Home අද ජනපතිගේ සංචාරයෙන් පසුව චීනයෙන් කරුණු 19ක විශේෂ ප්‍රකාශයක්

ජනපතිගේ සංචාරයෙන් පසුව චීනයෙන් කරුණු 19ක විශේෂ ප්‍රකාශයක්

1776
0

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දුෂ්කරතා විසදාගනිම්න් ණය බර අවම කර  තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමේදී ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට චීන පාර්ශවය කැමැත්තෙන් සිටීන බව චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පසුගිය  මාර්තු මාසයේදී  චීනය කාලෝචිත ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලේඛනයක් සපයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්  ණය ලබා ගැනීමට උදව් කළ බවද   සැප්තැම්බර් මාසයේදී  නිල ණය හිමියා ලෙස චීනයේ අපනයන-ආනයන බැංකුව (the Export-Import Bank of China) සමග මූලික ගිවිසුමකට එළැඹි බවද නිවේදනයේ සඳහන් කර තිබේ. එමෙන්ම ශ්‍රි ලංකාවේ චීනයට අදාළ ණය සම්බන්ධයෙන්  එකඟතාවකට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලී උපදේශන පැවැත්වීම සඳහා චීනය සිය මූල්‍ය ආයතනවලට අඛණ්ඩව සහාය දක්වන බවද එම නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනාවකට අනුව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතා සංසදයේ තුන්වන සමුළුවට සහභාගී විය.  එම සංචාරය තුළ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ චීන උප අග්‍රාමාත්‍ය ඩින්ග්ෂුවේෂින්ග් මහතා ඇතුළු නායකයින් හමුවු අතර දෙරටේ නායකයන් සුහද සහ මිත්‍රශීලී අයුරෙන් දෙරටට වැදගත් වන කරණු සම්බන්ධයෙන් ගැඹුරින් අදහස් හුවමාරු කර ගත් බව එම ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් ගැඹුරු කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගතාව වර්ධනය මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් පොදු අවධානයට ලක්වන කරණු කෙරෙහි එම සාකච්ඡාවලදී අවධානය යොමු වු බවද  ඉහළ මට්ටමේ  සම්බන්ධතා පවත්වා ගනිමින් දෙරටේ රජයන් අතර හුවමාරු හා සහයෝගතා පුළුල් කිරීමට චීනය හා ශ්‍රී ලංකාව එකඟවී තිබේ. එකම චීනය ප්‍රතිපත්තියේ අඛණ්ඩව එල්බ සිටින බවට ශ්‍රී ලංකාව යළි තහවුරු කළ බවද එම නිවේදනයේ දැක්වේ. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්  ප්‍රධාන කරුණුවල‍දී එකිනොකාට සහයෝගය ලබාදීමට ද චීනය හා ශ්‍රී ලංකාව එකඟවී ඇත.

 ඒ අතරම ආර්ථික හා වෙළඳ අංශයේ ද්වීපාර්ශ්වික සහයෝගතාවන් පිළිබඳ දෙපාර්ශ්වය සෑහීමකට පත්ව සිටිති. ශ්‍රී ලංකාවේ කෘෂි නිශ්පාදන වැඩි වශයෙන් චීනයට ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීමටද චීනය අපේක්ෂා කරයි. සංචාරක හා සංස්කෘතික අංශයේ සහයෝගතාවන් පුළුල් කරමින් චීනයේ සුදු අශ්ව පන්සලේ ශ්‍රී ලංකා දාගැබක් ඉදි කිරීම සඳහා ඉඩමක් ලබා දීමට ද චීනය කැමැත්ත පළ කළ බව ඒකාබද්ධ නිවේදන‍යේ දැක්වේ.

