වර්ජකයන්ට විරුද්ධව පනවා තිබෙන නියෝග රටේ ව්‍යවස්ථාවට අනුකූලයි
ආණ්ඩුව කැත්තට, පොල්ල ප්‍රතිපත්තියේ ඉන්නවා කියලා පෙනෙන්න නැහැ
තව සුළු කාලයක් ඉවසුවොත්, සියල්ල යහපත් විදිහට විසඳේවි
අද මෙරට වෘත්තීය සංගම් රැසක් එකතුව දීප ව්‍යාප්ත වර්ජනයක් දියත් කරමින් සිටියි. ඒ අතර අත්‍යවශ්‍ය සේවා ද මෙරට ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයක පවතී. එසේ හෙයින් අත්‍යවශ්‍ය සේවා නියෝග යනු කුමක්ද? එම නියෝග ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයට ද? එම අත්‍යවශ්‍ය සේවා නියෝග කඩ කරන අයට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගත හැකිද? සහ වර්ජනය ආශ්‍රිතව ගොඩනැඟී තිබෙන තවත් කාලීන කරුණු කාරණා පිළිබඳ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සමඟ කළ සංවාදයකි මේ.
අද වර්ජනයට සම්බන්ධ වුණු බොහෝ අංශ අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙනවා. මෙම අත්‍යවශ්‍ය සේවා නියෝගවල නීත්‍යනුකූල තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?
එක්දහස් නවසිය හැත්තෑ නවය වසරේදී ජේ. ආර් ජයවර්ධන මහතාගේ අණ්ඩුව විසිනුයි අත්‍යවශ්‍ය සේවා පිළිබඳ වූ විධි විධාන පනවනු ලැබුවේ. එමඟින් රටේ ජන ජීවිතයට බාධා වන විදිහට කටයුතු කරන පිරිස් පාලනය සහ සාමාන්‍ය ජන ජීවිතය නිසි ලෙස පවත්වාගෙන යාමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම තමයි මූලික අරමුණ වෙන්නේ. ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල අනුව ඔහුට අත්‍යවශ්‍ය සේවා පිළිබඳ නියෝග ක්‍රියාත්මක කළ හැකියි. ජන ජීවිතයට බාධා කිරීමට කිසිවකුට අයිතියක් නැහැ. ඒ විදිහේ බාධා කිරීම්වලට එරෙහිව තමයි අත්‍යවශ්‍ය සේවා නියෝග ජනාධිපතිවරයාට පැනවීමට හැකියාව ලැබෙන්නේ. රට අද තියෙන තැන ගැනත් කල්පනා කළ යුතුයි. එදා රට තුළ ජන ජීවිතයට බාධා කරනු ලබන ක්‍රියාකාරකම් ඇති වුණා. ඒ නිසා තමයි ජයවර්ධන ජනාධිපතිවරයා මේ විදිහේ අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවිය හැකි කොටසක් ව්‍යවස්ථාවට එකතු කළේ. ඒ අනුව අද රනිල් වික්‍රමසිංහ මහතා පනවා තිබෙන අත්‍යවශ්‍ය සේවා නියෝගය මෙරට ව්‍යවස්ථාවට අනුව නිකුත් කළ නියෝගයක් වගේම එය සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල නියෝගයක් විදිහටයි සඳහන් කළ හැක්කේ. 1979 අවුරුද්දේදී ජයවර්ධන ජනාධිපතිවරයා විසින් නීත්‍යනුකූලව ව්‍යවස්ථාවට ඇතුළත් කළ මෙම නියෝග ගැන ඇතැම් පාර්ශ්ව විවිධ අදහස් පළ කළ ද මේ නියෝගය නෛතික වලංගු භාවයක් තිබෙන නියෝගයක්. ඒ වගේම රටේ ව්‍යවස්ථාවට අනුකූල නියෝගයක්. ඒ නිසා රටේ නීතියට ව්‍යවස්ථාවට ගරු කරන ඕනෑම පුරවැසියකුට වෘත්තීය සමිතියකට එහි නායකයන් වගේම එහි සාමාජිකයන්ටත් මෙම නියෝගය අනුව එම නියෝගය පිළිගනිමින් කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා අද වර්ජකයන්ට විරුද්ධව පනවා තිබෙන අත්‍යවශ්‍ය නියෝග රටේ ව්‍යවස්ථාවට අනුව පනවන ලද නියෝගයක් මිසක් එයින් බැහැරව පනවන ලද නියෝගයක් නොවෙයි.
