Home අද කුලියාපිටිය නගර සභාවෙන් අලුත් වැඩක් – මාර්ග ඉදිකිරීමට වෙනම ඒකකයක්

කුලියාපිටිය නගර සභාවෙන් අලුත් වැඩක් – මාර්ග ඉදිකිරීමට වෙනම ඒකකයක්

693
0

කුලියාපිටිය නගර සභාව විසින් සිය බල ප්‍රදේශය තුළ මාර්ග සංවර්ධනය හා නඩත්තුව සඳහා ක්‍රියාත්මක වන ඒකයක් ස්ථාපිත කර ඇති අතර ඒ හරහා වඩා කාර්යක්ෂමව, ලාබදායීව, කඩිනම්ව මාර්ග ඉදිකිරගැනීමට නගර සභාව සමත්ව තිබේ. 2022 මුදල් වර්ෂය තුළ කුලියාපිටිය නගර සභාව විසින් මාර්ග ඉදිකිරීම් නඩත්තු කිරීම් සහ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන් 15 ක් මෙම ඒකය මඟින් සිදුකර ඇති අතර ඒ සඳහා වියදම් වී ඇති මුදල රුපියල් ලක්ෂ 47 කි. ඒමෙන්ම මාර්ග ඉදිකිරීම් සම්බන්ධ ව්‍යාපෘතීන් 07 ක් මේවනවිට නගර සභාව ක්‍රියාත්මක කරමින් පවතී. කුලියපිටිය නගර සභාවේ 2022 මුල්‍ය වර්ෂයට සම්බන්ධ අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක වී ඇති ආකාරය සම්බන්යෙන් සිදුකළ ගවේෂණයේදී මේබව අනාවරණය විය.

නගර සභාව විසින් ස්ථාපිත කර ඇති මෙම විශේෂ ඒකකය මගින් මාර්ග ඉදිකිරීමට අදාළ උපකරණ සපයාගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ද ලබාගෙන ඇති බැවින් ගුණාත්මකභාවයෙන් යුතු මාර්ග ඉදිකිරීමක් කිරීමට නගර සභාවට හැකියාව ලැබී ඇත. නගර සභා බල ප්‍රදේශය තුළ මාර්ග ඉදිරීම් මේ ආකාරයට වසර ගණනාවක් පුරාවට සිදුකරගෙන එමින් පවතින අතර එම මාර්ග අවශ්‍ය ගුණාත්මකභාවයෙන් පවතින බවට තාක්ෂණික ඇගයීම් නිලධාරීන් විසින් අනුමත කර තිබේ. එමෙන්ම මාර්ග භාවිත කරන ජනතාව හෙවත් නගර සභා බල ප්‍රදේශයේ පුරවැසියන්ද එම මාර්ග සම්බන්ධයෙන් සතුටුවන මට්ටමක ඇත.  නගර සභාවේ සංකල්පයක් අනුව මෙම ඒකකය ස්ථාපිත කර ඇති අතර වියදම් අඩුකරගැනීම එහි මුලික අරමුණ වී තිබේ.

නගර සභාව තුළ මාර්ග ඉදිකිරීමේ අංශය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කළ සොයාබැලීමට අනුව අදාළ වර්ෂයක මාර්ග ඉදිකිරීම් සහ නඩත්තු සඳහා වර්ෂය ආරම්භයේ දී ම මෙම ඒකකය සුදානම් වේ. ඉදිකිරීම් සඳහා අවශ්‍ය ගල් වැලි තාර ඇතුළු අමු ද්‍රව්‍ය නිසි මිලදී ගැනීමේ ක්‍රමවේද අනුගමනය කර සිය ගබඩාවල ගබඩාකරගන්නා අතර වසර පුරාවට ඉදිකිරීම් සැලසුම් කර ඇති පරිදි සිදුකරගෙන යන බව පැහැදිලි විය. මේ සම්බන්ධයෙන් අදහස් විමසීමේදී කුලියාපිටිය නගර සභාවේ සභාපති ඒ. එල්.එම් අධිකාරී මහතා පැවසුයේ මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් නගර සභාව අනුගමනය කරන මෙම ක්‍රමවේදය හේතුවෙන් අඩු වියදමින් ගුණාත්මක බවින් ඉහළ මාර්ග කෙටි කාලයකින් ඉදිකිරීමට හැකියාව ඇති බවය. මාර්ග ඉදිකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය සහ යාවත්කාලීන සිදුකිරීම් මෙම ඒකකය වෙත නිරන්තරයෙන් ලබාදෙන අතර අවශ්‍ය සේවක සංඛ්‍යාව පවත්වාගෙන යාමට නගර සභාව කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය. සාමාන්‍යයෙන් වාර්ෂික අයවැය යෝජනාවලිය තුළ මාර්ග ඉදිකිරීම් සහ නඩත්තු කිරීම් යෝජනා  රාශියක් ඇතුළත් වන බවත් එමෙන්ම ජනාතව විසින් යොමුකරන යෝජනා තුළද මාර්ග ඉදිකිරීම් සම්බන්ධ යෝජනා ඇතුළත් වන බැවින් නගර සභාව තුළ මෙම ඒකකය ස්ථාපිත කිරීමට නගර සභාව තීරණය කර ඇත. සභා බල ප්‍රදේශය තුළ මාර්ග ඉදිකිරීම් සම්බන්ධයෙන් ප්‍රදේශයේ පුරවැසියන්ගේ අදහස් විමසීමේදී මාර්ග ඉදිකිරීම් නිසි පරිදි සිදුවන බවට ඔවුන් අදහස් දැක්වීය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කුලියාපිටියේ ගුණතිලක වන්නිආරච්චි මහතා පැවසුයේ “අපේ පාරවල් නගර සභාව හදනවා. නගර සභාවෙන් වෙන්න ඔන වැඩ ගැන අපි සභාපතිතුමාටම දුරකථනයෙන් දැනුම්දෙනවා. ගොඩක්වෙලාවට ඒ වැඩ බොහොම ඉක්මණින් සිදුවෙනවා”. යනුවෙනි. අයවැය ක්‍රියාත්මක වීම පිළිබඳව ඔහුට එතරම් අදහසක් නොතිබිණි. නගර සභාවේ ක්‍රියාකාරීත්වය සහ මාර්ග ඉදිකිරීම් සම්බන්ධයෙන් රීටා බියෙට්‍රිස් දිසානායක මහත්මිය පැවසුවේ මෙවැන්නකි. “ අපේ පාරටත් තාරදාලා හදලා දෙන්න කියලා අපි නගර සභාවේ මන්ත්‍රී කෙනෙකුට කිව්වා. කොහොමහරි වැඩිකල් නොගිහින් පාර හැදුවා. පාර හදන්න ගොඩක් කාලයක් ගියෙත් නැහැ. තාමත් පාවිච්චි කරන්න පුළුවන් තරමට හොදට පාර තිබෙනවා. නගර සභාවේ වැඩ ගැන අපි සතුටුවෙනවා” යනුවෙනි.

