Home අද ලංකාවේ බලශක්ති විප්ලවයේ ඇරඹුම – LNG සැපයුම් ගිවිසුමට අත්සන් තැබේ.!!

ලංකාවේ බලශක්ති විප්ලවයේ ඇරඹුම – LNG සැපයුම් ගිවිසුමට අත්සන් තැබේ.!!

878
0

ශ්‍රී ලංකාව පිරිසිදු සහ තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, LTL හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් LNG සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද(20දා) සිදුවිය.

ඒ අනුව කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied Natural Gas – LNG) ගබඩා කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණ කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited,India) අතර අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීම අද (20) පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී සිදු කෙරිණ.

ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී නුහුමාන් මරික්කාර් මහතා සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍රී අක්ෂේ කුමාර් සිං යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබීය.

මෙහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වූ අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් සහතික කරමින් අවම පිරිවැයක් යටතේ මෙරට පාරිභෝගික ජනතාවට විදුලි බලය සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි.

පසුගිය දෙවසර තුළ විදුලි බිලට අදාළව රජයට අසීරු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට සිදු වුවද අද විදුලිබල මණ්ඩලය ණය බරින් නිදහස් ශක්තිමත් ආයතනයක් බවට පත්ව ඇති බවත් ඒ නිසාම දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරි ගන්වමින් මෙවැනි නව එකඟතාවන්ට එළැඹීමට අවස්ථාව ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

LTL Holdings Limited සහ Petronet LNG Limited යන සමාගම් අතර සහයෝගීතා හවුල්කාරිත්වය මගින් සොබාධනවි විදුලි බලාගාරයට LNG සැපයීම සඳහා අතුරු විසඳුමක් ලෙස, ඉන්දියාවේ කොචි ප්‍රදේශයේ පිහිටා ඇති පෙට්‍රොනෙට්  සමාගමේ පර්යන්තයෙන් අධිශීතකරණමය පහසුකම් සහිත බහාලුම් (cryogenic ISO Containers) හරහා කොළඹ වරායට LNG ආනයනය කිරීමට හැකි තාක්ෂණික වැඩපිළිවෙළක් සකස් කර තිබේ. කොළඹ වරායට පැමිණීමෙන් පසුව, සෝබාධනවි බලාගාරයට යාබදව ඉදි කිරීමට නියමිත කෙරවලපිටිය ගබඩා සහ ප්‍රතිවායුකරණ පර්යන්තය වෙත ISO බහාලුම්වල LNG ප්‍රවාහනය කෙරේ.

සෝබාධනවි බලාගාරයේ පළමු අදියර 2024 අගෝස්තු මාසයේදී සහ දෙවන අදියර 2025 වසරේ පළමු කාර්තුවේදී ආරම්භ කිරීමත් සමඟ මෙම කටයුතු ක්‍රියාත්මක වන අතර එල්ටීඑල් හෝල්ඩිංග්ස් සමාගමෙහි බලශක්ති සංවර්ධන අංශය වන ලක්ධනවි සමාගම (Lakdhanavi Limited) විසින් සංවර්ධනය කරමින්, එහි හිමිකාරීත්වය යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරන මෙම බලාගාරය මඟින් වඩාත් තිරසර සහ ආර්ථික විභවයක් සහිත බලශක්ති අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වන රජයේ දැක්ම අනුව කටයුතු කරමින් රටේ බලශක්ති උත්පාදන හැකියාවන්හි සැලකිය යුතු දියුණුවක් සිදුකිරීමට කටයුතු කර තිබේ.

පිරිසිදු බලශක්ති ප්‍රභවයක් වන LNG භාවිතය මගින් හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කර ශ්‍රී ලංකාව ළඟාවීමට අපේක්ෂා කරන පාරිසරික ඉලක්ක කරා ළඟා වීමට දායක වනු ඇත.

තවද, LNG හි පිරිවැය කාර්යක්ෂමතාව මගින් විදුලිය නිෂ්පාදනය සඳහා වන පිරිවැය අඩු කිරීමටත්, පාරිභෝගිකයින්ට ආර්ථිකමට වශයෙන් සහනයක් ලබා දීමට සහ පුළුල් ආර්ථික වර්ධනයට සහාය වීමට මෙමඟින් හැකි වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, එල්ටීඑල් හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති යූ.ඩී.ජයවර්ධන, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ආයෝජකයින්, සමාගම් දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous articleපරාජය හමුවේ වියරු වැටුනු සමඟි ජනබලවේගයේ දිගම්බරම්
Next articleඋපාධිධාරීන් 20,000 රජයේ රැකියා – දේශීය ආදායම්/ රේගු/ විදේශ / සංචාරක තවත් රැකියා 3000 දෙනවා – අනුරගෙන් පොරොන්දුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here