Home අද ජනපති සහ චීන උප අගමැති අතර හමුවක්

ජනපති සහ චීන උප අගමැති අතර හමුවක්

1513
0

මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව තමන්ට ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත්, එසේම චීනය සෑමවිටම ශ්‍රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත් චීන උප අගමැති තිං ක්ෂ්යෙශං (Ding Xuexiang) මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන උප අගමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (19) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්වුණු අතර එහිදී චීන උප අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන යටතේ පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී පැවසූ චීන උප අගමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මෙම ව්‍යාපෘති දෙකම සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාව එළැඹුනු ප්‍රථම විදේශීය වාණිජ ගිවිසුම චීන – ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ ඔස්සේ ඉදිරියට යමින් දෙරටේ පොදු ප්‍රතිපත්තීන්ට සරිලන නව වාණිජ සබඳතා ඇතිකරගත යුතු බව ද පෙන්වා දුන්නේය.

ශ්‍රි ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ චීනය ලබා දුන් සහාය ඉතා අගය කරන බවද පැවසු ජනාධිපතිවරයා ඈත අතීයේ සිටම ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය ශක්තිමත් තලයක පැවති බවත්, ජනාධිපති ෂී ජින් පිං මහතා යටතේ එය වඩාත් තහවුරු වී ඇති බවත් සඳහන් කළේය.

ඉන්දීය සාගර කලාපයේ අනන්‍යතාව සහ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයක් යොමු කරන බවත්, බල අරගලයක ගොදුරක් බවට ඉන්දියන් සාගරය පත් කර ගැනීමට අවකාශ ලබා නොදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

චිනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම ශ්‍රි ලංකාව RCEP හෙවත් කලාපීය ආර්ථික සබඳතා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

Previous articleමත්පැන් අලෙවිය ගැන රාජ්‍ය ඇමති චාමර කියු දේ
Next articleවිපක්ෂයේ බලාපොරොත්තු සුන් කරමින් දෙවන වාරිකයට අදාළ IMF කාර්‍යමණ්ඩල එකඟතාවයට අත්සන් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here