Home අද මෝදි තෙවනවරටත් අගමැති ලෙස දිවුරුම් දෙයි – උත්සවය ට ගිය ජනපති...

මෝදි තෙවනවරටත් අගමැති ලෙස දිවුරුම් දෙයි – උත්සවය ට ගිය ජනපති රනිල් ට විශේෂ පිළිගැනීමක්

815
0

තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාෂ්ට්‍රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රාජ්‍ය නායකයෝ ඔහුට  උණුසුම් සුබපැතුම් එක් කළහ.

දෙරට අතර බැඳීම් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට නායක දෙපළ මෙහිදී එකඟතාවය පළකළහ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවය නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හිදී ඊයේ(09දා) පස්වරුවේ ආරම්භ වූ අතර  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අසල්වැසි රාජ්‍ය නායකයෝද  විශේෂ ආරාධිතයෝ ද ඊට සහභාගී වූහ.

ආරාධිත අමුත්තන් 9000කට ආසන්න පිරිසක් වෙනුවෙන් රාෂ්ට්‍රපති භවන් ඉදි‍රිපස භූමියේ අසුන් පනවා තිබුණි.

ආගමික නායකයන් නළු නිළියන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දියාවට පැමිණ සිටින රාජ්‍ය නායකයන් නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීමෙන් පසු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  සම්ප්‍රාප්තියට  ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වටරවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ කලාපයේ සෙසු නායකයන්ගේ  ද මෝදි අගමැතිවරයාගේ ද  රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව විශේෂ පීඨිකාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා සමග රාජ්‍ය නායකයන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අසලම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ස්ථානය වෙන්කර තිබීම විශේෂත්වයක් විය.

එමෙන්ම කලාපයේ රාජ්‍ය නායකයන් විශේෂ පීඨිකාවට පැමිණෙන විට ඔවුන් නියෝජනය කරන රට සහ රාජ්‍ය නායකයාගේ නම පමණක් නිවේදනය කෙරුණු අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා  පිළිබඳව සුවිශේෂී හැඳින්වීමක් කරනු ලැබීය.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද , සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයෝ  එක්ව සිටියහ.

මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්‍ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

May be an image of 8 people, wedding and dais

May be an image of 3 people and dais

May be an image of 8 people, dais and wedding

 

Previous articleශ්‍රී ලංකාවේ දේශසීමාව විශාල කරගැනීමට විශේෂ මෙහෙයුමක්.!
Next articleමම 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරනවා – සජිත් ප්‍රේමදාස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here