Home අද 2024 අයවැය සාරාංශය

2024 අයවැය සාරාංශය

1296
0

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “සවිමත් අනාගතයකට පෙරවදනක්” යන තේමාව යටතේ 2024 අය වැය කතාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැස කතාවේ සාරාංශය මේසේය

1. පීලි පැන ඇඳ වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

2. සුරංගනා කතා කියා රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු වල අවසන් ප්‍රතිඵලය රට බංකොළොත් වීම බව පෙන්වාදුන් ජනාධිපතිවරයා අවාසනාවකට රටේ ඇතැම් කණ්ඩායම් තවමත් මෙම තත්ත්වය අවබෝධකරගෙන නොමැති බවත් පැවසීය.

3. දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරීම නවත්වන ලෙස 2024 අය වැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළ අතර, දේශපාලනයට වඩා රට ගැන සිතා රට ඉහළටම ඔසවා තබන්නට සියලු දෙනා අවංකව කැපවන ලෙසද ඉල්ලා සිටියේය.

4. මෙම දුෂ්කර මාවතේ ඉදිරියට ගියහොත් නොබෝ කලකින් මීට වඩා යහපත් ආර්ථික පරිසරයක් නිර්මාණය කර ගත හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය වසර දෙස හැරී බලන විට රට යන මාවත නිවැරදි බව 100%ක්ම සනාථ වන බවද සඳහන් කළේය.

5. මෙතෙක් පැමිණි ගමන් මගෙහි සිදුවූ අඩු පාඩු හඳුනා ගනිමින් ඒවා නිවැරදි කර ගැනීමට නිහතමානීව කටයුතු කරන බව 2024 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

6. උද්ධමන වේගය තනි ඉලක්කමක් දක්වා අඩුකර ගැනීමට හැකි වු නිසා අධි උද්ධමනකාරී විනාශයෙන් රට ගලවා ගැනීමට හැකි වූ බව 2024 අය වැය කතාව සිදු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

7. බංකොළොත් රටක් යළි ප්‍රකෘතියට පත් කිරීම අතිදුෂ්කර ව්‍යායාමයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා බලය ගැනීමේ දේශපාලන අරමුණු මතින් ජනතාවට සහන ලබාදීමේ සිහින මාළිගා ඉදිකිරීමට ගියහොත් අවසානයේ රට යළිත් බංකොළොත් විය හැකි බවද පෙන්වා දුන්නේය.

8. මෙතෙක් පැමිණි ගමන් මඟේ සාර්ථකත්වයට හේතුව රජය ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හරහා 2022 දී මෙන් ආර්ථික අපායකට ඇද නොවැටි ඉදිරියට යාමේ පදනම සකසා ඇති බව ද සඳහන් කළේය.

9. විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩුව පියවීමට රාජ්‍ය බැංකු වලින් දිගින් දිගටම ණය ලබාගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ තත්ත්වය හමුවේ එම බැංකු දුර්වල වී කඩාවැටීම වළක්වා ගැනීමට රජය විසින් ජනතා බදු යෙදවීමට සිදුව ඇති බවද පෙන්වා දුන්නේය.

10. මහා පරිමාණ අඩු වියදම් පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන විදුලි ජාලයට එක් කිරීමට අවශ්‍ය සියලුම නීතිමය බාධක ඉවත් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා අකාර්යක්ෂම විදුලිබල මණ්ඩලය කාර්යක්ෂම ආයතනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ නීති රීතිද මේ වන විට සම්පාදනය කෙරෙමින් ඇති බවද සඳහන් කළේය.

11. සෑම මසකම රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93ක්, අස්වැසුම, ඖෂධ, විශ්‍රාම වැටුප් ඇතුළු මහජන සුබසාධනයට රුපියල් බිලියන 30ක්, ණය පොළී ගෙවීමට රුපියල් බිලියන 220ක් වශයෙන් ප්‍රධාන වියදම් 03ක් සඳහා පමණක් මාසිකව රුපියල් බිලියන 383ක් රජය වැය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

12. 2021 වසර වන විට රුපියල් බිලියන 900ක් ලෙස තිබූ බැංකු අයිරා ලබාගැනීම මේ වන විට රුපියල් බිලියන 70ක් දක්වා පහතට ගෙනවිත් තිබෙන බව 2024 අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

13. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% සිට 15% දක්වා ඉහළ නංවා නොගතහොත් රට යළිත් ආර්ථික අපායකට ඇද වැටෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඇතැම් කණ්ඩායම් සිදුකරන සරල සුන්දර පොරොන්දුවලින් ප්‍රශ්නය විසඳිය නොහැකි බවද පැවසීය.

