Home අද ඉඩම් හිමිකම සින්නක්කරව ජනතාවට ලබාදීම අනාගත ආර්ථිකය වෙනුවෙන් සිදුකළ ආයෝජනයක්

ඉඩම් හිමිකම සින්නක්කරව ජනතාවට ලබාදීම අනාගත ආර්ථිකය වෙනුවෙන් සිදුකළ ආයෝජනයක්

2208
0

ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ක්‍රියාවක් බවත්, 2024 අයවැය යෝජනා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වරද නිවැරදි කර තිබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ඉඩම් හිමිකම සින්නක්කර ලෙස ජනතාවට ලබාදීම මඟින් ඔවුනට ස්වාධීන ආර්ථික ක්‍රියාවලියක නියැලීම සඳහා අවස්ථාව හිමිවෙන බවත් එබැවින් එය ආනාගත ආර්ථිකය වෙනුවෙන් කළ ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ‍මෙසේද පැවසීය,

2019 නොවැම්බර් බදු සංශෝධනයේ ප්‍රතිඵලයක් විදියට අති විශාල මුදලක් රාජ්‍ය ආදායමට අහිමි වුණා. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 8.5 %ක් දක්වා අඩු වුණා. එය රුපියල් බිලියන 600-700 ත් අතර ප්‍රමාණයක්. කොවිඩ් වසංගතය සමඟ 2021 අවසන් කාර්තුවේ සිට උද්ධමනය ඉහළ යාම ආරම්භ වුණා. එය 2022 වසර අවසානය වන විට 73.70 %ක් දක්වා ඉහළ ගියා. ලෝකයේ ඉහලම උද්ධමනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත්වුණා.

ඉන් පසු පැවති ආණ්ඩුව මේ රට භාර ගන්නැයි විරුද්ධ පක්ෂව වෙත ආරාධනා කළත් අද අපව විවේචනය කරන කිසිවකු රට භාරගැනීමට ඉදිරිපත් වූයේ නැහැ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දැවැන්ත අභියෝගය භාරගෙන ඉතා කල්පනාකාරීව තීන්දු තීරණ ගෙන රට යම්තාක් දුරට ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් තිබෙනවා.

ආණ්ඩුවක් හැටියට අප 2023 අය වැය ඉදිරිපත් කළේ අධි උද්ධමන තත්වයකට රට පත්වීම වැලැක්වීම සඳහායි. ඒ සඳහා දැඩි මූල්‍ය පාලනයක් සිදු කරන්න අවශ්‍ය වුණා. 2023 සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය 0. 80 % දක්වා පහළ ගෙන ඒමට අප සමත් වී තිබෙනවා.

සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සහිතව අපි ඉදිරියට යන්නේ සමාජ වෙළදපොල ආර්ථිකයක් ලෙසයි. ඒ අනුව මෙවර අය වැය මඟින් සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 183ක් වෙන් කර තිබෙනවා. එය වෙනත් වසරවල දී වෙන් කළ මුදලට සාපේක්ෂව තුන් ගුණයක වැඩිවීමක්. මෙමඟින් පවුල් ලක්ෂ විස්සකට ප්‍රතිලාභ හිමිවනවා.

සෑම මාසයකම රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 93ක් වැය වනවා. අස්වැසුම, විශ්‍රාම වැටුප් සඳහා මසකට බිලියන 30ක් වැය වනවා. ණය පොලී වෙනුවෙන් බිලියන 220ක් වැය වනවා. මේ ඇතුළු ප්‍රධාන වියදම් කිහිපයකට පමණක් මාසයකට බිලියන 383ක් වැය කිරීමට සිදුව තිබෙනවා. නමුත් මාසික බදු ආදායම රුපියල් බිලියන 215යි. එය බිලියන 168ක හිගයක්. මේ වගේ තත්ත්වයක් යටතේ ආර්ථිකය කළමනාකරණය කිරීම සැබැවින්ම අභියෝගාත්මකයි.. එවැනි පසුබිමක් යටතේ රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදීමට ද අප කටයුතු කළා.

ඊට අමතරව ආර්ථික අතින් ශක්තිමත් අනාගතයක් සඳහා අප බොහෝ දේ සිදු කර තිබෙනවා. ගරු-සරු ශ්‍රමයට අභිමානයක් වැඩසටහන, නව රැකි රක්ෂා පනත ඇතුළුව විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ද බොහෝ කටයුතු කර තිබෙනවා.

ඒ වගේම ඉඩම් අයිතිය සින්නක්කරවම ලබාදීම මෙවර අය වැයේ තිබෙන විශේෂිත ලක්ෂණයක්. ඉඩම් කියන්නේ නිෂ්පාදනයේ ප්‍රධානම සාධකය. ජනතාවට ස්වාධීනව ආර්ථික ක්‍රියාවලියක නියැලීමට හැකියාව ලැබෙනවා. ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනියි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ 2024 අය වැය හරහා එම වරද නිවැරදි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙය අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක්.

 

Previous articleI AM SORRY – සනත් නිශාන්තගෙන් කථානායකට ලිපියක්
Next articleජාතියට ලොකු සේවයක් කිරීමට සැරසුනු පුද්ගලයෙක් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here