟවාගෙන සිටිමින් අවසානයේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනකු ගන්නා තීරණයක් මත ඒ දස ලක්ෂ ගණනකගේ ජීවිතවල ඉරණම තීරණය කිරීමට දැන් සැරසෙයි. මහබැංකු අධිපතිවරයාත් හදිසියේ එක් දිනක රෑක රටට කියන්නේ ඒ සම්බන්ධ තොරතුරු කිසිවක් රටට හෙළි කළ නොහැකි බවය.

දේශපාලකයකු නොවන රාජ්‍ය නිලධාරියකු වන ඔහු කළ යුත්තේ ජනතාව දැනුවත් කිරීම මිස ජනතාවට සැක සංකා ඇතිවන ප්‍රකාශ කිරීම නොවේ. ඔහු අධිපති පුටුවට පත්කර ගත්තේ පැවැති සහ පවතින ප්‍රශ්නවලට පිළියම් යෙදීමට මිස අලුත් ප්‍රශ්න ඇති කිරීමට නොවේ. එහෙත් ඔහුත් රාජපක්ෂ යුගයේ සිටි අධිපති සේ දේශපාලකයන් සමග එක්ව ජනතාවට හොරෙන් සියල්ල කිරීමේ ප්‍රතිපත්තියම අනුගමනය කරන්නේ නම් ආණ්ඩුවේ කටයුතුවලට ජනතා සහාය ලබාගන්නේ කොහොමද?

 

 

Previous articleමහ බැංකු අධිපතිගේ සහතිකය බැංකු පිළිගනීයි
Next articleකිසිවෙකු අත් නොහැරෙන ලෙස “අස්වැසුම” ක්‍රියාත්මක කරන්න – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here