කුලියාපිය නගර සභා 2022 අයවැය යෝජනාව මඟින් ඉදිරිපත් කර ඇති දුටුගැමුණු මාවත සංවර්ධනය කිරීමේ යෝජනාව ක්‍රියාත්මක වී ඇති ආකාරය සොයාබැලු අතර එම යෝජනාව 2022 ජනවාරි මාසය අවසන් වන විට ම ක්‍රියාත්මක කර අවසන් කිරීමට නගර සභාවය හැකියාව ලැබී ඇත. එම යෝජනාව නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවයෙක් සිදුකර ඇති යෝජනාවක් වීම විශේෂත්යකි. යෝජනාවේ සඳහන් ආකාරයට මාරගය මීටර් 225 ක් තාර දමා සංවර්ධනය කර තිබේ. එමෙන්ම මේ වනවිට එම මාර්ගය ද ඇතුළත් කුලියාපිටිය කදුරුගස්හේන කොට්ඨාශයේ කාණු ඉදිකිරීම් තවදුරටත් නගර සභාව විසින් සිදුකෙරෙමින් පවතී.

2023 අයවැය වර්ෂයට අදාළව ද මාර්ග ඉදිකරීම් සහ නඩත්තුව සම්බන්ධ යෝජනා බොහොයක් අයවැය යෝජනාවට ඇතුළත් කර ඇති අතර එම සංවර්ධන කටයුතු ද මාර්ග ඉදිකිරීම් ඒකකය සමග එක්ව ගුණාත්මකව ඉදිකිරීමට නගර සභාව සැලසුම්කර ඇති බව නගර සභාව සඳහන් කරයි. එමෙන්ම කොන්ත්‍රාත් ලබාදී මාර්ග ඉදිකිරීමට වඩා විශේෂ ඒකකය මගින් මාර්ග ඉදිකිරීම තුළ සැලසුම් කළ මුදල් ප්‍රමාණයට වඩා අඩු මුදල් ප්‍රමාණයකින් අදාළ ව්‍යාපෘති සිදුකර ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එම ඉතිරි කරගන්නා මුදල් සියල්ල නගර සභාවේ කටයුතු වෙනුවෙන් යළි යෙදවීමට හැකිවීම පිළිබඳව සතුටුවන බව ද කුලියාපිටිය නගර සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පාළාත් පාලන ආයතන හෝ පළාත් සභා හෝ පාර්ලිමේන්තුව යන මෙම මහජන නියෝජිතායන මගින් අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී එම අයවැය යෝජනා සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමක් නොකර අතර ඒවා සම්බන්ධ පසු විපරම් නොකිරීම හේතුවෙන් දිගින් දිගටම මෙම තත්වය සිදුවෙමින් පවතී. එබැවින් අයවැය යෝජනා ඉදිරිපත් කරන්න පරිදිම ක්‍රියාත්මක වීම පිළිබඳ ව පසුවිපරම් කිරීම පුරවැසියන් ද අනිවාර්යෙන්ම කළ යුතු කාර්යක් බවට පත්කර ගතයුතුව තිබේ.

  • චාමර සම්පත්

 

 

 

Previous article‘ශිෂ්‍ය භික්‍ෂූන්ට බුදුන් වැඳීම නයාට අඳුකොළ වගේ’
Next article‘ICE’ දේශපාලන Agenda එකක් ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here