14. කාලයක් තිස්සේ සිදුවන බදු පැහැර හැරීම් ඇතුලු අඩු පාඩු සකස් කර ගැනීමේ යෝජනා ගණනාවක් මෙවර අයවැයට ඇතුළත් කර තිබෙන බවත් ඒ ඔස්සේ රාජ්‍ය ආදායම් වැඩිකරගත් විට අදට වඩා බදු සහන ලබාදීමට හැකිවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

15. රාජ්‍ය වියදම්වලින් 35%ක් වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට බව 2024 අය වැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

16. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්ගේ බර මුළුමනින්ම මහජනතාව මත පැටවී ඇති බවත්, ජාතික සම්පත් කියමින් තවදුරටත් ඒවායේ බර ජනතාව පිට පටවන දේශපාලන කණ්ඩායම් සිදු කරන්නේ රට ආපස්සට ඇද දැමීමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

17. නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තය සඳහා වෙන් කිරීම හුදෙකලා සිදුවීමක් නොව, නුවරඑළිය සංවර්ධන සැලැස්මේ කොටසක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ඓතිහාසික ගොඩනැගිලි නිසි අවස්ථාවේ සංචාරක කර්මාන්තය වැනි විදේශ විනිමය උපයන කටයුත්තකට යොදා නොගතහොත් ගාලු තැපැල් කාර්යාලයට අත් වූ ඉරණම අත්විය හැකි බවද සඳහන් කළේය.

18. මෙතෙක් මෙරට ක්‍රියාත්මක වූ දේශපාලන සහ ආර්ථික සංකල්ප අසාර්ථක බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලන ක්‍රමයත්, ආර්ථික ක්‍රමයත් මුළුමනින්ම කණපිට හරවා අලුත් ඇසකින් බැලිය යුතු බව පැවසීය.

19. අතීත අත්දැකීම්, ගෝලීය ප්‍රවණතා, අනාගත අභියෝග යන සියල්ල සලකා බලා අපටම අනන්‍ය ආර්ථික හා දේශපාලන ක්‍රමයක් අප නිර්මාණය කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.

20. 2021 වසරේ මෙරට ප්‍රාථමික අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.7%ක් වූවත් 2023 මුල් භාගයේ මෙරට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමට සමත් වූ බව 2024 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

21. 2022 සැප්තැම්බර් මාසයේ 70%ක් දක්වා ඉහළ නැංවී තිබූ උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසය වන විට 1.5%ක් දක්වා අඩු කිරීමට හැකි වූ බවත් එදා බින්දුවට වැටී තිබූ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් දක්වා ඉහළට ගෙන ඒමට හැකි වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

22. මෙවර අයවැය රටේ අනාගතය නිර්මාණය කරන, වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූල නව ආර්ථික පදනමක් දමන අයවැයක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මැතිවරණ ජයග්‍රහණයට වඩා තමන්ට වැදගත් වන්නේ රටේ ජයග්‍රහණය බව අවධාරණය කළේය.

23. රජයේ සේවකයන්ට දැනට හිමිවන රුපියල් 7800ක ජීවන වියදම් දිමනාව 2024 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් රුපියල් 10,000කින් වැඩි කෙරේ.

24. රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් වැඩි කරන අතර ඒ අනුව 2024දී රුපියල් බිලියන 386ක් විශ්‍රාම වැටුප් සඳහා වෙන් කෙරේ.

