Home අද ලංකාවේ ණය කපා හරින්න – ලෝකෙම ආර්ථික විද්වතුන් 180 ක් ‌ලංකාව වෙනුවෙන්...

ලංකාවේ ණය කපා හරින්න – ලෝකෙම ආර්ථික විද්වතුන් 180 ක් ‌ලංකාව වෙනුවෙන් ලෝකයෙන් ඉ

752
0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීමට විදෙස් ණය ප්‍රතිව්‍යුගත කිරීමක් අවශ්‍ය බව ලොව පුරා සිටින විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෝ 180 ගේ කණ්ඩායමක් “ද ගාඩියන්” ( the Guardian)   වෙබ්අඩවියට‌ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෙවත් ණය කපා හැරීම ,  ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති ගෝලීය ආයෝජන දැවැන්තයින් විසින් වළක්වමින් සිටින බවද ඒ හේතුවෙන් මෙම ප්‍රශ්නය දරුණු අර්බුදයක් වී ඇති බවද මෙම ආර්ථික විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ.

ඉන්දියානු ආර්ථික විද්‍යාඥ ජයති ගෝෂ්, ලොව පුරා ඉහළ අලෙවියක් ඇති කැපිටල් (Capital) පොතේ කතුවරයා වන තෝමස් පිකෙටි සහ ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානිස් වරූෆකිස් ඇතුළු පිරිසක් මෙම 180 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරයි.

මේ වනවිට ශ්‍රී ලංකාව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් මෙම ආර්ථික විශේෂඥයින්ගේ ඇගයීමට ලක්ව ඇති අතර ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීමට අවස්ථාව ලබාදිය යුතු බවත් ඒ වෙනුවෙන්  විදෙස් ණය කපා හැරීමක් අනිවාර්යෙන් සිදුකළ යුතු බවද ඔවුන් පෙන්වා දී ඇත.

ලංකාවේ විදෙස් ණය

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදෙස් ණය වලින් 40% වැඩි ප්‍රමාණයක් පුද්ගලික ණය හිමියන්ගෙන් හෝ ආයෝජන ආයතන මගින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආකාරයෙන්, ලබාගත් ණය ලෙස ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල් සඳහා ස්වෛරීත්ව බැඳුම්කර ආකාරයෙන් ණය ලබාදෙන විට ලෝකයේ අනිකුත් රටවල ආයෝජනය කරනවාට වඩා වැඩි පොලී මුදලක් අයකරන අතර එසේ කරන්නේ එම රටවලට ණය පියවීමේ අවදානමක් ඇති බැවිනි. ඒ අනුව ලංකාවට ස්වෛරීත්ව බැඳුම්කර ආකාරයෙන් විදෙස් ණය ලබාදී ඇති පුද්ගලික ණය හිමියන් ඒවායේ ණය ගෙවීම් සහ පොලිය ලෙස 50% වැඩි මුදක් අයකරගෙන තිබේ. එමගින් මේවනවිට ඔවුන් විශාල ලාභයක් අත්කරගන්නා බවද මෙම ආර්ථික විශේෂඥයෝ 180 ක කණ්ඩායම පෙන්වා දෙයි.

ගෝළීය ආයෝජන දැවැන්තයින්ට චෝදනාවක්

ඒමෙන්ම මෙලස ස්වෛරීත්ව බැඳුම්කර ආකාරයෙන් ලබාගන්නා ණය වැඩි පොලී අනුපාතිකයන් සමග වාරික ගෙවීමට සිදුවීම නිසාම ශ්‍රී ලංකාව වැනි තුන් වැනි ලෝකයේ රටවල් මුල්‍ය අස්ථාවරත්වයකට පැමිණ ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

තුන්වැනි ලෝකයේ රටවල ආර්ථික තත්වය පිළිබඳ අවබෝධයෙන් , ඇතිවිය හැකි අවධානමට සරිලන ලෙස වැඩි පොලියකින් ස්වෛරීත්ව බැඳුම්කර ණය ලබාදෙන්නේනම් ඒවැනි රටවල් ආර්ථික වශයෙන් කඩාවැටෙන අවස්ථාවේදී ණය කපා හැරීමටද ගෝලීය ආයෝජන ප්‍රජාව බැදී සිටින බව මෙම ආර්ථික විශේෂඥයෝ 180 ක කණ්ඩායම ඒකමතිකව සඳහන් කරයි. ඒසේ නොකර වගකීම් පැහැර හැරීම යුක්ති සහගත නොවන බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒමෙන්ම ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම ගෝලීය ආයෝජන දැවැන්තයින් සමග සාකච්ඡා කරමින් සිටින බවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියා නොකිරීමෙන් එම ණය හිමියන්ගේ යුක්තිසහගත භාවය පිළිබඳ ප්‍රශ්න කරන බවද මෙම විශේෂඥ කණ්ඩායම සඳහන් කරයි.

ලංකාව ආදර්ශයක් කරගන්න

මුළු ලෝකයටම බලපා ඇති ආර්ථික අර්බුදය ඒමෙන්ම 2023 වර්ෂය වන විට තවත් දරුණු වන අතර ඒ හේතුවෙන් තුන්වැනි ලෝකයේ රටවල් බොහොමක් ආර්ථික වශයෙන් කඩාවැටීමට ලක්විය හැකි බව මෙම ආර්ථික විද්‍යා විශේෂඥ කණ්ඩායම අනාවැකි පළකර තිබේ.

ලෙබනනය යුක්ක්‍රේනය සැම්බියාව ගානා රාජ්‍ය ආදී රටවල් විදෙස් ණය ගෙවීමේ අර්බුදයට මේවනවිට මුහුණ දෙමින් සිටින අතර ඉදිරියේදී එම තත්වය තවදුරටත් උග්‍රවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

ඒබැවින් මේ අවස්ථාවේ ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව ට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දෙන ලෙසත් ශ්‍රී ලංකාව ආදර්ශයක් කරගනිමින් අනිකුත් රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු සැලසුම්කළ හැකි බවත් මෙම ආර්ථික විශේෂඥ කණ්ඩායම ගෝලීය ආයෝජන දැවැන්තයින්හට සඳහන් කර තිබේ.

අඩු ආදායම් ලබන රටවලින් තුනේන් දෙකක් ඉදිරියේදී මෙම ණය අර්බුදයට මුහුණ දිමට සිදුවන අතර එම රටවල සහන සැලසීමටද ශ්‍රී ලංකාවේ තත්වය උදාහරණයකට ගත හැකි බවද මෙම ආර්ථික විශේෂඥ කණ්ඩායම සඳහන් කර ඇත.

ඒමෙන්ම ගෝලීය ආයෝජන දැවැන්තයින්ගේ යුක්තිසහගතභාවය ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවේ විදෙස් ණය කපා හැරීමට සහයවන ලෙස ලොව පුරා ආර්ථික විශේෂඥයින් 180කගේ කණ්ඩායම සිය ඒකාබද්ධ ප්‍රකාශයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

 

 

 

 

 

 

Previous articleසජිත් PANIC වෙලා – අනුර
Next articleපුදුම හිතෙන රජයේ රෝහලක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here