Home අද කොන්ද පණ තියන කංචන සාගරගේ රෙදි ගලවයි

කොන්ද පණ තියන කංචන සාගරගේ රෙදි ගලවයි

1318
0

මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමටත් සාගර කාරියවසම් මහ ලේකම්වරයා ඉවත් කොට එම ධුරයට රමේෂ් පතිරණ මහතා පත් කළ යුතු බවටත් වු යෝජනා දෙකක් ඒකමතිකව සම්මත කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දී අද සිදු විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පාලටුව LHK හෝටලයේ දී පැවැත්විණි.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය නියෝජනය කරමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්,හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්,ඡන්ද අපේක්ෂකයින් ඇතුළු තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගී වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගියදා ගනු ලැබු තීරණය ප්‍රතික්ෂේප කොට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්විය යුතු බවට වු යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.

ඔහු විසින් ඉදිරිපත් කර ඇති අනෙක් යෝජනාව වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඉවත් කොට ඒ වෙනුවට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර පක්ෂය ශක්තිමත් කර ගත යුතු බවයි.

අදාල යෝජනා දෙකටම රැස්ව සිටි නියෝජිතයින් අත් ඔසවා ඒකමතිකව යෝජනා සභා සම්මත කර ගෙන ඇත.

දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කංචන විජේසේකර අමාත්‍යවරයා කියා සිටියේ පක්ෂයේ නායකවරයාගේ පවා අදහස් විමසීමකින් තොරව ඇතැමුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටින බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව මහින්ද රාජපක්ෂ මහතා හා සමඟ අදහස් හුවමාරුවේදී කතිකා කරගත් යෝජනාව නොවන බවත් එය උදයංග වීරතුංගගේ යෝජනාව බවත් මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

පක්ෂයේ මහා ලේකම්වරයා ක්‍රියා කරනුයේ පක්ෂ නායක වරයාගේ මතයේ සිට නොව උදයංග වීරතුංග සහ වෙනත් කණ්ඩායමක මතයේ සිටදැයි සැකයක් ඇති බවත් පොදුජන පෙරමුණ ගොඩනැගීමට මූලික වූ පිරිසක් ලෙස පක්ෂයේ සිට රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම වසර කිහිපයක සිට පක්ෂයේ මහා ලේකම් සාගර කාරියවසම් පක්ෂය දෙකඩ කිරීමේ අරමුණෙන් ක්‍රියාකරන බව පෙනී යන හෙයින් ඒ සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ මහතාව යෝජනා කළ බවද වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියා.

Previous articleසුරක්ෂා සිසු රක්ෂණය ක්‍රියාත්මක කෙරේ
Next articleසජිත් මහත්තයා වංචාවෙන් තොර රටක් හදනවා – ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here