Home අද “උරුමය” කියන්නේ ලංකාවේ දීර්ඝ කාලයකට පසුව සිදුවන විප්ලවීය වෙනසක් –...

“උරුමය” කියන්නේ ලංකාවේ දීර්ඝ කාලයකට පසුව සිදුවන විප්ලවීය වෙනසක් – ඉඩම් කොමසාරිස් ජනරාල්

2462
0
රජයෙන් ලබාදුන් ඉඩම්වල ජීවන්වන ජනතාවට ඉඩම් අයිතිය ජනතාවට ලබාදීම සදහා මෙවර අයවැය යෝජනාවක් ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩම් කොමාරිස් දෙපාර්තමේන්තුව සුදානම්වෙමින් පවතී. මෙම ඉඩම් ලබාදීමෙන් පසුව ඒසඳහා කුමක් සිදුවේවිද යන්න පිළිබඳ සමාජයේද දැඩි කතාබහක් පවතින නිසාවෙන් “උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහ මහතා සමඟ සාකච්ඡා කළෙමු.

 

ඔබදෙපාර්තමේන්තුව මගින් ක්‍රියාක්මක කිරීමට සැලසුම්කරන  “උරුමය” වැඩසටහනෙන් සිදුවන්නේ කුමක්ද?

 

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයකට පසුව සිදුවන විප්ලවීය වෙනසක් ලෙස “උරුමය” වැඩසටහන හදුන්වාදෙන්න පුළුවන්. බ්‍රිතාන්‍යයින් විසින් අපේ රට අත්පත්කරගන්නා අවස්ථාව වන විට අපේ රටේ  ඉඩම්වල අයිතිය සාමාන්‍ය ජනතාවට තිබුණා. නමුත් 1815 දී මේ අයිතිය සම්පුර්ණයෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ගත්තාට පසුව ඔවුන්ගේ හිතවතුන්ට ව්‍යාපාරිකයින්ට මේ ඉඩම් ලබාදෙන්න ජනතාවගෙන් ලබාගන්නේ කොහොමද කියලා කල්පනා කලා. ඒවෙනුවෙන් සිදුකළ උපාය මාර්ගයක් ලෙස 1897‍ දී ඔවුන් මුඩුබිම් ආඥාපනත ගෙන ආවා. ඒ අනුව ලේඛණයකින් හෝ සන්නසකින් අයිතිය ඔප්පු කිරීමට නොහැකි සියලු ඉඩම් රජය සතු වෙනවා කියලා ඔවුන් මුඩුබිම් ආඥාපනතෙන් දැනුම්දුන්නා. ඒවෙද්දි ඔප්පු සන්නස් තිබුණු පුද්ගලයින්ට සහ විහාරදේවාලගම් නීතිය යටතේ යම් ඉඩම් කොටසක් ඉතිරිකරගන්න පුළුවන්නම ලැබුණා. අනිත් ඉඩම් සියල්ලම රජයේ ඉඩම්බවට පත්වුනා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු භුමි ප්‍රමාණයෙන් 82% ක් රජයේ ඉඩම් බවට පත්වුනා. ඇත්තටම රජයේ ඉඩම් කියලා කියන්නේ පෞද්ගලිකව මිනිස්සු පරිහරණය කරපු ගොවිතැන්කරපු පදිංචිවෙලා හිටපු ඉඩම් ටික. රජයේ ඉඩම් බවට පත්වුනාට පසුව මේ ඉඩම් ටික කෝපි වගාවට තේ වගාවට දීලා මහා පරිමාණයෙන් මේ රටේ සම්පත් පිටරටවලට අරගෙන ගියා. අපේ ගම්බිම්වල ගොවිතැන් කරගෙන ස්වයංපෝෂිත රටාවකට හිටපු අය මේ නිසා බිදවැටුනා. ජනතාවගේ ගොවිබිම් අහිමිවීම නිසා 1920 පමණ පහුවන විට විශාල ආහාර අහේනියක් රටතුළ ඇතිවුනා. මේගැන අවධානය යොමුකරලා එයට විසදුමක් යෙදීමක් ලෙස1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත හදුන්වාදෙනවා.ඒ අනුව පදිංචිය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා මහජනතාවට ඉඩම් බෙදාදෙන්න පටන්ගත්තා. එලෙස ලබාදුන්න ඉඩම් නැවත ජනතාවට ලබාදීම උරුමය වැඩසටහන මගින් සිදුකරනවා.

 

මෙලෙස ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණකද?

