පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බවත් වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට රුපියක් 54,000කට ආසන්න දීමනාවක් හිමිවන බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසයි.
පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, මීට අමතරව පැමිණීමේ දීමනාවක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයන් වෙනුවෙන් රු 2,500ක මුදලක් සහ රැස්වීම් නොපවැත්වෙන දිනයන්වල දී කාරක සභාවලට සහභාගී වීම වෙනුවෙන් රු 2,500ක දීමනාවක්ද සියළුම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන බවයි.
එමෙන්ම, දුර ප්‍රමාණය මත ඉන්ධන දීමනාවක් හිමිවන බවත්, එය සූත්‍රයක් අනුව ගණනය කරන බවද සඳහන් කළ මහලේකම්වරිය, පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40ක් ඇතුළත නිවසක් නොමැති අයට, අයදුම් කර මාදිවෙල ඇති මන්ත්‍රී නිවාස ලබාගැනීමට හැකියාව ඇති බව ද සඳහන් කර සිටියේය. මාදිවෙල එවැනි නිවාස 108ක් මේ වනවිට ඇති බවත්, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ඉල්ලීම පරිදි පළමුවෙන් ඉල්ලීම් ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව නිවාස ලබාදෙන බවද එහිදී ඇය සඳහන් කර සිටියේය.
එමෙන්ම නිවාස කුලිය ලෙස රු 2,000ක මුදලක් ගෙවන බවත්, විදුලිබිල හා ජල බිල අදාළ මන්ත්‍රීවරයා විසින් ගෙවිය යුතු බවත් පෙන්වා දෙන මහලේකම්වරිය, ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වෛද්‍ය පහසුකම් ලබාගෙන එම මුදල දීමනාවලින් අඩු කිරීමටත් පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශය එක්ව පහසුකම් සලසා ඇති බවත් පෙන්වා දෙයි. මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අවශ්‍ය දීමනා ද අදාළ අමාත්‍යාංශය විසින් දරනු ලබන බවද ඇය සඳහන් කර සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන දීමනා හා වරප්‍රසාද සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දක්වා තිබේ.
රැස්වීම් දීමනාව, කාරක සභා දීමනාව, කාර්යාල දීමනාව, මන්ත්‍රී දීමනාව, රියදුරු දීමනාව, ඉන්ධන දීමනාව, පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව, නිදහස් තැපැල් පහසුකම් ආදි දීමනා මීට ඇතුළත් වේ.
දුරකථන දීමනාව වශයෙන් මන්ත්‍රීවරුන්ට ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000/= ක්ද පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව ලෙස සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් අයෙක් සඳහා රු. 2500 බැගින් රු. 10,000ක දීමනාවක්ද ඔවුන්ට හිමි වේ.
තැපැල් පහසුකම් වශයෙන් සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රු. 350,000/= ක් වටිනා මුද්දර ලබා දීම සිදු කෙරේ.
ඉන්දන දීමනාව වශයෙන් එක් එක් මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය තේරී පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළඳපොල මිළ ගණන් අනුව ගෙවනු ලබන අතර නිදසුනක් ලෙස කොළඹ ප්‍රදේශයට අයත් මන්ත්‍රීවරයෙකුට මාසිකව ඉන්ධන ලීටර් 283.94ක් සඳහා අවශ්‍ය ගෙවීම් සිදු කෙරේ. එය දළ වශයෙන් රුපියල්, 90,000ක පමණ වේ.
රැස්වීම් දීමනාව වශයෙන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් එක් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රු. 2500 ක් ද, කාරක සභා දීමනාව වශයෙන් පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රු. 2500 ක් බැගින්ද, කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රු. 100,000 ක් බැගින්ද මන්ත්‍රීවරුන්ට හිමි වේ.
ඒ අනුව, මෙම සියලු දීමනාවල එකතුව සැලකූ විට රුපියල් 328,785 ක පමණ ගෙවීම් ප්‍රමාණයක් මන්ත්‍රීවරුන්ට හිමිවන බව සඳහන් කර තිබේ.