Home අද අපි අවංකව රටට වැඩ කළා. ඒ නිසා ජනතාව අතරට එන්න බය නැහැ....

අපි අවංකව රටට වැඩ කළා. ඒ නිසා ජනතාව අතරට එන්න බය නැහැ. – නාමල්

1877
0

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ තුළ මේ රටේ වංචාව සහ දූෂණය අවම කරන්න අවශ්‍ය නීති පද්ධතිය සකස් කරන බවයි ඔහු කියන්නේ. හොරු අල්ලනවා හොරු අල්ලනවා යැයි පවසන සටන් පාඨය තවත් වසර 30 ක් දේශපාලන වේදිකාවට ගෙනඒමට ඉඩ නොතබන බවත් ඔහු සඳහන් කරනවා.

“මැතිවරණ වේදිකාවේ දී ලබාදෙන පොරොන්දු නොව මහ පොලොවේ යථාර්ථයක් කළහැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට හැකි එකම දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යි. දේශපාලන බලවේගයක් ලෙස අපි මේ රටේ ජනතාව වෙනුවෙන් හැමදාම හරි තීන්දුව ගත්තා. ඇතැම්විට ඒ තීන්දුව අභියෝගාත්මක තීන්දුවක් වෙන්න පුළුවන්. නමුත් අපි හරි දේ කළා. එක් පැත්තකින් ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳව රටේ බොහෝ දේශපාලන නායකයෝ තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිවලට පමණක් සීමා කළා. සාමය නොයෙක් ආකාරයෙන් අර්ථ දැක්වුවා. ඇතැමුන් ගිවිසුම් ගැසුවා. තවත් සමහර අය යුද්ධ කරන්න උත්සාහ කළා. තවත් පිරිසක් ආයුධ දීලා හෝ මේක සමබරතාවයෙන් ඉස්සරහට යන්න උත්සාහ කළා. වසර 30 ක් යුද්ධය අවසන් කරනවා සාමය ගේනවා කියලා මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා වසර 30 ක් සාමය කියන එක දේශපාලන වේදිකාවේ සටන් පාඨයක් වෙච්ච එක යථාර්ථයක් බවට පත්කරන්න අවුරුදු තුනකින් කටයුතු කළා.

2015 වසරේ දී අපේ ගෙවල්වලට ආවා. අපිව හිරේ දැම්මා. ලෝකෙ වටේ සවාරි ගියා අපිට විදේශ බැංකු ගිණුම් තිබෙනවා ද කියා සොයා බලන්න. නමුත් පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දී කියනවා රාජපක්ෂවරු විසින් අයුතු ලෙස උපයාගත් මුදල් සහ කිසිඳු ගිණුමක් වත්කමක් තිබෙන බවට ලෝකයේ කිසිඳු රටකින් සනාථ වුණේ නැහැ කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා මම මොනවා කරන්නද මම නඩු දැම්මා රාජපක්ෂවරු නිදහස් වුණා කියලා.

අපි අවංකව රටට වැඩ කළා. ඒ නිසා අපි ජනතාව අතරට එන්න බය නැහැ. අපි එදත් කිවුවා බොරුවට හොරා හොරා කියා චෝදනා නොකර යමක් තිබෙනවා නම් පැහැදිලිව ප්‍රකාශ කරන්න කියා. පරීක්ෂණයක් කරන්න කිවුවා. යුද්ධය අවුරුදු 30 ක් වවාගෙන කෑවා වගේ මේ සියල්ල දේශපාලන වේදිකාවේ දී කිවුවා. වර්තමානයේ ඇතැම් දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙනවා තවත් අවුරුදු 30 ක් ඒ සටන් පාඨ වවාගෙන කන්න. මේ රටේ වංචාව සහ දූෂණය අවම කරන්න අවශ්‍ය නීති පද්ධතිය සකස් කරනවා වගේම තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා” යි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියනවා.

Previous articleබ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක්?
Next articleමම සූදානම් – පොහොට්ටුව තීරණයක් ගත යුතුයි – ධම්මික පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here