හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම වත්මන් ආණ්ඩුවේ පළමු දේශපාලන දඩයම බව හිටපු අමාත්‍ය, පාඨලි චම්පික රණවක චෝදනා කරයි.
2014 වසරේ සිදුකළ ගංවතුර ආධාර බෙදීමේ සිදුවීමක් මුල්කරගෙන මෙකී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති නමුත් වත්මන් පාලනය බලය ගැනීමට පෙර කියා සිටියේ, බැඳුම්කර හොරු, e වීසා වංචාව – e passport වංචාවට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගන්නා බව යැයිද හිටපු අමාත්‍යවරයා සිහිපත් කළේය.
අද (23) මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාඨලි චම්පික රණවක හිටපු අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේය.
2022දී රට ආර්ථික වශයෙන් බංකොලොත් කර මානව හිමිකම් උල්ලංඝනය කළ බවට වැරදිකරුවන් ව සිටින පිරිසට එරෙහිව අපරාධ චෝදනා ගොනුකර නඩු පවරනු ඇතැයි අපේක්ෂා කළද එවැන්නක් හෝ සිදුකිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් බවද එහිදී ඔහු පෙන්වා දුන්නේය.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොදුජන පෙරමුණ වෙතින් ඉවත්වූ කණ්ඩායම ඇතුළු පාර්ශ්ව රැසක් එකතුව ජනවාරි 08 වනදා මහජන වේදිකාව ලෙස විපක්ෂයේ ශක්තිමත් සන්ධානයක් ගොඩනඟමින් සිටින බවත්, ඊට නායකත්වය ලබාදෙන හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඉලක්ක කළ දේශපාලන පළිගැනීම සිදුවන්නේ ශක්තිමත් විපක්ෂයක් ගැන ආණ්ඩුව බිය නිසා බවත් ඔහු පැවසීය.
එසේම හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක වැඩිදුරටත් චෝදනා කර සිටියේ ජනතාවට සහල් ඇටයක් දීමට අසමත්, පොල් ගෙඩියක් සැපයීමට අසමත්, දුන් පොරොන්දු ඉටුකිරීමට අසමත් ආණ්ඩුව මෙවැනි ක්‍රියා හරහා ජනප්‍රිය වීමට උත්සාහ කරන බවයි.