Home අද   තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කෙරේ

  තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කෙරේ

630
0

 

ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය  (17) සහ අද (18) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මෙම සමාරම්භක අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරුන් සහභාගී වූහ.

ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරු නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 131 දෙනෙකු සමාරම්භක සැසිවාරය සදහා සම්බන්ධ විය.

එහි අග්‍රාමාත්‍ය පැතුම් රණසිංහ මහතා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදු කළේය.

තරුණ පාර්ලිමේන්තුවේ කථානායකතුමිය කැටුව වේත්‍රධාරී විසින් සෙංකෝලය රැගෙන සභා ගර්භයට පිවිසීමෙන් අනතුරුව පස්වැනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කෙරිණි.

පැවැති සැසි වාරයේදි යෝජිත තරුණ පාර්ලිමේන්තු පනත පිළිබඳ විවාදයට ගැනිණ.

ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරයේ සමාරම්භක අවස්ථාව ඇමතු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා

1960 වසරේදී සමස්ත ලෝකයම තරුණ අසහනයකින් පෙළෙන්නට පටන් ගනු ලැබුවා. මෙම තරුණ අසහනයේ ප්‍රතිඵලය අපේ රටටත් ඒ ආකාරයෙන්ම දැනෙන්නට පටන් ගත්තා. 1967 එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා කැබිනට් මණ්ඩලයට මේ වෙනුවෙන් පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව ඇතිව තරුණ අසහනයෙන් මිදීමට යම් යෝජනාවලියක් සම්පාදනය කළ යුතු බවට ලංකා රජයට යෝජනාවක් ඉදිරිපත් කළා. විශේෂයෙන් තරුණයින් ඉන් මුදවා ගන්නේ කෙසේද හා තරුණයන් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම එහි අරමුණ වුණා.

ඒ වෙනුවෙන් 1967 ඊශ්‍රාලයේ විශේෂඥයෙකු වූ, බ්‍රිගේඩියර් ආර්ය ලෙවි මහතා ලංකාවේ පුර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කළා. මෙම වාර්තාවේ ප්‍රධාන අරමුණ වූයේ ලංකාවේ තරුණයන්ගේ දැනුම මෙන්ම තරුණ ශ්‍රමය ජාතික සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නේ කෙසේද යන්නයි. එය තරුණ අසහනය මඟහරවා ගන්නටත් තරුණ දැනුම, තරුණ ශ්‍රමය ලංකාවේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ මූලික අඩිතාලමක් බවට පත්වුණා.

ඒ සම්බන්ධයෙන් 1967 අංක 11 දරණ පාර්ලිමේන්තු පනත එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සභාගත කළා. අපි සියලු දෙනා දන්නා එම සභාවේ තමයි අද අපි මේ රැස්ව සිටින්නේ.

ඒ පනත තරුණ ශක්තිය ජාතික සංවර්ධනයට යොමු කිරීමට ලෙවි කමිටුව ඉදිරිපත් කළ යෝජනා සහිත ස්වේච්ඡා තරුණ සේවා පනතයි. ඒ අනුව එම පනත මේ ස්ථානයේ දී සංවාදයට ලක් වූ පනතක් බවට පත් වෙනවා.

මේ පනත ක්‍රියාත්මක කිරීම සදහා 1977 බලයට පත් වු ජේ. ආර්. ජයවර්ධන මහත්මයා තෝරාගනු ලැබුවේ එවකට ලාබාලම කැබිනට් අමාත්‍යවරයා වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාවයි. එතුමා එම කාලසීමාවේ දී යෞවන කටයුතු සහ රැකියා අමාත්‍යවරයා ලෙස කොළඹ කේන්ද්‍රීයව ගම පාලනය කිරීමට, ගමේ සිටින තරුණයන් ඒකාබද්ධ කර ගැනීමට තිබූ වැඩපිළිවෙළ ඊට වඩා පුළුල් විෂය ධාරවක් බවට පත් කරමින් සැම දිස්ත්‍රික්කයක්ම, සෑම පළාතක්ම මේ සමඟ කේන්ද්‍රගත වූ භෞතික සම්පත් දියුණුව මෙන්ම විශේෂයෙන් තරුණ මානව සම්පත කොට්ඨාස ක්‍රමය සමග ඈඳා ගනිමින්, ඒ තුළින් නායකයන් ග්‍රාමීයව බිහිවිය යුතුය යන වගේම අනාගත සමාජයට, රටේ සංවර්ධනයට කේන්ද්‍රකර ගත හැකි තරුණ නායකයන් බිහි කිරීමේ බලාපොරොත්තුව ඇතිව පාර්ලිමේන්තුවට නව යෝජනාවක් ඉදිරිපත් කළා.