25. දුර බැහැර රාජකාරී සඳහා යන පොලිස් නිලධාරීන්ට සුදුසු ගැලපුම් සහිත ආහාර හා නවාතැන් දීමනාවක් ගෙවීම

26. පසුගිය සමයේ සීමා කිරීම්වලට යටත්ව තිබූ රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය පහසුකම 2024-01-01 සිට පෙර පරිදි ලබාදීමට කටයුතු කෙරේ.

27. සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා පෙර වසරවල වැය කළ මුදල රුපියල් බිලියන 60ක් වුවත් 2024 වෙනුවෙන් ඒ සඳහා රුපියල් බිලියන 183ක් දක්වා තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ.

28. අස්වැසුම ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි ගෙවීම් සිදු කිරීමට පියවර ගැනීම.

29. ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාව රුපියල් 2500කින් වැඩි කෙරේ.

30. වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් ලබාදෙන මාසික දීමනාව රුපියල් 3000ක් දක්වා වැඩි කෙරේ.

31. අලුත් පවුල් ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභී ලැයිස්තුවට එක් කර ගැනීම වෙනුවෙන් මාස 06කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සමාලෝචනයක් සිදු කෙරේ.

32. අස්වැසුම වැඩසටහන සහ ආබාධිත පුද්ගලයන්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වන දීමනා සඳහා 2024 දී වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 205ක් දක්වා වැඩි කෙරේ.

33. ගර්භනී මව්වරුන් වෙත ලබාදෙන රුපියල් 4500ක මාසික දීමනාව ක්‍රමවත්ව ඉදිරියට ගෙන යාමට රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

34. පසුගිය සමයේ අර්බුදයට මුහුණ දුන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමේ වැඩසටහන ශක්තිමත් කිරීමට රුපියල් බිලියන 30ක සහනදායී ණය පහසුකමක්.

35. පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට එම ගොවි බිම්වල පුර්ණ පුද්ගලික අයිතිය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

36. නාගරික අඩු ආදායම්ලාභී පවුල් වෙත පොලී පදනම මත ලබාදී ඇති නිවාස වලින් කුලී අය කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවන අතර ඔවුන්ට එම නිවාසවල අයිතිය ලබාදීමට පියවර ගැනේ.

37. වතුකරයේ ජිවත්වන ජනතාවට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමිකර දීමේ ආරම්භක පියවර වෙනුවෙන් රුපියල් 4ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

38. බිම් සවිය වැඩසටහන කඩිනමන් නිම කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීමට රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

39. විමධ්‍යගත අයවැය වැඩපිළිවෙළ යළිත් ආරම්භ කරමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත රුපියල් මිලයන 11,250ක ප්‍රතිපාදන වෙන් කෙරෙන අතර ජාතික ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ එය ක්‍රියාවට නැංවේ.

40. කඳුකර ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක් ඇතුළත් දස වසරක බහු කාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් 2024 දී ආරම්භ කෙරේ. ඒ සඳහා 2024ට රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කෙරේ

41. සංවර්ධන ව්‍යාපෘති අනුමත කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වාදීම සහ නව ව්‍යාපෘති සමාලෝචනය සඳහා රාජ්‍ය කමිටුවක් ස්ථාපනය කිරීම. එම ක්‍රමවේදයට බැහැර කිසිදු ව්‍යාපෘතියකට රාජ්‍ය මුදල් වෙන් නොකෙරේ.

42. 2024 අය වැය මගින් ප්‍රාග්ධන වියදම් සඳහා වන ප්‍රතිපාදන රුපියල් බිලියන 1260ක් දක්වා ඉහළ නැංවීම. මෙය දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%කි.

43. ආර්ථික අර්බුදය නිසා තාවකාලිකව නවතා දැමුණු ව්‍යාපෘති නිම කිරීම සඳහා රුපියල් බිලියන 55ක අතිරේක ප්‍රතිපාදන යෙදවේ.

44. සංවර්ධන ව්‍යාපෘතිවලින් අපේක්ෂිත අරමුණු නිසි කලට ඉටු කිරීම සඳහා 2024 සිට සෑම අමාත්‍යාංශයකම විශේෂ ඒකකයක් පිහිටුවීම.