 

මුල්ම කාලගේ ගොඩ ඉඩම් අක්කර 03 ක් සහ මඩ ඉඩම් අක්කර 05 ක් ලෙස අක්කර 08 බැගින් බෙදාදීලා තිබෙනවා.  ඒ ඉඩම් ගත්තු මිනිස්සු ගොවිජනපද හදාගෙන කෘෂිකාර්මාන්තයේ නිරත වුනා. මින්නේරිය, පදවිය , රාජාංගනය , ගල්ඔය වැනි ගොවිජනපද ඇතිවුනේ ඒ විදිහට ඉඩම් බෙදාදීම තුළින්. ඩී එස් සේනානායක මහත්මයාගේ කාලේ ඉදන් අද වෙනකම් පවතින හැම රජයක්ම මේ ඉඩම් ලබාදී තිබෙනවා. නමුත් සවර්ණ භුමි , ජයභුමි, ඉසුරු භුමි ලෙස විවිධාකාරයෙන් මෙම ලබාදෙන ඔනෑම ඉඩමක බලපත්‍රයක් ලබාදුන්නත් ඔප්පුවක් ලබාදුන්නත් එය රජය සතු ඉඩමක් බවට එයට කොන්දේසි දාලා තියෙනවා. මේ නිසා ඉඩම හිමි පුද්ගලයාට කැමති පරිදි කටයුතු කරන්න බැහැ. බැංකුවට ණයක් ගන්න ගියත් , ඉඩම බෙදීමට අවශ්‍ය උනත් කරගන්න අපහසුතක්වය් තිබෙන්නේ. මේ ආකාරයේ නොයෙක් තාඩනපීඩනවලට ගොවිජනතාව ලක්වුනා. මේ නිසාම මේ ජනතාවට තමන්ගේ ඉඩමේ ගැටලු විසඳා ගැනීමට නිරන්තරයෙන් කාර්යාලවල රස්තියාදුවෙන්න සිදුවෙලා තිබෙනවා. ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ඉඩම් කාර්යාලය , ජනාධිපති කාර්යාලය මේ කොතැනට ආවත් එකවර ඉඩම් ප්‍රශ්නය විසදගන්න අපහසුයි. ඒවගේම ඉඩම් නිසිලෙස ජනතාවට ලබාදීලා නැති නිසා රජය වාර්ෂිකව විශාල වියදමක් දරනවා‌ මේවා පවත්වාගෙන යන්න. ඉඩම් නිලධාරීවරු ග්‍රාමනිලධාරීවරුන ප්‍රාදේශීය ලේකම්වරු ඉඩම් කොමසාරිස්වරු  මේ සියලු ආයතනවල විශාල පිරිසක් මේ ඉඩම් නඩත්තු කිරීමට යොමුවෙලා ඉන්නවා. රජය විශාල වියදමක් දරන්න වෙනවා නමුත් මහජනතාවගේ ප්‍රශ්නය විසදෙන්නෙත් නැහැ. ඒ නිසා මේ සියලුම කාරණාවලට විසදුමක් විදිහට තමයි මේ ඉඩම්වල සින්නක්කර අයිතය ජනතාවට ලබාදීම. බ්‍රිතාන්‍ය යුගයේ නැතිවෙලා ගිය උරුමය නැවත මිනිස්සුන්ට ලබාදීම තමයි මේ උරුමය කියන වැඩ සටහනේ පරමාර්තය වෙලා තිබෙන්නේ. වර්තමාන ජනාධිපතිතුමා 2024 අයවැය යෝජනාවේ අටවැනි යෝජනාව විදිහට මේ වැඩපිළිවෙල ඉදිරිපත් කළා. මේ කටයුතු ආරම්භකරලා පවත්වාගෙන යාම සඳහා බිලියන දෙකක මුදලක් ඒ සඳහා වෙන්කර තිබෙනවා.

 

මෙම වැඩසටමන ක්‍රියාත්මක වන්නේ කෙසේද? මේවසර තුළ සියලු කටයුතු අවසන් කරනවාද?

 

මේ පිළිබඳ සැලසුම් සකස්කරලා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විදිහට අපි මේ වැඩසටහන අදියර තුනකින් කරගෙන යන්න සැලසුම්කරලා තිබෙනවා. සියලු ප්‍රාදේශිය ලේකම්වරු , ඉඩම් නිලධාරීන් , ග්‍රාම නිලධාරීන් සියලුදෙනා එකතුවෙලා මේ වැඩසටහන ක්‍රියාක්මක කරනවා. එහි පළමුවෙනි අධියර ලෙස ඉඩම් අවසරපත්‍ර ඉල්ලලා තිබුණු 10 000 දෙනා තෝරාගෙන ඒ පුද්ගලයින්ට අලුතෙන්ම ඔප්පු ලබාදීම පෙබරවාරි 05 දා දඹුල්ලේදී ලබාදීමට කටයුතු සුදානම්කරමින් පවතිනවා. සින්නකර ඉඩම් ඔප්පු ඉල්ලු වැඩිම පිරිස දැනට සිටින්නේ අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. එම පිරිස පන්දාහකට වැඩියි.

