Home අද උපයන විට බදු ගෙවන්නේ රාජ්‍ය සේවයේ 10% යි – වෛද්‍යවරු චැනල් සේවා...

උපයන විට බදු ගෙවන්නේ රාජ්‍ය සේවයේ 10% යි – වෛද්‍යවරු චැනල් සේවා වර්ජනය කරලා නෑ

679
0

උපයන විට බදු ගෙවන්නේ රාජ්‍ය සේවයෙන් සමස්ත රාජ්‍ය සේවයකයන්ගෙන් සියයට 10ක පමණ පිරිසක් බවත් සියයට 90ක පිරිසක් බදු ගෙවීමට යටත් නොවන බවත් මෙම බදු පැනවීම රජය කැමැත්තෙන් කළ දෙයක් නොවන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් සබඳතා ඇති කර ගැනීම වෙනුවෙන් මෙම කටයුතු සිදු කිරීම අත්‍යාවශ්‍ය බවත් එසේ නොකොළොත් මේ වන විටත් බංකොලොත් වී ඇති රට තවදුරටත් කඩා වැටෙනු ඇතැයි ඔහු කියා සිටියා.

එසේ වුවහොත් ඉන්ධන, බෙහෙත්, ගෑස් නොමැති රටක් බවට රට පත්වෙනු ඇති බවත් රට ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයට පත්වෙනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

“මේ කට්ටේ කොහොම හරි පනින්න වෙනවා. එහෙම නොවුණොත් රට විනාශ වෙනවා. මේ නිසා කෙටි කාලයකට අපිට කැපකිරීම් කරන්න වෙනවා” යනුවෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියා.

අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට උපයන විට බදු ගෙවිය යුත්තේ සමස්ථ රාජ්‍ය සේවයෙන් 10%ක ප්‍රතිශතයක් පමණක් වුවත් ඇතැම් වෘත්තීය සමිති තම දේශපාලන අභිමතාර්ථයන් හේතුවෙන් සමස්ථ රාජ්‍ය සේවයම අකර්මන්‍ය කරමින් සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරවීමට 15 වැනිදා (හෙට) වැඩ වර්ජනයක් කැඳවා තිබෙනවා.

මෙම වැඩ වර්ජනය කෙතරම් සාධාරණද යන්න සාමාන්‍ය ජනතාව ප්‍රශ්න කරමින් සිටින්නේ 10%ක් පමණක් වූ රාජ්‍ය සේවයෙන් උපයන විට බදු ගෙවන පිරිසක් හේතුවෙන් ජනතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙන රාජ්‍ය සේවකයන් සියල්ලම පහේ වර්ජනයකට කැඳවා තිබීම හේතුවෙන්.

පසුගිය සමයේ පාසල් සිසුන් වෙනුවෙන් සහ ගුරු වැටුප් විෂමතා වෙනුවෙන් ඉදිරි පෙළේ අරගල කරුවකු ලෙස කටයුතු කල ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වර්ජනය හේතුවෙන් පාසල් සිසුන්ගේ විභාග නැවත්වීමට කටයුතු කළයුතු බවයි.

සිසුන් ඉහළ ශ්‍රේණියකට සමත්වීම සඳහා පවත්වනු ලබන පාසල් අවසන් වාර විභාගය මෙලෙස කල් දමන ලෙස පැවසීම දරුවන් වෙනුවෙන් කටයුතු කරන බව පවසන ගුරු සංගම් ලේකම් වරයකුට නොගැලපෙන බව දෙමාපියන් පවසනවා.

වෘත්තීය අයිතීන් දිනාගැනීමට මෙලෙස දරුවන්ගේ විභාග කඩාකප්පල් කරමින් ඒවා නොපවත්වන්නට බල කරමින් වර්ජන කිරීම දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන සැබෑ ගුරුවරුන්ට කළ නොහැක්කක් බවත් දෙමාපියන් සඳහන් කරනවා.

එමෙන්ම වෛද්‍යවරුන්ද හෙට පැවැත්වෙන වර්ජනය සඳහා සහභාගී වන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දින සිට රටම වසා දමන බවට තර්ජනය කරමින් උපයන විට බදු ගෙවීමේ ප්‍රතිපත්තිය අකුලා ගැනීමට රජයට බලපෑම් කරමිනේ සිටින්නේ එදිනෙදා ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණෙන රෝගීන්ව අපහසුතාවයට පත්කරමින් බවත් වෛද්‍යවරු කිසිවකු තම පෞද්ගලික චැනල් සේවා වලින් ඉවත් වී නොමැති බවත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් “පුනරුදයේ නීතිඥවරුන්ගේ සංගමය” කියා සිටිනවා.

හෙට දිනයේ වර්ජනයේ නිරත වන බහුතරයක් වෘත්තීය සමිති දේශපාලන අභිමතාර්ථයන් පෙරටු කරගත් වෘත්තීය සමිති බවත් දිගු පෝලිම් යුග රටේ පැවති කාලයේ සාමාන්‍ය දුක්විඳින ජනතාව ශක්තිමත් කිරීමට නොව රටේ නායකයන්ගේ ගුණ වර්ණනා කරමින් ඔවුන් සමඟ සිටගත් වෘත්තීය සමිති බවත් පවසන ජනතාව කියා සිටින්නේ රට වැටී ඇති මොහොතක රුපියල් ලක්ෂයකට වඩා වැටුපක් ලබාගන්නා ඔවුන්ට උපයන විට බද්ද්දක් ගෙවන්නට සිදුවීම හේතුවෙන් ඔවුන් සමඟ සිටගැනීමට ඔවුන් විසින්ම අපහසුතාවයට පත්කරන ජනතාවට ආරාධනා කිරීම වෘත්තිකයින් ලෙස නුසුදුසු බවයි.

Previous articleබදු සල්ලි වලට මොකද කළේ?
Next articleබදු වලට විරුද්ධ වෘත්තිකයෝ මිලියන ගණන් බදු සහන අරගෙන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here