යම් අයෙක් අත්‍යවශ්‍ය සේවා නියෝගවලට පටහැණිව කටයුතු කළහොත්, ඔහුට මොන විදිහේ ප්‍රති විපාකවලට මුහුණ දීමට සිදු වේද?
මෙම නියෝගය පැනවීමෙන් පසු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න බැහැ. එහෙම කරනවා කියන්නේම රටේ ව්‍යවස්ථාවෙන් පැනවූ නීතියක් කඩ කිරීමක් විදිහට එයට අදාළ දඬුවම්වලට ලක් වීමට සිදු වෙනවා. මෙය රටක ව්‍යවස්ථාවකට නීත්‍යනුකූලව එක් වූ අංගයක් නිසා අප මොන විදිහේ පුද්ගලික දේශපාලන අදහසක් දැරුවද අපට කුමන ආකාරයේ සමාජ තත්ත්වයක් සිවිල් බලයක් තිබුණ ද ව්‍යවස්ථාවේ අංග උල්ලංඝනය කිරීමට බැහැ. එහෙම උල්ලංඝනය කළොත් එයට අදාළ දඬුවම් පැනවීම සිදු වෙනවා. අත්‍යවශ්‍ය සේවා පිළිබඳව ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ නියෝගය අනුව අත්‍යවශ්‍ය සේවා කඩ නොකර දිගටම සේවයේ යෙදී සිටියහොත් වර්ජනයට සම්බන්ධ නොවුණහොත් ඒ අයට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.
අත්‍යවශ්‍ය සේවා නියෝග ගැසට් පත්‍රය නිකුත් කළ සැණින් එහි බලතල ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබේද?
ජනාධිපතිවරයාට සිතූ පරිදි මේ නියෝගය ක්‍රියාත්මක කිරීමට බැහැ. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් තිබෙනවා ඒ නිසි ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කිරීමෙන් අත්‍යවශ්‍ය සේවා නියෝගය ක්‍රියාත්මක තත්ත්වයට පත් කළ හැකියි. මෙහිදී ජනාධිපතිවරයාගේ අත්‍යවශ්‍ය සේවා නියෝගය දවස් දහයක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් විවාද කර බහුතර ඡන්දයකින් අනුමත විය යුතුයි. එසේ අනුමත කර ගැනීමට බැරි වුණොත් හෝ දින දහයක් ඇතුළත පාර්ලිමේන්තුවට මෙම නියෝගය අනුමත කර ගැනීමට ඉදිරිපත් නොකළහොත් අත්‍යවශ්‍ය සේවා නියෝගය ඉබේම අහෝසි වෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විදිහට කටයුතු කරද්දී මෙවැනි වර්ජන තර්ජනයක් ආවා. ඒ අවස්ථාවේදී ඔහු ද අත්‍යවශ්‍ය සේවා නියෝගයක් පැනවූවා. එහෙත්, දින දහයක් ඇතුළත එය පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කළේ නැහැ. ඒ නිසා රාජපක්ෂ ජනාධිපතිවරයා නිකුත් කළ අත්‍යවශ්‍ය සේවා නියෝගය ඉබේම අහෝසි වෙලා ගියා. ඒ නිසා සමහරු අත්‍යවශ්‍ය සේවා නියෝගය ජනාධිපතිවරයාට තම සිතැඟි පරිදි පැනවිය හැකි දෙයක් විදිහට සඳහන් කළත් එය එහෙම නොවෙයි. පාර්ලිමේන්තුවට පුළුවන් අවශ්‍ය නම් මේ නියෝගය පිළිනොගෙන ඉන්න. ඒ නිසා අත්‍යවශ්‍ය සේවා නියෝගය ව්‍යවස්ථානුකූල, නීතියෙන් පිට නොගිය, ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල දෙයක් විදිහට සඳහන් කිරීමේ වරදක් නැහැ.
ජනාධිපතිවරයා විසින් පනවා තිබෙන අත්‍යවශ්‍ය සේවා නියෝග කඩ කරන පිරිස්වලට විරුද්ධව මොන විදිහේ නෛතික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ හැකිද ?