පළමුවැනි අධියර එලෙස ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට මහජනතාවට රජයෙන් ලබාදුන් දීමනාපත්‍ර අවසරපත්‍ර ලක්ෂ 20 ට වැඩි ප්‍රමාණයක් තිබෙනවා.  ඒ සියලුදෙනාට උරුමය ඔප්පු ලබාදීමට රජය කටයුතු කරනවා. සියලුදෙනාට එය ලබාදීමට වසර තුන හතරක් ගතවේවි. එකවරම සියලුදෙනාට ලබාදීමට හැකියාවක් නැහැ.

 

සින්නක්කර ඔප්පු ලබාගැනීමට අවශ්‍යනම් ජනතාව කුමක් කළ යුතුයිද?

 

යම් අයෙකුට උරුමය ඔප්පු ලබාගැනීමට අවශ්‍යනම් රජයෙන් ලබාදී ඇති මෙම අවසරපත්‍රය හෝ ඔප්පුව ස්වකැමැත්තෙන් රජයට භාරදි සින්නක්කර ඔප්පුවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ යුතුයි. අපිට බලහත්කාරයෙන් ඔප්පු දෙන්න බැහැ. ඒ විදිහට ඉල්ලීම් කළොත් ඔවුන්ට සින්නක්කර ඔප්පු ලබාදීම සිදුකරනවා.   අදාළ ජනතාවට ප්‍රාදේශිය ලේකම්කාර්යාල හරහා මේ ඉල්ලීම සිදුකරන්නට පුළුවන්.

මේවනවිට දහ දාහකට වැඩි පිරිසක් එලෙස ඔප්පු ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබෙනවා.

ඒවගේම රජයෙන් අවසර පත්‍ර හෝ ඔප්පු ලබාදී තිබෙන ඉඩම්වල කිසිම ගැටලුවකින් තොරව ඉඩම් භුක්තිවිදින අයට පුළුවන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා සින්නක්කර ඔප්පු බවට පරිවර්තනය කරගන්න. දෙවැනි අධියර ලෙස එය ක්‍රියාත්මක කරනවා.

ඉඩම පැවරීමකින් තොරව හිමිකරු මියගොස් ඇති අය, බැංකුවට උකස්වී තිබෙන , මායිම් ආරවුල් තිබෙන මෙවැනි ඉඩම් තිබෙනවා. ඒවාට ගම් මට්ටමින් විශේෂ කමිටු පිහිටුවලා ඒගැටලු නිරවුල් කරලා අයිතිය තහවුරුකරගැනීමෙන් පසුව මේ අය දෙවැනි කාණ්ඩයට ඇතුළත් කරලා ඔප්පු ලබාදීම සිදුකරනවා.

 

මහවැලි ඉඩම් සඳහාත් මෙය අදාළයිද?

 

මහවැලි අධිකාරිය තුළ තිබෙන ඉඩම් සියල්ලම රජයේ ඉඩම්. අපි මේ ඉඩම් ලබාදීලා අවසන් වෙද්දි මහවැලියත් හය දාහක් ඔප්පු ජනතාවට ලබාදෙන්න අවශ්‍ය කටයුතු සිදුකරමින් යනවා. අපි සියලුදෙනා ඒකාබද්ධව මේ කටයුතු කරගෙන යනවා.

 

මෙම ක්‍රියාවලිය තුළින් ආර්ථිකයට බලපෑමක් ඇතිවේවි යැයි ඔබ විශ්වාස කරනවාද?

 

මේ ඉඩම් බැංකුවට ලබාදී මුදල් ගැනීමට අවශ්‍ය උනත් වර්තමානයේ මේ ඉඩම්වල තක්සේරුව අඩු මට්ටමක තිබෙන්නේ. දුෂ්කරතාවය සහ රජයේ ඉඩමක් කියන සංකල්පය නිසා තක්සේරුව අඩුවෙනවා. නමුත් මෙය සින්නක්කර ඉඩම් ලෙස ලබාදීමේදී කිසිම අඩුවක් සිදුවෙන්නේ නැහැ. ඒවගේම මහජනතාවට ඉඩමක් තිබෙනවා කියන හිමිකම ලැබීම ලොකුම වාසියක් විදිහට පෙන්වාදේන්න පුළුවන්.