ඒ අනුව ජාතික තරුණ සේවා පනත 1979 දී බලගැන්වීමට එවකට තරුණ කටයුතු භාර කැබිනට් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පියවර ගනු ලැබුවා.

ඔබ මේ වන විටත් මහරගම තරුණ සේවා සභාවේ යම් කාර්යයක නිරත වනවා නම්, එම සියලු කටයුතුවලට මූලාරම්භය වන්නේ 1978 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ අණ්ඩුවේ එවකට තරුණ කටයුතු සහ රැකියා අමාත්‍ය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙළ හේතුවෙනි.

එය එතැනින් නැවතුනේ නැහැ, එතුමා මෙම පනත සක්‍රීය කර ජපන් මහජන ආධාර මත මහරගම ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කළා. එදා සිට මේ දක්වා කාලය තුළ 1985 යොවුන් පුරයෙන් පටන් ගත් සංකල්පය ක්‍රමිකව වෙනස් වෙමින් ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන ශාලාවේ කථානායකවරයෙක් මූලිකව, අග්‍රාමාත්‍යවරයෙක්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක්, ඒ වගේම පක්ෂ, ප්‍රතිපක්ෂ අදහස් යෝජනා සාකච්ඡා කරන ව්‍යුහයකට ඩලස් අලහපෙරුම අමාත්‍යවරයා විසින් එය ගොනු කරනු ලැබුවා.

ඕනෑම රාජ්‍ය ප්‍රතිපත්තියකට විකාශයක් අවශ්‍යයි. ඒ විකාශය රටට හිතකාමීව, තරුණයාට හිතකාමීව, ජාත්‍යන්තරයට ගැළපෙන පරිදි විකාශය කර ගැනීමේ සාකච්ඡාව, ප්‍රතිපත්ති සැලැස්ම තමයි පාර්ලිමේන්තුවකින් අපි බලාපොරොත්තු වෙන්නේ. මිලියන 4.64ක් වන, එසේ නොමැතිනම් ලංකාවේ ජනගහණයෙන් 23.2%ක්, ආසන්නව ¼ක තරුණ පරපුර ඔබ විසින් නියෝජනය කරනු ලබනවා.

ඔබගේ යම් පෞද්ගලික දේශපාලන මතයක් තිබෙනවා නම්, ඔබේ යම් පෞද්ගලික අභිමතාර්ථයක් තිබෙනවා නම් එය පසෙකින් තබා, ඔබ නියෝජනය කරන මිලියන 4.64ක් වන තරුණ ප්‍රජාවගේ අභිලාෂය මෙම පනත මගින් පාර්ලිමේන්තුවට ගොස් සම්මත කර ගැනීමට ඔබට හැකි නම් තව දශකයකින්, දශක දෙකකින් ඔබට එහි ප්‍රතිඵල අත්විඳින්නට පුළුවන් වනු ඇතැයි මම විශ්වාස කරනවා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරුණ මානව සම්පත වැඩිදියුණු කිරීම වෙනුවෙන් රටේ අධ්‍යාපනය අනාගතයට උචිත වන ආකාරයට ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට අවශ්‍ය වන වැපිළිවෙළ සම්පාදනය කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වමින් 2048 වසරේදී ශ්‍රී ලංකාව වත්මන් තරුණයන්ට වගේම අනාගත තරුණයන්ටත් අංගසම්පූර්ණ රාජ්‍යයක් බවට පත් කිරීමේ විශාල කාර්යභාරයක නිරත වෙමින් සිටිනවා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමේදී පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තරුණ නියෝජනයක් අත්‍යවශ්‍යයි. මේ රටට වෘත්තීය දේශපාලනඥයකු තරුණ පාර්ලිමේන්තුව හාරහා බිහි කර ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ සඳහා දැන් සිටම සූදානම් විය යුතුයි. ඒ වෙනුවෙන් දායකත්වය ලබාදීමටත් සහ අද දවසේ සාකච්ඡාවට ගැනෙන තරුණ පාර්ලිමේන්තු පනත විධිමත්ව සම්පාදනය කර ගැනීමටත් ඔබ සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය වෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා

මෙතෙක් කල් විවිධ පාලනයන්ට යටත්ව, විවිධ හැලහැප්පිලිවලට යටත්ව විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව පාලනයට වීමට තිබූ ජාතිත තරුණ පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් බවට පත් කළ යුතුයි කියන අදහස මුල සිටම මා තුළ තිබුණා. තරුණයන්ට අවශ්‍ය දේ තරුණයන්ට තීරණය කිරීමට ඇවැසි පසුබිම සලසා දෙන්නට මේ රටේ ඉතිහාසය සමත් වුණේ නැහැ. ඉතින් අද මේ සකසා දී තිබෙන්නේ එම පසුබිමයි.

රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කිරීමේ දී තරුණයන්ගේ දායකත්වය පිළිබඳ කතා කරනවා. එහිදී අප අතින් සිදු වන ලොකුම අතපසුවීම තමයි තමන්ගේ පනතවත් තමන්ට සකස් කර ගැනීමට අවස්ථාවක් ලබා නොදීම. ඒ නිසා තමයි මම තීරණය කළේ මෙම යෝජිත තරුණ පාර්ලිමේන්තු පනතට අනිවාර්යයෙන්ම අපේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ඇතුළත් විය යුතුයි කියලා.

ඉතිහාසයේ අප කළ වැරැද්ද තමයි තරුණයන් කැමති, ඔවුන්ට අවශ්‍යයි කියා සිතන දේ තරුණයන් නොවන පිරිසක් තීරණය කර ක්‍රියාත්මක කිරීම. ඒ නිසා තරුණයන්ගේ අවශ්‍යතා ඉටු වුණේ නැහැ. ඉතිහාසය නැවත වතාවක් වරදින්නට අපි ඉඩ තබන්නේ නැහැ. මේ රට ගොඩනැඟීමේ දී ඔබේ දායකත්වය අනිවාර්යයෙන් ලබා දෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

මීළඟ පාර්ලිමේන්තුවේ සිට නියමිත නීති රාමුවක් යටතේ ස්වාධීනව කටයුතු කිරීමට හැකි බලවත් ආයතනයක් බවට පත් කිරීමේ ‍‍ඓතිහාසික ක්‍රියාන්විතයට දායක වන පිරිස බවට ඔබ අද පත් වෙනවා. මේ රටේ ජාතික පාර්ලිමේන්තුවට දක්ෂ නායකයන් බිහි කරන මූලික ස්ථානය බවට මෙම තරුණ පාර්ලිමේන්තුව පත් විය යුතුයි.

පස්වැනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය පැතුම් රණසිංහ මහතා

ශ්‍රී ලංකාවේ උන්නතියට පසුගිය වසර 113ක් පුරා අප ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙතරම් දුරට ගැළපෙනවද කියා සිතා බැලිය යුතුයි. මගේ නිරීක්ෂණයට අනුව නම් අපේ උන්නතියට, ප්‍රගතියට අවශ්‍ය මඟපෙන්වීම සහ ඒ ශක්තිය මෙම ක්‍රමය තුළින් අපට ලැබී නැහැ.

එසේ නම් අපේ වත්මන් වගකීම බවට පත්වන්නේ අපට වඩාත් ගැළපෙන ක්‍රමවේදයක් මේ ඇසුරින් සකස් කර ගැනීමයි. අපි කළ යුතු වන්නේ අපගේ චින්තනයට, අපගේ සම්ප්‍රදායට, ජන මනසට ගැළපෙන ආකාරයේ පාලන සම්ප්‍රදායක් මෙම ප්‍රජාතන්ත්‍රවාදය අනුසාරයෙන් බිහි කර ගැනීමයි. ඒ සඳහා වර්තමාන තරුණ පරපුරට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. එම කාර්යභාරය ඉටු කිරීමේ දී වඩා පුළුල් වැඩකොටසක් කිරීමේ හැකියාව සහ ශක්‍යතාව ජාතික තරුණ පාර්ලිමේන්තුවට තිබෙන බවට සැකයක් නැහැ.

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ, ජාතික තරුණ පාර්ලිමේන්තුවට වඩා පුළුල් දායකත්වයක් ලබාදිය හැකි පරිදි ජාතික තරුණ පාර්ලිමේන්තු පනත සම්මත කිරීමේ ක්‍රමවේදය ඉදිරියට රැගෙන යා යුතුයි.

පස්වැනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ කථානායක නිපුනි ෂෙහෙනි අබේධීර, විපක්ෂ නායක සිතිජ මිහිරංග ඇතුළු මන්ත්‍රීවරු මීට එක්ව සිටියහ.

 

Previous articleලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට තල්ලුවක්
Next articleරුපියල ඉහළ පහළ යන්නේ ඇයි – හර්ෂ ද සිල්වා පහදයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here