අනිවාර්යෙන්ම ව්‍යවස්ථානුකූලව පනවා ඇති නීතියක් කඩ කරනු ලැබුවහොත් දඬුවම් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ අනුව අත්අඩංගුවට ගැනීම, බන්ධනාගාරගත කිරීම වගේම දඩ පැනවීම ද කළ හැකියි. මෙතැනදී බොහෝ වෘත්තීය සමිති නායකයන් හොඳින් දන්නා නමුත්, සාමාජිකයන්ගෙන් සඟවන දෙයක් තිබෙනවා. මේ නියෝග යටතේ වර්ජකයන්ගේ පුද්ගලික දේපළ පවා රාජසන්තක කළ හැකි නීතියක් තිබෙනවා.
ඒත්, වර්ජනයට සම්බන්ධ වුණ කෙනෙකුට කියන්න පුළුවන්, තමන් වර්ජනයට සම්බන්ධ වූයේ වෘත්තීය සමිතියේ ඉල්ලීම සහ සාමූහිකත්වය නිසා බවට කියා. නොදැනුවත්කම නිසා අත්‍යවශ්‍ය සේවා නියෝග කඩකර දඬුවම් විඳීමෙන් වැළකී සිටිය හැකි තත්ත්වයක් තිබේද?
නොදැනුවත්කම සමාවට කරුණක් නොවෙයි. නොදන්නා බව පැවසීම නිසා නීතිය ඉදිරියේදී නිර්දෝෂී වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 1980 සමස්ත මහා වර්ජනය නිසා බොහෝ පිරිස් රැකියා නැතිව අදායම් මාර්ග ඇහිරී විශාල අපහසුතාවකට පත් වුණා. ඒ වර්ජනයට පැමිණි බොහෝ අය ඒ සඳහා සම්බන්ධ වුණේ සද්භාවයෙන්. ඒත්, වර්ජනයට එක් වූ සමහරුන්ව වෘත්තීය සමිති විසින් සහ දේශපාලන පක්ෂවලින් තමන්ගේ පටු දේශපාලන අරමුණුවලට යොදා ගත්තා. වර්ජනයට එක් වූ අහිංසක සේවකයන්ගේ යහපත සලකා කටයුතු කළේ නැහැ. ඔවුන් වර්ජනයෙන් පසු දැඩි අපහසුතාවට සහ අසරණ භාවයට පත් වුණා. දේශපාලන පක්ෂ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට ඔවුන්ව පාවිච්චි කළා. එදා මෙන්ම අදත් සිදු වෙන්නේ මේ දේ කියලයි අපට පෙනෙන්නේ.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඇති කළ මේ අත්‍යවශ්‍ය සේවා නියෝගයට දැන් අවුරුදු 44ක් ගතව තිබෙනවා. ඇත්තෙන්ම එදා පැනවූ මේ නීති වර්තමානයට ඒ ආකාරයෙන්ම ගැළපෙනවා යැයි ඔබ සිතනවාද?
ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසු ජනාධිපතිවරු හය දෙනකු රට පාලනය කළා. අවශ්‍යතාවක් තිබුණා නම්, ඒ ජනාධිපතිවරුන්ට හැකියාව තිබුණා, මේ නීතිය වෙනස් කරන්න. ඒත්, කිසිවකු මේ නීතිය වෙනස් කරන්නට උත්සාහ කළේ නැහැ. මේ කාලය තුළ ප්‍රධාන පක්ෂ තුනකින් ජනාධිපතිවරු පත් වුණා. ඒ කිසිවකු මේ ගැන අවධානය යොමු නොකළේ මේ නීතිය රටට අවශ්‍ය වන මොහොතක් පැමිණෙන නිසා විය හැකියි.
ආණ්ඩුව වර්ජකයන්ගේ ඉල්ලීම් නොතකමින් අත්‍යවශ්‍ය නියෝග පැනවීම නිසා ආණ්ඩුව නම්‍යශීලි නොවෙමින් කටයුතු කරන බවට චෝදනාවක් එල්ල වෙනවා. මේ චෝදනව පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?