ඒ අනුව  හරිත හා අඩු කාබන් සංවර්ධනය, සහ සංවර්ධන අත්දැකීම් බෙදාහදා ගැනීමට, සංවර්ධන උපාය මාර්ග ඒකාබද්ධ කිරීමට සහ සහයෝගීතාවයෙන් ඉදිරියට යාමට, ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී කාණ්ඩය සඳහා චීන ආධාර සහනාධාර නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ගිවිසුම් අත්සන් කිරිමට දෙපාර්ශවය එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට  චීන ව්‍යවසායන් දිරිමත් කරන බවද  කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ආශ්‍රිත ආයෝජන සඳහා හිතකර පරිසරයක් සඳහා පහසුකම් සැලසීමට චීනය සූදානම් බව ඒකාබද්ධ නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ලංකා කුරුඳු අපනයනය සඳහා අවස්ථාව ලබාදෙමින්  ශාක සනීපාරක්‍ෂක අවශ්‍යතා පිළිබඳ ප්‍රොටෝකෝලය අත්සන් කිරීමට ,   චීනයේ සහ ශ්‍රි ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (SMEs) අතර හුවමාරු සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙන්ම  තාක්ෂණික පර්යේෂණ සහ සංවර්ධනය, ඉලෙක්ට්‍රොනික ගුවන් සේවා සහ පුහුණුව, නව්‍ය සහයෝගීතා ආකෘති නිර්මාණය කිරීම, සහයෝගීතාවයේ මාර්ග පුළුල් කිරීමටද දෙරටේ නායකයින් එකඟවු බව ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ

මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශය

2023 ඔක්තෝබර් 20, බීජිං හිදී,

  1. චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) මහතාගේ ආරාධනයෙන්  ශ්‍රී ලංකා  ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ඔක්තෝබර් 16 සිට 20 දක්වා චීනයේ පැවති ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ තුන්වන තීරයක් මාවතක් සංසදයට සහභාගී විය.
  2. සංචාරය අතරතුර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ෂී ජින්පින් සහ උප අගමැති ඩින් ෂූසියාන් (Ding Xuexiang) මහතා  සමඟ වෙන් වශයෙන් හමුවී සාකච්ඡා පැවැත්වීය.   සුහද සහ මිත්‍රශීලී ලෙස  දෙරටේ නායකයින් ගැඹුරු අදහස් හුවමාරු කරගන්නා ල අතර  චීන-ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව පුළුල් පොදු අවබෝධයකට එළඹුණි.
  3. 1957 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය වීම පිළිබඳව රාජ්‍ය නායකයින් දෙපළ සතුට පළ කළහ. වසර 66ක් පුරා රටවල් දෙක රබර් සඳහා සහල් පිළිබඳ ගිවිසුම ආරක්ෂාකරගැනිම වෙනුවෙන් දෙපාර්ශවය පෙනී සිටි අතර ස්වාධීනත්වය සඳහා කැපවී සිටිති.   ස්වභාවික විපත්, COVID-19 වසංගතය සහ ආර්ථික දුෂ්කරතා ඇතුළු අවදානම් සහ අභියෝග සම්බන්ධයෙන් දෙපාර්ශවයම ප්‍රතිචාර දැක්වූ අතර, උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් සම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.   
  4. යහපත් අසල්වැසි සහ මිත්‍රත්වය, සහ ද්විපාර්ශ්වික සබඳතාවල අනාගත සංවර්ධනය සඳහා ප්‍රමුඛතා සහ මඟ පෙන්වීම් හඳුනා ගැනීමට සාමකාමී සහජීවනයේ මූලධර්ම පහ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම සහ මූලධර්මය මත පදනම්ව ඉහළ මට්ටමේ අන්තර්ක්‍රියා  පවත්වා ගැනීමට, රජයන් සහ අනෙකුත් පාර්ශවකරුවන් අතර හුවමාරු සහ සහයෝගීතාව පුළුල් කිරීමට දෙපාර්ශවය එකඟ විය.
  5. දෙරටේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන කාරණා සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගය දෙපාර්ශ්වයම යළිත් අවධාරණය කළහ. සමස්ත චීනයම නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජය චීන සමූහාණ්ඩුවේ රජය බවත්, තායිවානය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් පිළිගනිමින් ශ්‍රී ලංකාව එක් චීනයක් මූලධර්මය සඳහා වන සිය කැපවීම යලිත් තහවුරු කළ අතර, එම ප්‍රයත්නයන්ට සහය දක්වන බව යලි අවධාරණය කළේය. චීන රජය එහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහ ඕනෑම ආකාරයක “තායිවානයේ ස්වාධීනත්වයට” විරුද්ධ වේ. ශ්‍රී ලංකා භූමිය තුළ චීනයට එරෙහි කිසිදු බෙදුම්වාදී ක්‍රියාකාරකමකට කිසිසේත් ඉඩ නොදෙන බව ශ්‍රී ලංකාව යළි අවධාරණය කළේය. මිත්‍රත්වය, අවංකභාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ඇතුළත් කිරීමේ මූලධර්මය සහ අසල්වැසි මිත්‍රත්වය සහ හවුල්කාරිත්වය ගොඩනැගීමේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි චීන පාර්ශ්වය සිය කැපවීම තහවුරු කළ අතර  චීනය ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවට දැඩි ලෙස සහාය දෙන අතර, ශ්‍රී ලංකාවේ ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධනයක්   ස්වාධීනව තෝරාගැනීමට අගය කරයි.
  6. ජනාධිපති ෂී ජින්පින්ග්ගේ  නායකත්වය යටතේ ආසන්න  වසරවලදී චීනයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ලබාගත් වර්ධනය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාව පැසසුමට ලක් කළේය.
  7. COVID-19 වසංගතය තුළ මෙන්ම 2022 ආර්ථික අර්බුදය තුළ චීනයේ අමිල සහයෝගය ශ්‍රී ලංකාව අගය කළේය.
  8. චීනය කාලෝචිත ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලේඛනයක් සපයා ඇති අතර 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට උදව් කර ඇත. ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබඳව නිල ණය හිමියා ලෙස චීනයේ අපනයන-ආනයන බැංකුව සැප්තැම්බර් මස අවසානයේ මූලික ගිවිසුමකට එළැඹ ඇත. චීනයට අදාළ ණය සම්බන්ධයෙන්  කල් ඇතිව එකඟතාවකට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලී උපදේශන පැවැත්වීම සඳහා චීනය සිය මූල්‍ය ආයතනවලට අඛණ්ඩව සහාය දක්වනු ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් දුෂ්කරතා විසඳීමට, ණය බර අවම කර ගැනීමට සහ තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමේදී ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට චීන පාර්ශවය කැමැත්තෙන් සිටී. මූල්‍ය දුෂ්කරතා සමනය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාව ප්‍රශංසා කළේය.
  9. දෙරටේම නායකයින්ගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ චීනය සහ ශ්‍රී ලංකාව “තීරයක් මාවතක්” සහයෝගීතාවයේ සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇත. චීනය විසින් යෝජනා කරන ලද “තීරයක් මාවතක්” ව්‍යාපෘතිය සඳහා අඛණ්ඩව ක්‍රියාකාරීව සහභාගී වන බව ශ්‍රී ලංකාව අවධාරණය කළේය. මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යාංශය, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අතර“තීරයක් මාවතක්”ව්‍යාපෘතිය පිළිබඳ සහයෝගිතා සැලැස්ම සකස් කිරීම ඒකාබද්ධව කඩිනම් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට දෙපාර්ශවය එකඟ විය.           ශ්‍රී ලංකා ජනරජය, මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ජනරජයේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමක් මෙන්ම මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා  ජනරජයේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අතර  “හරිත හා අඩු කාබන් සංවර්ධනය” පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සඳහා එකඟවිය.  ශ්‍රී ලංකාවේ කොළඹ අඩු ආදායම්ලාභී කාණ්ඩය සඳහා ආධාර , සහනාධාර නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට, සංවර්ධන අත්දැකීම් බෙදාහදා ගැනීමට, සංවර්ධන උපාය මාර්ග ඒකාබද්ධ කිරීමට සහ සහයෝගීතාවයෙන්  ඉදිරියට යාමට,ත් එමඟින් දෙරට අතර උසස් තත්ත්වයෙන් “තීරයක් මාවතක්” ව්‍යාපෘතිය නව්‍යතාවයෙන් යුතුව ඉදිරයට ගෙනයාමටත් හැකියාව ලැබේ.

