Home අද මුල්‍ය අර්බුදය නිසා නව වෙළඳ සංකීරණය රෝහලක් වෙයි?

මුල්‍ය අර්බුදය නිසා නව වෙළඳ සංකීරණය රෝහලක් වෙයි?

849
0

වසර තුනක් පුරාවට ඉදිකිරීම් අවසන් කරගැනීමට නොහැකි වු කුලියාපිටිය නගර සභාවේ නව වෙළඳ සංකීරණය සහ බහුකාර්ය ගොඩනැගිල්ල පෞද්ගලික රෝහලකට බදු දීමට යෝජනා වී තිබේ. කුලියාපිටිය නගර සභාවේ විශාලතම ව්‍යාපෘතිය ලෙස 2020 වසරේදී ආරම්භකළ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මේවනවිට නගර සභාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති අතර මේ සඳහා ඇති විසඳුමක් ලෙස  මෙලෙස බදුදීමට යෝජනා වී ඇත. ඒ අනුව කුරුණෑගල සමුපකාර රෝහල සමඟ මුලික සාකච්ඡා ආරම්භකර ඇති අතර මේවනවිට එම රෝහලේ නියෝජිතයින් අවස්ථා දෙකකදී කුලියාපිටියට පැමිණ අදාළ ගොඩනැගිල්ල නිරීක්ෂණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව ඉදිරියේදී පැවැත්විමට නියමිතව ඇති අතර ඒ අනුව වෙළඳ සංකීරණයක් වෙනුවෙන් නගර මධ්‍යයේ ඉදිකළ ගොඩනැගිල්ල රෝහල් බවට පත්වීමට නියමිතය.

ණය ගෙවීම නවත්වලා

මේ වනවිට නගර සභාව සභිකවරුන්ගේ පාලනයෙන් තොරව ලේකම් පාලනයේ යටතේ ඇති අතර නගර සභාව මගින් මෙම කාර්තුවේදී (2018-2023) සිදුකළ විශාලතම ව්‍යාපෘතිය ලෙස “කුලියාපිටිය නගර සභා නව පොදු වෙළඳපල හා බහු කාර්ය ගොඩනැගිල්ල ඉදි කිරීම” සිදුකර තිබේ.  ඒ සඳහා රුපියල් කෝටි 69 ක් මේවනවිට වැය කර ඇත. ඉදිකිරීම් සඳහා දේශීය ණය සංවර්ධන අරමුදලේ ණය මුදල්  සහ නගර සභා අරමුදල් යොදවා ඇති අතර නගර සභාව මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුද හමුවේ දේශීය ණය සංවර්ධන අරමුදල මගින් ණය සහන ඉල්ලා ඇත. ඒ අනුව මාස තුනක ණය සහන කාලයක් නගර සභාවට හිමිව ඇති අතර මේවනවිට නගර සභාව තවත් මාස 06 ක ණය සහන කාලයක් එම අරමුදල මගින් ඉල්ලා තිබේ. මේවනවිට නගර සභාව විසින් අදාළ ණය ගෙවීම් තාවකාලිකව නවත්වා ඇති අතර ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදුවෙමින් තිබේ. කොන්ත්‍රාත්කරුවන් සඳහා මුදල් ගෙවීම් ඒ ආකාරයෙන් සිදුකරන අතර ණය ගෙවීමේ අර්බුදයකට නගර සභාව මැදිවී සිටියි.

සැලසුමක් නැතිද – හදිසිවීමක්ද ?