45. අබලන් වූ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරන අතර ස්වභාවික විපත් හේතුවෙන් හානියට පත් මාර්ග හා පාලම් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 2000ක් වෙන් කෙරේ.

46. රටේ සෑම පළාතකම පානීය ජලය පිළිබඳ ගැටලු ඇති බැවින් විමධ්‍යගත අරමුදල් යෙදවීමේ දී සහ විදේශ ණය ආධාර ලබා ගැනීමේ දී ජල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීම.

47. පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කෙරෙන අතර එම ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපනය පිළිබඳ ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුණතා කොමිසම යන ආයතන පිහිටුවීමට නියමිතය.

48. උසස් පෙළ සමත් සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව උදාකර දීමට පියවර ගැනීම.

49. සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාල ආයතනය, කළමනාකරණ තාක්ෂණ විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය ලෙස නව විශ්වවිද්‍යාල 04ක් පිහිටුවීම.

50. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීම සඳහා වන නීති රිති සම්මත කෙරේ.

51. අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් ඒකාබද්ධ කර ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා 2024 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 01ක් වෙන් කෙරේ.

52. ඉන්දියාවේ චෙන්නෙයි පිහිටි IIT විශ්වවිද්‍යාලයේ මගපෙන්වීම යටතේ මහනුවර නගරයේ නව තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම.

53. රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැළපෙන පරිදි වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන අතර, එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරේ. ඒ සඳහා 2024 සඳහා රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

54. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාංශය ජාතික ආසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යායතනය ලෙස උසස් කෙරේ. ඒ සඳහා 2024ට රුපියල් මිලියන 40ක් වෙන් කෙරේ.

55. ලොව පිළිගත් ඕනෑම අධ්‍යාපන ආයතනයකට මෙරට විශ්වවිද්‍යාල පිහිටුවීමට අවසර ලබාදෙන අතර පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සඳහා ප්‍රබල නීති රීති මාලාවක් සම්මත කර ගැනීමට කටයුතු කිරීම.

56. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන්ට ලබාදෙන පොළී රහිත ණය පහසුකම අඛණ්ඩව ලබාදෙන අතර වාණිජ බැංකු හරහා ද සහනදායී ශිෂ්‍ය ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරේ.

57. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ඒකාබද්ධ කොට ජාතික උසස් අධ්‍යාපන කොමිෂම ස්ථාපිත කිරීම.

58. වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් ආදී ආයතන ඒකාබද්ධ කර ජාතික නිපුණතා කොමිෂම පිහිටුවීම.

59. මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මකවන වෘත්තීය අධ්‍යාපන ආයතන පළාත් සභා වෙත පැවරෙන අතර නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රය දියුණු කිරීම සහ නවීකරණය කිරීම සඳහා පළාත් අධ්‍යාපන මණ්ඩල පිහිටුවීම

60. තාක්ෂණික වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදන කරන අතර ඒ සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව 2024 සඳහා රුපියල් මිලියන 450ක් වෙන් කෙරේ.

61. තොරතුරු තාක්ෂණයට සම්බන්ධ පුද්ගලික ආයතන සමඟ එක් වී රැකියා අපේක්ෂිත උපාධිධාරින් හට පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 750ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

62. ඉදිකිරීම් සාත්තු සේවා, සංචාරක වැනි අනෙකුත් නිපුණතා හිඟයන් පවතින ක්ෂේත්‍ර සඳහා ද පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

63. රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ රැකියා කරන වැඩිහිටියන්ට නව දැනුම ලබා ගැනිම සඳහා පුහුණු පාඨමාලා සේවාවන් සැපයීමට අවශ්‍ය තාක්ෂණික හා භෞතික නවීකරණ කටයුතු උදෙසා ශ්‍රි ලංකා පදනමට රුපියල් මිලියන 150ක් වෙන් කෙරේ.

64. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව පුළුල් කිරී සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන අතර එම වැඩසටහන ඇරඹීමට රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.

65. සුරක්ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය යළිත් ක්‍රියාත්මක කිරීම.

66. ඖෂධ ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීම.

67. වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ සඳහා ආයෝජන වැඩි කිරීමට පියවර ගැනීම සහ රුපියල් මිලියන 75ක ප්‍රතිපාදන යොදවා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ යටිතල පහසුකම් රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමේ මුල් අදියර ඇරඹීම

68. ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණ රසායනාගාරයේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා 2024 වර්ෂයට අදාළව රුපියල් මිලියන 25ක් වෙන් කෙරේ.

69. බදුල්ල ශික්ෂණ රෝහලේ හෘද කැතීකරණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා සහ ඊට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

70. විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණිගත වෛද්‍යවරුන් යන දෙපාර්ශ්වයටම ගැළපෙන පරිදි උසස්වීම් ක්‍රමවේදයක් හඳුන්වාදීම.

71. වෛද්‍යවරුන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණුකරන පශ්චාත් උපාධි අවස්ථා පුළුල් කිරීම.

72. දේශීය වෛද්‍යවේදය ශක්තිමත් කිරීමට සහ ප්‍රචලිත කිරීමට ක්‍රියාමාර්ග ගැනීම.

73. ජාත්‍යන්තර ඉල්ලුමක් ඇති ඖෂධීය ශාඛ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය සහ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අධීක්ෂණය යටතේ ආයෝජකයන්ට පහසුකම් සැලසීම

74. ශ්‍රී ලාංකේය සුවතා සංකල්පය අනුව සංචාරක හෝටල්, නිවාඩු නිකේතන තුළ ආයුර්වේද සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.

75. කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘති, කුඩා වතු හිමි කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව මුලාරම්භයන් සහ බෝග විවිධාංගීකරණය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කෙරේ. එසේම ධීවර කර්මාන්තය පෝෂණය කිරීම සඳහා සහ නවීන තාක්ෂණික දැනුම ධීවර කර්මාන්තයට යොදා ගැනීමට විශේෂ සැලැස්මක් දියත් කෙරේ.

76. කෘෂි හා ධීවර අංශ දියුණු කිරීමට සහායවීම සඳහා පළාත් කෘෂි සහ ධීවර නවීකරණ මණ්ඩල පිහිටුවනු ලැබේ.

77. සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන ලෙස වැඩිදියුණු කෙරෙන අතර 2024 මහ කන්නයේ සිට රජය පෞද්ගලික අංශය, ගොවීන්, කෘෂි විද්‍යාඥයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

78. කිසිදු වගාවක් නොකර මුඩු බිම් ලෙස පවතින ඉඩම්වල වෙනත් වගාවන් සිදු කිරීම පිණිස පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීම.

79. මහා පරිමාණයේ කෘෂිකර්ම කටයුතු සඳහා රාජ්‍ය ව්‍යවසාය සහ මහවැලි “ඒ” සහ “බී” කලාප, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම්වලින් අක්කර ලක්ෂ 03ක් වෙන් කෙරේ.

80. රටේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් 35%ක් පමණ ලැබෙන උතුරු මුහුදේ ධීවර කටයුතු වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.

81. මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.

82. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම ඒ ඒ ප්‍රදේශවල ගොවි සංවිධාන වෙත පැවරීම.

83. කිරි නිෂ්පාදන අගය දාමයේ නිරතව සිටින්නන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.

84. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළ සියල්ලම ඵලදායී ලෙස යොදා ගනිමින් පෞද්ගලික අංශයේ දායකත්වය සහිතව කිරි නිෂ්පාදනය වසර 05ක් තුළ 53%කින් ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.

85. ඉදිකිරීම් ක්ෂේත්‍රය නැංවීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. එහි නියමු ව්‍යාපෘතිය ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම.

86. කොළඹ නගරයේ වතු ඉඩම්වල විශාල නිවාස හා වෙළෙඳ සංකිර්ණ ඉදිකිරීමේ වගකීම නව වැඩසටහනක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙත පැවරේ.

87. ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තයක් සහ ආකර්ශණීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස මෙරට තත්ත්වය යළි අත්පත් කර ගැනීමට ජාතික සන්නාමකරණ ප්‍රයත්නයන් ක්‍රියාත්මක කිරීම සඳහා මිලියන 100ක ප්‍රතිපාදන.

88. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම දැවැන්ත ආර්ථික වටිනාකමක් බවට පත්කර ගැනීම සඳහා සියලු පාර්ශ්ව එක්කරගත් ජාතික සැපයුම් ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

89. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මත පදනම්වූ අයවැයකරණය හඳුන්වාදීම හා ඒ සම්බන්ධව නීතිය සම්පාදනය කිරීම මෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන නීති හඳුන්වාදීම.

90. අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නිරත කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ විශේෂ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

91. උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිවාස නොමැති පවුල් නැවත පදිංචි කිරීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා මිලියන 2000ක් වෙන් කෙරේ. එසේම නිවාස වැඩසටහන කඩිනම් කිරීමටත් නිවාස නොමැතිව ඉතිරි වී ඇති පවුල් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 500ක අතිරේක ප්‍රතිපාදන වෙන් කෙරේ.

92. උතුරු නැගෙනහිර අභ්‍යන්තර ගැටුමෙන් අතුරුදන්වූවන් සහ විපතට පත්වූවන්ගේ වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා විසර්ජන පනතින් දැනටමත් වෙන් කර ඇති රුපියල් මිලියන 1500ට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.

93. යාපනය ප්‍රදේශයේ පානීය ගැටලුව විසඳීම සඳහා පාලිආරු ජළ ව්‍යාපෘතියේ මූලික කටයුතු 2024 මුල් භාගයේ දී ආරම්භ කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 250ක් ලබාදීම.

94. පුනරින් නගර සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

95. අතරමග නවතා දමා ඇති ගාලු දිස්ත්‍රික් ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා රාජ්‍ය දායකත්වය ලෙස රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.

96. බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට රාජ්‍ය දායකත්වය ලෙස රුපියල් මිලියන 250ක් වෙන් කෙරේ.

97. පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා දැනටමත් ලබාදී ඇති අයවැය ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 2500ක් වෙන් කෙරේ.

98. මහා විහාර විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීම සහ ඉදිකිරීම් වැඩසටහනේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 400ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

99. අනුරාධපුරයේ නවීන ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් පිහිටුවීමේ වැඩසටහනෙහි 2024 වසර සඳහා රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

100. ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ඨාචාරය කේන්ද්‍ර කර ගනිමින් පර්යේෂණ කටයුතු සඳහා මෙන්ම සංස්කෘතික ප්‍රවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා බෞද්ධ කෞතුකාගාරයක් මහනුවර ස්ථාපිත කෙරේ. එහි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් 2024 වසර සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

101. දිවයිනේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම, පළාත් මට්ටමින් ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කෙරෙන අතර මුදල් ප්‍රතිපාදන ලබාදීමේදී අඩු පහසුකම් ඇති පාසල් සහ පළාත්වලට ප්‍රමුඛත්වය ලබා දේ.

102. 2024 වර්ෂය තුළදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කෙරේ.

103. බස්නාහිර පළාත තුළ ගමනාගමන මණ්ඩලය සමග ඒකාබද්ධව විදුලි බස්රථ 200ක් ධාවනයට එක් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරිම.

104. මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය 2024 ජනවාරි මාසයේ ඇරඹෙන අතර එහි ප්‍රවේශ මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 1.5ක් වෙන් කෙරේ.

105. අනුරාධපුර සිට මිහින්තලය දක්වා වූ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම 2024 ජනවාරි අවසන් වන අතර මිහින්තලා දුම්රිය ස්ථාන පරිශ්‍රය පදනම් කරගත් ප්‍රවාහන ආර්ථික හා බහලුම් හා ගබඩා පහසුකම් සහිත ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කෙරේ. මේ සඳහා පෞද්ගලික අංශයද දායක කර ගැනේ.

106. පළාත් සභාවල එකතුවන ආදායම පළාතේ සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස භාවිතයට ගැනීමට යෝජනා කෙරේ.