10   ශ්‍රී ලංකාව සිය ආර්ථික සංවර්ධනය සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදෙන  චීන ව්‍යවසායන් සාදරයෙන් පිළිගනී, එය ශ්‍රී ලංකාවේ හිතකර ආයෝජන සහ ව්‍යාපාරික පරිසරයක් පෝෂණය කරනු ඇත. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවක් පවත්වා ගැනීමට චීනය දක්ෂ චීන ව්‍යවසායන් දිරිමත් කරනු ඇත. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය දෙරට අතර “තීරයක් මාවතක්” සහයෝගීතාවයේ ප්‍රධාන ව්‍යාපෘති වේ. ශ්‍රී ලංකාව චීන ව්‍යවසායයන්ගෙන් තවදුරටත් ආයෝජන බලාපොරොත්තු වේ. අවශ්‍ය ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග ඇතුළුව වරාය නගරයේ ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාව සූදානම් බව ප්‍රකාශ කළේය.

11  ආර්ථිකයේ සහ වෙළඳාමේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ අතර  ද්වි-මාර්ග වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් නිදහස් වෙළඳ ගිවිසුමක් හැකි ඉක්මනින් අවසන් කිරීමට එකඟ විය. මූල්‍ය සේවා සහ ආර්ථික හා වෙළෙඳ සංවර්ධනය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දෙපාර්ශ්වයම වෙළෙඳපොළ මූලධර්ම, ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය මත මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රායෝගික කටයුතු සිදු කරනු ඇත.

  චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය ඇතුළු චීන ප්‍රදර්ශන සඳහා සහභාගී වීමට ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට පහසුකම් සැලසීම, ආනයනකරුවන් සහ අපනයනකරුවන්ගේ අදාළ චීන සංගම් සමඟ සබඳතා ඇති කර ගැනීම සඳහා තරඟකාරී ශ්‍රී ලංකා කර්මාන්ත සඳහා චීන පාර්ශවය අඛණ්ඩව සහාය වනු ඇත. චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය, චීන ජාත්‍යන්තර සැපයුම් ප්‍රදර්ශනය, සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පදනම මත සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ චීනය වෙත ශ්‍රී ලංකා අපනයන ශක්තිමත් කිරීමට චීන සහ ශ්‍රී ලංකා ව්‍යවසායන් දිරිමත් කිරීම. මහජන චීන සමූහාණ්ඩුවේ රේගු  පරිපාලනය සහ ශ්‍රී ලංකා ජනරජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අතර ශ්‍රී ලංකාවේ සිට චීනයට ලංකා කුරුඳු අපනයනය සඳහා වන ශාක නිරෝධායන අවශ්‍යතා පිළිබඳ ප්‍රොටෝකෝලය අත්සන් කිරීමට දෙපාර්ශ්වය එකඟ විය. මහජන චීන සමූහාණ්ඩුවේ රේගු  පරිපාලනය සහ අමාත්‍යාංශය අතර ශ්‍රී ලංකා  ජනරජයේ සිට මහජන චීන සමූහාණ්ඩුව වෙත අපනයනය කිරීමට  වන මසුන් ඇල්ලීමේ ජලජ නිෂ්පාදන සඳහා පරීක්ෂා කිරීම, නිරෝධායනය සහ පශු වෛද්‍ය සනීපාරක්ෂක අවශ්‍යතා පිළිබඳ ප්‍රොටෝකෝලයට පිළිබඳ සාකච්ඡා විය.