ආණ්ඩුව කැත්තට පොල්ල ප්‍රතිපත්තියේ ඉන්නවා කියලා පෙනෙන්නේ නැහැ. පසුගිය දිනවල වර්ජක පාර්ශ්ව සමඟ ආණ්ඩුව සාකච්ඡා කළා සමහර ඉල්ලීම්වලට ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. මේ අවස්ථාවේ රට සිටින්නේ ඉතාමත් තීරණාත්මක තැනකයි. ආර්ථික තත්ත්වය කඩා වැටී රට ලොකු අර්බුදයකට ලක්ව තිබෙන්නේ. ඒ තත්ත්වයෙන් රට යම් තරමකට හෝ ගලවා ගැනීමට නම් මූලික වශයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය ලබා ගන්න ඕනෑ. දැන් රට ණය ලබා ගැනීමට හැකි වාසිදායක තැනකයි සිටින්නේ. එහෙත් වර්ජන මඟින් මේ තත්ත්වය කඩකප්පල් වුණොත් රටට යළිත් නරක කලදසාවක් ඇතිවෙන එක නවත්වන්න බැහැ. ඒ නිසා තමයි මේ අවස්ථාව වර්ජනවලට නුසුදුසු අවස්ථාවක් විදිහට සලකනු ලබන්නේ. අද ඇතිව තිබෙන තත්ත්වය මූල්‍ය අරමුදලේ ණය ලැබීමත් සමඟ යම් සහනශීලි තත්ත්වයකට පත්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි යහපත් අපේක්ෂා ඇති කර ගන්න පුළුවන්. ආණ්ඩුව අපහසු තීරණ අරගත්තේ රටේ යහපත වෙනුවෙන්. මේ වගේ මොහොතක ජනප්‍රිය තීන්දු ගත්තොත් රටේ අර්බුදය දෙගුණ, තෙගුණ වීම මිස ඉන් එහා විසඳුමක් ලැබෙන්නේ නැහැ. අද වර්ජනයට එක්ව සිටින පිරිස් සුළු කාලයක් ඉවසීමෙන් බලා සිටීමට පුළුවන් නම්, සියල්ල යහපත් විදිහට විසඳා ගැනීමට හැකියාව ලැබේවි.
එහෙත් අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම මඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය භාෂණයේ නිදහස නැතිවෙන බවට චෝදනා එල්ල වෙනවා. මේ එල්ලවන චෝදනාවල බැලූ බැල්මට සාධාරණ භාවයක් තිබෙන බව පෙනෙනවා. මේ ගැන ඔබේ මතය පැහැදිලි කළ හැකිද.?
මේ නියෝගය ගැසට් එකක් පළ කළ පමණින් ජනාධිපතිවරයාට විතරක් ක්‍රියාත්මක කරන්න බැහැ. පාර්ලිමේන්තුව මඟින් අනුමත කරන්න ඕනෑ. ඒ ආකාරයට අනුමත වුවද තමන්ට සෑහීමකට පත් වෙන්න බැරි නම් අධිකරණයට ගිහින් සාධාරණය ඉල්ලා සිටින්න පුළුවන්. අනෙක මෙම නීතිය ව්‍යවස්ථාවෙන් බාහිරව ඇති කළ එකක් නොවෙයි. ව්‍යවස්ථානුකූලව පැන වූ නියෝගයක්. අනෙක තව කෙනෙකුගේ නිදහස තවත් කෙනෙකුට බාධාවක් නොවිය යුතුයි. ඔබේ නිදහස තවත් කෙනෙකුට බාධාවක් නොවන තාක් ඔබට ඔබේ නිදහස භුක්ති විඳින්න පුළුවන්. ඒක පුද්ගලිකව ඔබට පමණක් නොවෙයි පොදු වශයෙන් සමස්ත සමාජයටම අදාළ දෙයක් විදිහටයි සලකන්න පුළුවන්කම තිබෙන්නේ.
වර්ජනයට එක්වන සුවිශේෂ කණ්ඩායමක් විදිහට වෛද්‍යවරු සලකන්න පුළුවන්. ඔවුන් වර්ජනය සිදු කිරීම මඟින් අත්‍යවශ්‍ය සේවා නියෝග කඩ කිරීම තුළ උද්ගත වන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ හැකිද?
වෛද්‍යවරු වර්ජනයට එක්වීම තුළින් අත්‍යවශ්‍ය සේවා නියෝග පමණක් නොවෙයි, සදාචාරවත් කරුණු ද ඉක්මවා තිබෙනවා. අනෙක් පසින් වෛද්‍ය වෘත්තීය ආචාරධර්ම නොතැකීම වැනි වැරැදි කිහිපයකටම ඔවුන් ගොදුරු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී සියලු දෙනාම හොඳ කල්පනාවෙන් වැඩ කර රට වැටී තිබෙන තැනින් ගොඩ ගන්න එක කාලීන වගකීමක්.