107. පළාත් සභා මගින් අපනයන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට යෝජනා කෙරෙන අතර 1990 අංක 46 දරණ කාර්මික ප්‍රවර්ධන පනත යටතේ කර්මාන්ත සම්බන්ධයෙන් පළාත් සභා සතු බලතල සීමා කර තිබීම සංශෝධනය කෙරේ.

108. පළාත් පාලන ආයතනවල ස්වයං මූල්‍යකරණය දිරිමත් කෙරේ.

109. ජාතික ජන සභා ලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා රුපියල් මිලියන 700ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

110. හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමේ මූලික කටයුතු සඳහා 2024 වෙනුවෙන් රුපියල් බිලියන 02ක් වෙන් කෙරේ.

111. සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන විසින් පවත්වන තරුණයින්ගේ අභිවෘද්ධිය කේන්ද්‍රකරගත් වැඩසටහන් සම්බන්ධීකරණය කරමින් ඒකාබද්ධ තරුණ අභිවෘද්ධි වැඩසටහනක් ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියනයක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කෙරේ.

112. මැණික් කර්මාන්තය තවමත් පූර්ණ ධාරිතාව අත්පත් කර ගැනීමට සමත් වී නොමැති අතර ඒ සඳහා පොදු වැඩපිළිවෙළක් ඉදිරි මාස 03 තුළ සකස් කර ක්‍රියාත්මක කිරීම.

113. මහා පරිමාණ කෘෂි වැඩසටහන් හා වෙරළබඩ සංචාරක කලාප ඇතුළත් ත්‍රිකුණාමල නගරාශ්‍රිත සංවර්ධනය වෙනුවෙන් ඉන්දියානු ආයෝජකයන් සමග එක්ව කටයුතු කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීම.

114. ගාලු දිස්ත්‍රික්කයේ ගංවතුර වැළැක්වීම වෙනුවෙන් ගිංගග ජල කළමනාකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ මූලික වැඩකටයුතු සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කෙරේ.

115. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර පියවීම සඳහා රුපියල් බිලියන 3000ක් මෙවර අය වැය මගින් වෙන් කෙරේ.

116. බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට සහායවීම සඳහා රුපියල් බිලියන 450ක් වෙන් කෙරේ.

117. රාජ්‍ය බැංකුවල අනාගත මූල්‍ය තත්ත්වය පිරිහීම වැළැක්වීම සඳහා, ප්‍රධාන නිලධාරීන් සහ රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් දැඩි නීති රීති ගෙන ඒම

118. රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ නීතිය දෙසැම්බර් මාසයේ හෝ 2024 පළමු කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

119. ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම වෙනුවෙන් රජය විසින් නව ආයතනික වෙනස්කම් සමඟ නව ඉඩම් නීතියක් හඳුන්වාදෙනු ලැබේ.

120. රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීම

121. මෙරට නව වර්ධන ආකෘතිය ඵලදායීතාවයෙන් වැඩි සාධාරණ, හරිත වර්ධනයකින් හෙබි ඩිජිටල්කරණය වූ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් මත පදනම් වෙයි.

122. රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ද යොදා ගනිමින් ආදායම් පරිපාලන ඵලදායීතාවය ඉහළ නැංවීම ඇතුළු අභිලාෂ කිහිපයක් ඉටුකර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය ස්ථාපිත කිරීම.

123. අපනයන සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළ පුළුල් කර ගැනීම, තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කලාපීය ප්‍රධාන හවුල්කරුවන් සමඟ විස්තීරණ වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම.

124. ගෝලීය වෙළෙඳ පොළ සබඳතා වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස ආනයන සෙස් බදු, වරාය සහ ගුවන් තොටුපොළ බද්ද ඇතුළුව තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීම අවුරුදු 3-5 අතර කාලය තුළ ක්‍රමානුකූලව සිදු කිරීම.

125. භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙළෙඳ පහසුකරණ කමිටුව ප්‍රතිසංවිධානය කිරීම මෙන්ම රේගු නීති නවීකරණය කිරීම.

