Home අද තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නෙමෙයි – ජනපති

තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නෙමෙයි – ජනපති

614
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු ඩොලරයක අගය ක්‍රමානුකුලව අඩුවිය හැකි බවත් නමුත් එය එක්වරම රුපියල් දෙසීයක හෝ එකසිය අසූ පහක අගයක් දක්වා පහළ නොයනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංම මහතා පවසයි.

පසුගිය ජූලි මාසයේ දී තමා රට භාර ගත්තේ ඉන්ධන, පොහොර, ආහාර හිඟය ඇතුළු තවත් දැඩි අර්බුද රැසක් සමඟ වන අතර, එය බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම මෙන් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, රට ගොඩගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වු බව ද කියා සිටියේය.

නමුත් එම තත්ත්වය වෙනස් කර, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට පසුගිය මාස 07 තුළ තම කණ්ඩායමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ඉදිරි වසර දෙක තුළ දියුණු වන රටක් සියලුදෙනාට දැක බලා ගත හැකි බවත්, කලාපයේ වඩාත් සෞභාග්‍යමත් රට බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම සඳහා අද දවසේ ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ආර්ථිකය ගොඩනැඟීම ද සිදු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2048 වන විට ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රටක් බවට පත්කිරීමේ 25 වසරක සැලැස්ම මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙන අතර, එය සාර්ථක කර ගත හැක්කේ වත්මන් තරුණ පරපුරේ කැපවීම මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මගේ උත්සාහය වන්නේත් රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කළ දේ සිදු කිරීමටයි. මම මේ රට බාර ගත්තේ පසුගිය ජුලි මාසයේදී. ඔබ දන්නා පරිදි ඒ අවස්ථාව වන විට ඉන්ධන, පොහොර, ආහාර ආදී හැමදේකම හිඟයක් පැවතුණා. අපට මුදල් තිබුණේ නෑ. අපට ඒ සදහා ගෙවීම් කිරීම දුෂ්කර කර්තව්‍යක් වුණා. එය හරියට බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම වගේ. බොහෝ දෙනා සිතුවේ අපට එයින් ගොඩ ඒමට නොහැකි වේවි කියලයි.

පසුගිය මාස 7ක පමණ කාලයක සිට මේ දක්වා එම තත්ත්වය ස්ථාවර කිරීමට මගේ කණ්ඩායමට හැකි වුණා . දැන් ඉන්ධන, විදුලිය, පොහොර තිබෙනවා. අප්‍රේල් මාසය වන විට අවශ්‍ය ප්‍රමාණයට සහල් ලැබෙනවා. මේ තත්ත්වය යටතේ අප තව දුරටත් බංකොලොත් රාජ්‍යයක් නෙවෙයි.

නමුත් රට නැවත ගොඩගත හැක්කේ ණය සහනය සමඟයි. එය ඉදිරි දින කිහිපය තුළ සිදු වනු ඇතැයි මම විශ්වාස කරනවා. රාජකීය විද්‍යාල කණ්ඩායමේ නායකයා වගේ මටත් සිදු වී තිබෙනවා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද කියන කාරණය වෙනුවෙන් කටයුතු කරන්න. අප මේ මොහොත වන විට කරමින් සිටින්නේ කුමක්ද කියනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අපට ලබා දෙන්නේ හුස්ම ගැනීමට ඉඩකඩක් පමණයි.

අප තව දුරටත් බංකොලොත් රාජ්‍යයක් නොවන බව ඔවුන් පවසාවි. එවිට අපට ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ හැකියි. මේ වසරේ අපට ගෙවීමට ඇති සියලු මුදල් නැවත ගෙවීම සඳහා වසර දහයක් ලබා දෙනු ඇති කියා මම බලාපොරොත්තු වෙනවා.

මේ අතර අපේ විදේශ විනිමය ආදායම අපේ සියලු අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බැවින් අපට අලුත් ණය ලබා ගැනීමට සිදු වෙනවා. විදේශයන්ගෙන් අපට මිලදී ගැනීමට ඇති අවශ්‍යතා සඳහා යන වියදමට වඩා අපේ අපනයන ආදායම අඩුයි. මෙය දිගු කාලීනව පැවති තත්ත්වයක්.

ඒ සමඟ අප රුපියල ස්ථාවර කරන්නේ කෙසේද? යන්නත් සලකා බැලිය යුතුයි. ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු එය රුපියල් දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

අපට ස්ථාවරත්වයට පත් වීම සඳහා වසර 04ක කාල පරිච්ඡේදයක් තිබෙනවා. අයවැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අයවැය අතිරික්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්ක සමඟ අප එකඟ වුණා. එවිට අප ලබා ගත් මුදල් නැවත ගෙවිය හැකියි.

දැන් එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ, නමුත් ආර්ථිකය ස්ථාවර කර ගත් පසු, ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි වූ පසු, අපේ සියලු ණය ගෙවා සෑම වසරකම අතිරික්තයක් රට තුළ ඇති තත්ත්වයට පැමිණීමට ක්‍රමවේද සොයා ගත යුතුයි. ජපානය, සිංගප්පූරුව ජර්මනිය හෝ කොරියාව වැනි රටවල වගේ , වසර අවසානයේදී අපට අතිරික්තයක් ලැබෙනු ඇතියි. එවිට විදේශ විනිමය ආදායම අපගේ අවශ්‍යතා සඳහා යන වියදම අභිබවා යනවා. මෙය තමයි ඊළග ඉලක්කය.

මෙම අවස්ථාව ජයග්‍රහණය කිරීමට ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා රටේ ආර්ථිකය වර්ධනයත් ඇති කළ යුතුයි. එසේ ආර්ථිකය වර්ධනය නොකළහොත් අප නැවත පහළට යනවා.

විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාටම මට කියන්න තියෙන්නේ මේ රට අතාරින්න එපා කියන එක විතරයි. ඉදිරි වසර දෙක තුළ රට සංවර්ධනය වන ආකාරය ඔබට දකින්නට ලැබේවි. එවිට ඔබට අනාගතයක් ඇති බව ඔබට පෙනේවි. එබැවින් පිටරට යන්න, ඉගෙන ගන්න, නමුත් ආපසු පැමිණීමට මතක තියාගන්න. මොකද අපිට වසර 25 ක මහා තරගයක් තිබෙනවා ජයග්‍රහණය කිරීමට.”

Previous articleපළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් යටතට
Next articleonmaxDT තහනම් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here