Home අද  සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම්

 සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම්

3866
0

 ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළි‍වෙළේ ප්‍රගතිය විමසා බැලීමට, ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

සංචාරකයන්ට ආකර්ෂණීය සහ සුව පහසු ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙරට සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට අදාළව දැනට සකස් කර තිබෙන සැලසුම් සහ ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ භූමිකාව පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසූ අතර ඒ වෙනුවෙන් දැනට ගෙන ඇති පියවර සහ නව ප්‍රවණතා පිළිබඳ ඔවුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණි.

ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ අනුමැතිය ලද ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව සංචාරක අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන විසින් 2025 වසර දක්වා වූ උපාය මාර්ග සැලැස්මක් සකස් කරමින් සිටින බවත්, මේ වන විට එහි කටයුතු 95%ක් පමණ අවසන් කර ඇති බවත්මෙහිදී සඳහන් කෙරිණ.

පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගනිමින් ඉහළ පෙළේ හෝටල් පාසලක් මෙරට ඉදිකිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා සුදුසු ගොඩනැඟිල්ලක් පිළිබඳ සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙරටට පැමිණෙන සංචාරයකන්ගේ නවාතැන් පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ඓතිහාසික පෙනුමක් සහිත දැනට භාවිතයට නොගන්නා ගොඩනැඟිලි සහ බංගලා පිළිබඳ සොයා බලා වාර්තාවක් සකස් කරන ලෙසත් මෙතෙක් සංචාරක අවධානයට ලක් නොවූ ස්ථාන හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් මෙන්ම සංචාරක කලාපවල ක්‍රියාත්මක කළ හැකි නව ව්‍යාපෘති පිළිබඳ සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

නව ආයෝජන සඳහා හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමට ආයෝජන යටිතල පහසුකම් සංස්ථාවක් (Investment Infrastructure corporation) ස්ථාපිත කිරීමටත්, ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට කවුන්සිලයක් පිහිටුවීමටත් සැලසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආයෝජන කලාප මෙන්ම සංචාරක කලාප සහ තාක්ෂණ කලාප ද ඒ යටතට පත්කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.

ඒ අනුව පළාත් 09 ආවරණය වන ආකාරයට පළාත් සංචාරක මණ්ඩල ස්ථාපිත කිරීමටත් එම එක් එක් මණ්ඩල යටතේ ප්‍රාදේශීය කමිටු ස්ථාපිත කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

Previous articleබැංකු ‌පොලී අනුපාත ගැන මහ බැංකුව සොයයි
Next articleඉන්දියාව එක්ක හැප්පෙන්න ඔනේ කියන අය අංගොඩ යවන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here