126. ජාතික තනි කවුළුව මගින් සියලුම දේශ සීමා කළමනාකරණ ආයතන තනි ඩිජිටල් වේදිකාවක් තුළට ගෙන ඒම සහ වෙළෙඳාම සම්බන්ධ නියාමන ලියකියවිලි බාධාවකින් තොරව සහ කාලෝචිත අයුරින් සිදු කිරීම වෙනුවෙන් වන කාර්යයන් සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කෙරේ.

127. ආයෝජකයන් සඳහා සේවා සපයනු ලබන රජයේ සියලුම ආයතනවල කාර්යයන් ස්වයංක්‍රීයකරණය කිරීම ඇතුළු ආයෝජකයන්ට වඩාත් පහසු වටපිටාවක් නිර්මාණය කිරීමේ කටයුතු සඳහා 2024 වසරට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.

128. ජාතික ඵලදායීතා කොමිෂන් සභාව පිහිටුවීම සහ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන වෙන් කිරීම.

129. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය දායකත්වය හා මඟපෙන්වීම වෙනුවෙන් පුර්ණ බලතල සහිත ඩිජිටල් අධිකාරියක් පිහිටුවීම. රාජ්‍ය අංශය විශේෂඥ ආයතන සහ සිවිල් සමාජය සම්බන්ධීකරණය තාක්ෂණික නවෝත්පාදන දිරි ගැන්වීම උදෙසා තාක්ෂණික නවෝත්පාදන සභාවක් පිහිටුවීම. කෘත්‍රීම බුද්ධිය පදනම් කර ආර්ථික හා සමාජයීය පරිවර්තනයක් සිදු කිරීම අරමුණු කර ගනිමින් කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම. මෙම ආයතන 03 සඳහා රුපියල් බිලියන 03ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

130. ශ්‍රී ලංකාවේ පර්යේෂණ සඳහා ජාතික පර්යේෂණ ප්‍රතිපත්තියක් සැකසීමේ වෙනුවෙන් රුපියල් බිලියන 8ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

131. නව සංචාරක සංස්කෘතියක් නිර්මාණය කිරීම සහ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සඳහා නව ස්වරූපයෙන් දිගු කාලීන වැඩසටහනක් ” විසිට් ශ්‍රී ලංකා ” යටතේ 2024 සිට ක්‍රියාත්මක කිරීම.

132. සංචාරක ක්ෂේත්‍රයේ මුලික අවශ්‍යතා සපිරීමේ වගකීම පළාත් සභා වෙත පවරමින් පළාත් සංචාරක මණ්ඩල ශක්තිමත් කෙරෙන අතර ඒ ආශ්‍රිත පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 750 ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

133. රජයේ නිවාඩු නිකේතන නවීකරණය කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා යොදාගනිමින් දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කිරීම.

134. පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝව සංවර්ධනය කිරීමේ තුන් අවුරුදු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 750ක් වෙන් කෙරේ.

135. ගිග් ආර්ථිකය සහ විද්‍යුත් වාණිජ ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සඳහා සරල ප්‍රතිපත්ති සහ නියාමන රාමුවක් හඳුන්වාදීම. එමඟින් ගෙවීම් ක්‍රමවේදය, රාජ්‍ය මුල්‍ය ආදායම, සේවක සුභසාධනය යන අංශ ආවරණය කෙරෙනු ඇත.

136. තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉදිරි දර්ශනය සඳහා පදනම් වන්නේ දේශගුණික සෞභාග්‍ය දැක්මයි.

137. දේශගුණික විපර්යාස කොමිසම පිහිටුවීම

138. අනාගත ආහාර සුරක්ෂිතභාවය සහ හිඟයකින් තොරව පාරිභෝගිකයන් හට අත්‍යවශ්‍ය ආහාර සැපයීම තහවුරු කිරීමට සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ සැකසුම්කරුවන්ට අවශ්‍ය තාක්ෂණික සහ පහසුකම් සැලසීමට සුදුසු වැඩසටහනක් වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් වෙන්කෙරේ.

Previous articleචීනයේ සහ ජපානයේ සහායෙන් මධ්‍යම අධිවේගයේ වැඩ නුදුරේදීම ඇරඹේ
Next articleපාසල් දරුවන්ට ජනපති අයවැයෙන් දුන් තෑග්ග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here