Home අද හාල් සූප්පු කරලා ලූණු සුවඳ බලන්න – නත්තලට හිත හදාගන්න !

හාල් සූප්පු කරලා ලූණු සුවඳ බලන්න – නත්තලට හිත හදාගන්න !

967
0

වෙළඳ පොළේ සහල් සහ ලොකු ලූණු මිල අඛණ්ඩව ඉහළ යමින් තිබීම සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.

පාරිභෝගික ජනතාව පෙන්වා දෙන ආකාරයට මේ වන විට සිල්ලර වෙළඳ සැල් වල සහල් මිල කිලෝව රුපියල් 230 ඉක්මවා ගොස් ඇති අතර එළැඹෙන නත්තල් උත්සව සමයේ එය රුපියල් 250 -300 ක් දක්වා වර්ධනය වෙන තත්ත්වයක් පෙන්නුම් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිල්ලර වෙළෙන්දන් පවසන්නේ, සහල් තොග මිල පාලන මිල ඉක්මවා ඇති බැවින් පාලන මිලට සහල් විකිණීමට නොහැකිව ඇති බවයි.

මතුව ඇති තත්ත්වය හමුවේ තමන්ද බලවත් දුෂ්කරතාවකට මුහුණදී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සිල්ලර වෙළෙඳසල් හිමියෙකු මෙසේ පැවසීය.

” අපිට තොග වෙළෙන්දන් හාල් දෙන්නේ පාලන මිල ඉක්මවලා. ඉතිං අපි කොහොමද පාලන මිලට හාල් විකුණන්නේ ? කඩේට එන පාරිභෝගිකයන් අපිට දොස් කියනවා හාල් ගිනි ගණන් කියලා. අනිත් පැත්තෙන් පාරිභෝගික අධිකාරියත් අපිට නඩු දාන්න යනවා පාලන මිලට හාල් විකුණන්නේ නෑ කියලා . අපි දෙපැත්තකින් තැලෙන්න අරගෙන තියෙන්නේ . පාලන මිලට අඩුවෙන් හාල් තොග නිකුත් කරන්න කියලා කවුරුත් තොග වෙළෙන්දන් ට කියන්නේ නෑ . අපිට දැන් කඩ කෙරුවාවත් එපා වෙලා තියෙන්නේ . ජීවත් වෙන්න මාර්ගයක් නැති නිසා කරනවා. අපි හිතුවේ මේ ආණ්ඩුව ආවට පස්සේ වෙනසක් වෙයි කියලා . එයාලටත් තවම මේ ප්‍රශ්න විසඳන්න නෑකත ඇවිත් නෑ වගේ “

එසේම මේ වන විට සුපිරි වෙළෙඳ සල් ද සහල් විකිණීමේදී පාලනයක් සිදුකර ඇති බවද පාරිභෝගිකයන් චෝදනා කරයි.

ඔවුන් පෙන්වා දෙන ආකාරයට සම්බා, කැකුළු සහ නාඩු සහල් කිලෝ 3ක් පමණක් එක් වරකට ලබාදෙන තත්ත්වයක් ඇතිව තිබේ.

මේ අතර අද වන විට දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහල ගොස් තිබේ.

මෙම තත්වය මත ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 500-600 අතර මිලකට ඉහල යනු ඇතැ බවත් තොග ව්‍යාපාරිකයන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තොග වෙළෙන්දන් පවසන්නේ මෙරටට ලූණු ආනයනය කරන රටවල් කිහිපයකින් ලොකු ලූණු ආනයනය කිරීම සීමා කිරීම මත මෙම තත්වය උදා වී ඇති බවයි. එසේම සාමාන්‍ය වෙළෙඳ පොළ හැසිරීම අනුව මෙරට ලොකු ලූණු මිලද ඉහළ ගොස් තිබෙන බවද ඔවුන් සඳහන් කරයි.

Previous articleරංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රී කියලා පක්ෂය දැනෙගන තියෙන්නෙත් මාධ්‍යයෙන්
Next articleහරීන්ට ඇප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here