12  කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (SMEs) අතර හුවමාරු සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීමටත්, ඔවුන්ගේ (SMEs), සේවා සපයන්නන්, කාර්මික සංගම්, සහ විද්‍යාත්මක හා පර්යේෂණ ආයතන සන්නිවේදනය වැඩි කිරීමටත්, කාර්මික සහයෝගීතාව, විද්‍යාත්මක හා තාක්‍ෂණික සහයෝගීතා වේදිකා ස්ථාපිත කිරීමටත් දෙපාර්ශ්වය එකඟ විය. පර්යේෂණ සහ සංවර්ධනය, විද්‍යුත් ගුවන් ගමන් සේවා සහ පුහුණුව, නව්‍ය සහයෝගීතා ආකෘති නිර්මාණය, සහයෝගීතාවයේ මාර්ග පුළුල් කිරීම සහ සහයෝගීතාව සාරවත් කිරීම. චීන ජාත්‍යන්තර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සහභාගීත්වයට අවස්ථාව ලබාදිමට චීන පාර්ශ්වයව එකඟ විය.

13  චීනය සහ ශ්‍රී ලංකාව අතර සමීප කෘෂිකාර්මික සහයෝගීතාවයත් ඇත.  නිවර්තන භෝග සඳහා ජෛව තාක්ෂණය, ශාක අභිජනනය, ජලජීවී වගාව, කෘෂිකාර්මික සැකසුම්, වෙළඳපල සංවර්ධනය සහ කෘෂිකාර්මික නවීකරණය ඇතුළු ක්ෂේත්‍රවල තාක්ෂණික හුවමාරු සහ පුහුණු සහයෝගීතාවයන් සිදු කිරීමට චීන පාර්ශ්වය සූදානම් වන අතර එමඟින් ශ්‍රී ලංකාවේ පුළුල් කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට උපකාරී වේ. ශ්‍රී ලංකාවෙන් ගුණාත්මක කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි වැඩියෙන් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට චීන පාර්ශවයේ එකඟතාවය හිමිවිය.

14    අවබෝධය සහ මිත්‍රත්වය වැඩි කිරීම සඳහා අධ්‍යාපන හුවමාරුවන් සිදුකිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම සම්පූර්ණයෙන්ම හඳුනා ගත් අතර ගුරුවරුන්, සිසුන් සහ පර්යේෂකයන් අතර හුවමාරුව තවදුරටත් වැඩිදියුණු කිරීමට සූදානම ප්‍රකාශ කළහ. විද්‍යා හා අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමටත් අධ්‍යාපන ආයතන සමුපකාර පර්යේෂණ සහ ඒකාබද්ධ වගාවන් සිදු කිරීමට දිරිමත් කිරීමටත් දෙපාර්ශවය එකඟ විය. “චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ විද්‍යා හා අධ්‍යාපන මධ්‍යස්ථානය” සංවර්ධනය කිරීමට සහය දීමට දෙපාර්ශවය කැමැත්ත පළකළහ. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය  ඩිජිටල් තාක්ෂණය ලබාදීමට චීන ආධාර ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය හුවමාරු කිරීමේ ලිපියට අත්සන් කිරීමට දෙපාර්ශවය එකඟ විය.

 15 සංස්කෘතික හා සංචාරක ව්‍යාපාරයේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළහ. දෙපාර්ශ්වයම තම පුරවැසියන් එකිනෙකාගේ රටට සංචාරය කිරීමට දිරිමත් කරන අතර සංචාරක වෙළඳපොළ පුළුල් කිරීම සඳහා එකිනෙකාට සහාය දැක්වීමට සාකච්ඡා කළහ. දෙරට අතර වඩා හොඳ ගුවන් සම්බන්ධතාවක් ඇතිකිරීමට දෙපාර්ශවය එකඟ විය. සංචාරක ව්‍යාපාරයට පහසුකම් සැලසීම සඳහා තවත් ප්‍රතිපත්ති හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සූදානම් බවද මෙහිදී ප්‍රකාශ කළේය . චීනයේ හෙනාන් ප්‍රාන්තයේ ලුඔයැන්ග්හි බයිමා විහාරස්ථානයේ ශ්‍රී ලංකා බෞද්ධ චෛත්‍යයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවට පහසුකම් සැලසීමට කටයුතු කරන බව චීනය සඳහන් කළේය.