සමහර අය තර්කකරනවා මේ ඉඩම් ලබාදුන්නාම ඔවුන් ඉඩම් විකුණලා යාවි කියලා. එහෙමනම් සින්නක්කර ඔප්පු තියෙන අයත් ඉඩම් විකුණවනේ. තමන්ට අවශ්‍ය නැතිනම් විකුණනවා. මම හිතන විදිහට ලංකාවේ සංස්කෘතිය අනුව අම්මා තාත්තා දරුවො අනාත වෙන විදිහට ඉඩම් විකුණන්නේ නැහැ. නමුත් සමෘද්දි මුද්දරය පවා විකුණන යම් පිරිසක් ඉන්නවා . එය අපිට වළක්වන්න බැහැ. නමුත් අපි හිතනවා මේ ලබාදෙන ඉඩම් රැකගෙන ඔවුන් සාර්ථක වෙන්න කටයුතු කරාවි කියලා.

ඒවගේම මේ නිසා ආර්ථිකයට විශාල වාසියක් වෙනවා. උදාහරණයක් විදිහට ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ස්වර්ණභුමි ඔප්පුවකින් නේවාසික කටයුතු සඳහා අක්කර තුනක් ලබාදී තිබෙනවා. කෘෂිකාර්මික කටයුතු සඳහා තව අක්කර පහක් ලබාදී තිබෙනවා. වර්තමානයේ කෘෂිකාර්මික සදහා අක්කරයක් පදිංචිය සඳහා පර්චස් විස්සක් ලෙස ලබාදෙනවා.  මේ අරමුණු දෙකෙන් බැහැරව කිසිදු‌දෙයක් මේ ඉඩම්වල කරන්න බැහැ. මේ ඉඩම්වල හිමිකරුවන් වෛද්‍යවරුන් උවත් ඔවුන්ට ඉඩමේ බෙහෙත් ශාලාවක් පත්වාගෙන යන්නවත් ඉඩක් නැහැ. ප්‍රධාන පාර අයිනේ ඉඩම් ලැබුණු අය ඉන්නවා. ඔවුන්ට ව්‍යාපාර කටයුතු කරන්න හැකියාව තිබෙනවා නමුත් මේ අවසරය නැති නිසා කරන්න බැරිව ඉන්නවා. සින්නක්කර ඔප්පු ලබාදීමෙන් පසුව ඔවුන්ට එවැනි ආර්ථික කටයුතු වලට අවස්ථාව හිමිවෙනවා. මේ නිසා ආර්ථිකයේ විශාල ප්‍රසාරණයක් ඇතිවේවි කියා අපි විශ්වාස කරනවා.

 

මේ ක්‍රියාවලිය තුළ අලුත් ඉඩම් ලබාදීමක් හෝ වන්නාතර හෙළිපෙහෙලි කිරීමක් සිදුවෙනවාද?

 

මේ ක්‍රියාවලිය තුළ වාන්නතර හෙළිපෙහෙළිකර ඉඩම් ලබාදීමක් සිදුකරන්නේ නැහැ. දැනටත් මහජනතාවගේ පරිහරණය සඳහා ලබාදී තිබෙන ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(02) වගන්තිය සහ 19(04) යටතේ ලබාදී තිබෙන අවසරපත්‍ර සහ දීමනා පත්‍ර පමණයි මේ යටතේ සින්නක්කර ඔප්පු බවට පත්කරන්නේ. ඒ නිසා මේ ක්‍රියාවලිය නිසා පරිසර හානියක් සිදුවෙන්නේ නැහැ.

උරුමය වැඩසටහන   මහජනතාවගේ සුබසිද්ධිය සඳහා කරන කාරණයක්. මේ ලබාදෙන ඉඩම් විකුණාවි කියන සැකය තමයි බොහොදෙනෙක් මතුකරලා තිබුණේ. ඔනෑම අම්මෙක් තාත්තෙක්ම උත්සහකරන්නේ තමන්ගේ දරුවන්ට ඉඩමක් ආරක්ෂාකරලා දෙන්න. මේ නිසා ඉඩමේ අයිතිය සින්නක්කර ලැබුණු පසුව තමන්ට හිතුමතේ අයිතියක් ලැබුණා කියලා කටයුතු කරන්නේ නැතිව තමන්ගේ ඉඩම ආරක්ෂාකරගෙන සමාජයේ සංවර්ධිත පිරිසක් බවට පත්වෙන්න ආර්ථිකයට දායක වෙන්න උත්සහකරන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

No description available.

 

  • ඉරිදා ලංකාදීප පුවත්පතින් —
Previous articleලංකාවේ ක්‍රිකට් තහනම ඉවතට
Next articleඑක්සත් රාජධානියේ NHS හා Care England UK සමඟ IIHS ගිවිසුම් ගත වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here