Home අද ධීවරයින්ට  ලබන වසරේ සිට විදුලි මෝටර් බෝට්ටු

ධීවරයින්ට  ලබන වසරේ සිට විදුලි මෝටර් බෝට්ටු

799
0

 

ධීවරයන්ට මුහුණ දීමට සිදුව ඇති ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ලබන වසරේ සිට විදුලි මෝටර් බෝට්ටු හඳුන්වාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පාර්ලිමේන්තුවේ පැවති ධීවර කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පැවසිය.

කුඩා මසුන් ඇල්ලීමේ නිරත ධීවරයින්ට බැටරිය භාවිතයෙන් කිලෝමීටර් 100ක් ගමන් කළ හැකි විදුලි මෝටර් බෝට්ටු හදුන්වා දීමට අපේක්ෂා කරන බවත් දිනකට වියදම රුපියල් 86ක් පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. භූමිතෙල් සහ ඩීසල් භාවිත කරන බෝට්ටු සඳහා සූර්ය පැනල සහ සුළං ටර්බයින මගින් විදුලිය උත්පාදන පහසුකම් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති බවද  අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම රැස්වීමට එක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේ ධීවරයින් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශය විශේෂ ජංගම සේවාවක් සාර්ථකව ක්‍රියාත්මක කරන බවත් ඒ හරහා ධීවරයන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබාදිය හැකි බවත්ය.

මේ අතර විදේශ රටවලින් ටින්මාළු ආනයනය කිරීම පිළිබඳව මන්ත්‍රීවරුන් කමිටුවේ අවධානයට යොමු කළහ. බලපත්‍රයක් නොමැති කිසිවකුට ටින්මාළු ආනයනය කිරීමට අවසර නොමැති බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අතර ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සැපයීම සදහා මිරිදිය මසුන් ඇල්ලීම දිරිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. මේ සඳහා ජලාශවලට මාළු පැටවුන් මුදා හැරීමේ වැඩපිළිවෙළ පුළුල් කරන ලෙස මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ. ලබන වසරේ තෝරාගත් මිරිදිය ජලාශ 2500කට මත්ස්‍ය පැටවුන් මුදා හැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය.

එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල ධීවරයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමු කළහ.

මෙම රැස්වීමට නියෝජ්‍ය කථානායක   අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය  ශාන්ත බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය   සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන   විජිත හේරත්,   චන්දිම වීරක්කොඩි,   දිලිප් වෙදආරච්චි,   උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,  (මේජර්) සුදර්ශන දෙනිපිටිය,  රාජිකා වික්‍රමසිංහ,   එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප්, එස්.එම්.එම්. මුෂාරෆ්,  කුලසිංහම් තිලීපන් යන මහත්වරුද ධීවර අමාත්‍යාංශයේ නිලධාරීහූද  සහභාගී වූහ.

Previous article2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08ට එන්නම්
Next articleවිනය කැඩුවට වනිඳුට දඩුවමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here