Home අද බාල බෙහෙත් ගනුදෙනු කර ඇත්තේ ජනපති නිර්දේශ වලට පිටින්

බාල බෙහෙත් ගනුදෙනු කර ඇත්තේ ජනපති නිර්දේශ වලට පිටින්

1088
0

ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ ගනුදෙනුව සිදුව ඇත්තේ මුදල් ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට පටහැනිව බව අනාවරණය වී තිබෙනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඔුක්වැල්ල මහතා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කළ විට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය දී ඇත්තේ ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ගත් ඖෂධ වලට ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වලින් මුදල් ගෙවීමට බව පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කියා සිටියා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමෙන් රුපියල් කෝටි ගණනක් වංචා කර රෝගී ජීවිත අනාරක්ෂිත කළැයි කියන සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (10) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධියට අදාළව පළමු සැකකාර සැපයුම්කරු විසින් හිස් එන්නත් කුප්පි, වතුර පිරිසිදුකාරක සහ වතුර පිරිසිදුකාරක උපකරණ මෙරටට ගෙන්වනු ලැබීම පිළිබඳව වන රේගු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදීම සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටින ලෙස ඊයේ (10) නියෝග කළාය.

මෙම රේගු වාර්තා රහස් පොලිසියට ලබා දෙන ලෙසට ඉකුත් දෙසැම්බර් මස 28 වැනිදා අධිකරණයෙන් රේගුවට නියෝග කළ ද මෙතෙක් එම වාර්තා ලබා දී නැති බවත්, එහෙයින් අධිකරණ නියෝගය ඉටු නොකිරීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට නියෝග කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙණෙවිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය නිකුත් කළාය. ‍

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිෂ්පාදනය කළැයි කියන සීදූව රද්දොළුගම පිහිටි ‘අයුසුලේට් බයොටෙක් ෆාර්මා’ නමැති පරීක්ෂණාගාරය අද (11) සිට ලබන 24 වැනිදා දක්වා අතර කාලයේදී එහි හිමිකරු වන පළමු සැකකාර සුගත් ජානක ප්‍රනාන්දු නමැත්තා සහ සීදුව විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා ද සමඟ ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන ලෙසට ද මෙහිදී අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගය කළේය.

මෙම බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් වන 2023 නොවැම්බර් මස 24 වැනිදාට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඇතුළු ඊට අදාළ ඇමුණුම් සහ සංදේශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය කැබිනට් මණ්ඩලයේ ලේකම්වරියට නියෝගයක් නිකුත් කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවට අදාළ ගොනු ලබන 19 වැනිදාට පෙර අධිකරණයට ලබා දෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට අධිකරණයෙන් නියෝගයක් නිකුත් වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වන වගන්තිය ප්‍රකාරවය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙණෙවිය, රජයේ නීතිඥ අසේල විජේසිංහ මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් යන සැකකරුවන් බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන මස 17 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළා.

Previous articleඑක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය ජනපති හමු වෙයි
Next articleරෝහල්වල දෛනික කටයුතු පවත්වාගෙන යාමට යුද්ධ හමුදා භටපිරිස් යෙදවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here