16    සහෝදර නගර අතර ජනතාව අතර හුවමාරු සහ සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට දෙපාර්ශවය එකඟ විය. දරිද්‍රතාවය අවම කිරීම සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ චීනය (චොංකිං) – ශ්‍රී ලංකා වටමේස රැස්වීම වේදිකා ස්ථාපිත කිරීම, පුහුණුව සංවිධානය කිරීම සහ අවබෝධතා කණ්ඩායම් හුවමාරුව ප්‍රවර්ධනය කිරීම මගින් දරිද්‍රතාවය අවම කිරීම පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා   දෙපාර්ශ්වයම කටයුතු කරනු ඇත.

17   හරිත සංකල්ප ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම  දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ඵලදායී ක්‍රම බව අවධාරණය කරමින් දේශගුණික විපර්යාස අනුවර්තනය සහ තිරසාර සංවර්ධනය සඳහා සමීප සහයෝගීතාවක් ඇති කිරීමට දෙපාර්ශ්වය සාකච්ඡා කළහ. ආපදා වැළැක්වීම සහ අවම කිරීම, සමුද්‍ර ගලවාගැනීම්, සහන සහ පර්යේෂණ, සමුද්‍රීය පුද්ගල පුහුණුව සහ ධාරිතා ගොඩනැගීම ඇතුළු ක්ෂේත්‍රවල සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ හුවමාරු සහ සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ නීල ආර්ථිකය වර්ධනය කරගැනීමට ද දෙපාර්ශ්වය අදහස් හුවමාරුකරගත්හ. මේ සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුවේ චීන විද්‍යා ඇකඩමිය, ශ්‍රී ලංකා ජනරජයේ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර ත්‍රි-පාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීමට දෙපාර්ශවය එකඟ විය.

18   ජාත්‍යන්තර සබඳතා තුළ වැඩි ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය පාලනය වඩාත් සාධාරණ  බවට පත් කිරීම සඳහා දෙපාර්ශ්වයම ඔවුන්ගේ ස්ථිර කැපවීම යළිත් අවධාරණය කළහ. සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා තහවුරු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් බහුපාර්ශ්වික යාන්ත්‍රණයන් තුළ සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශවය එකඟ විය. දෙපාර්ශ්වයම බහුපාර්ශ්වික වෙළඳ එකඟතාවයන්ට සහය දැක්වීම, ආරක්ෂණවාදයට විරුද්ධ වීම සහ ආර්ථික ගෝලීයකරණය වඩාත් විවෘත, ඇතුළත්, සමතුලිත සහ සැමට ප්‍රයෝජනවත් කිරීමට සහ මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට ඇති සූදානම ප්‍රකාශ කළහ.

චීනය විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරීම (GDI), ගෝලීය ආරක්ෂණ මුලපිරීම (GSI) සහ ගෝලීය ශිෂ්ටාචාරයේ මුලපිරීම (GCI) සඳහා ශ්‍රී ලංකාව නියත වශයෙන්ම  සහය දක්වන බව ප්‍රකාශ විය. ඉහත සඳහන් මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාව සමඟ ගැඹුරු සාකච්ඡා පැවැත්වීමටත්, ගෝලීය සහ කලාපීය සාමය, ආරක්ෂාව, සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ප්‍රකාශ කළේය.

 

  1. තමාට සහ ශ්‍රී ලංකා දූත පිරිසට දක්වන ලද උණුසුම් ආගන්තුක සත්කාරය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයට සහ ජනතාවට ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස චීන නායකයින්ට ආරාධනා කළේය. මෙම ආරාධනය සම්බන්ධයෙන් චීන නායකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිය පළ කළ අතර දෙපාර්ශවය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ ඉදිරියට සන්නිවේදනය පවත්වාගෙන යනු ඇත.

 

Previous articleරටවල් 7කට Free Visa
Next articleඇප තියන්න නැති නිසා ණයක් ගන්න බැරි ව්‍යාපාරිකයින්ට ජනපතිගෙන් උදව්වක්.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here