කුලියාපිටිය නව පොදු වෙළඳපල හා බහු කාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් විගණන විමසුමක්ද සිදුව ඇති අතර එම වාර්තාවට අනුව මෙම ඉදිකිරීම වෙනුවෙන් ඉතාම හදිසියේ යොමුවීමක් සිදුව ඇති බවට කරුණු තහවුරු වෙයි.  මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නගර සභාව විසින් ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොමැති අතර ව්‍යාපෘති වාර්තාව පමණක් පිළියෙල කර ඇති බව අදාළ විගණන විමසුමේදී හදුනාගෙන තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ ඉංජිනේරු ඇස්තමේන්තු මිල රුපියල් මිලියන 996 ක් ලෙස සඳහන් ව තිබුණද කොන්ත්‍රාත් අත්සන් කිරීමේ ගිවිසුමේ එහි මිල රුපියල් මිලියන 1089 ලෙස සඳහන් වීමද විගණනයේදී අවධානට ලක්ව තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මිල විචලනයන මෙන්ම ගෙවීම් සිදුකිරීමේ කාර්ය පටිපාටිය අනුගමනය කර නොතිබු අවස්ථා කිහිපයක්ම විගණනය මඟින් හදුනාගෙන ඇත.

විවෘත කිරීමට දින කිහිපයක්

කුලියාපිටිය නගර සභාවේ නව වෙළඳ සංකීරණ සහ බහුකාර්ය ගොඩනැගිල්ල 2022 වසර ආරම්භයේදී වැඩ අවසන් කර විවෘත කිරීමට මුලින්ම සැලසුම්කර තිබුණි. එය අසාර්ථක වු තැන 2020 වසරේ දෙසැම්බර් මාසයේදී එය වීවෘත කිරීමට නගර සභාව සුදානම් විය. එයද අසාර්ථක විය. බලාපොරොත්තු වු පරිදි ඉදිකිරීම් කටයුතු අවසන් නොවු හෙයින් 2023 වසරේ ජනවාරි මාසයේදී , මාර්තු මාසයේදී ද එය විවෘත කරගැනීමට නොහැකි විය. මේවනවිට අදාළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේවසර අවසන් වන විට අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් වැඩකටයුතු කරගෙන යන අතර එයද ඉටුවන බලාපොරොත්තුවක් වේ දැයි සැක සහිතය. මේ හේතුවෙන් නගර සභාවට සිදුවන අලාභය පියවා ගැනීමක් ලෙස ගොඩනැගිල්ල බදු දීමට නගර සභාවේ අවධානය යොමුව තිබෙන අතර මේ දිනවල සිදුවන්නේ එයට අදාළ කටයුතුය .

කුලියාපිටිය සිටි සෙන්ටර් (KULIYAPITIYA CITY CENTER)

සුවපත් ජීවිතයක් – අලංකාර නගරයක් තේමාව  මුල්කරගනිමින් කුලියාපිටිය නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන විශාලතම ව්‍යාපෘතිය ලෙස රුපියල් මිලියන 1089 ක වියදමින් මෙම  පොදු වෙළඳපල හා බහුකාර්ය ගොඩනැගිල්ල ව්‍යාපෘතිය ඉදිකිරීම් 2020 වර්ෂයේ ආරම්භ කර ඇත.

කුලියාපිටිය නගර මධ්‍යයේ ඉදිකෙරෙමින් පවතින මෙම ගොඩනැගිල්ලේ 90% ආසන්න ප්‍රමාණයක් මේවනවිට ඉදිකිරිම් අවසන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනයක් විසින් තම අරමුදල් යොදවා සිදුකරන විශාලතම ව්‍යාපෘතිය ලෙස මෙම ව්‍යාපෘතිය සුවිශේෂී වේ. මේ සඳහා මධ්‍යම රජයේ අරමුදල් ලබාදී නොමැති අතර කුලියාපිටිය නගර සභාවේ අරමුදල් සහ දේශීය ණය සංවර්ධන අරමුදල මගින් ලබාගෙන ඇති ණය පහසුකමක් මත ව්‍යාපෘතිය ආරම්භකර ඇත.

ඉදිකෙරෙමින් පවතින කුලියාපිටිය සිටි සෙන්ටර් ගොඩනැගිල්ල  භුගත මහල ද සහිතව මහල් හතකින් සමන්විත ගොඩනැගිල්ලකි.  භුගත වාහන අංගනයක් සහ බිම් මහල තුළ කඩ කාමර 51  ක්  ද පළමු මහලෙහි කඩ කාමර 17 ක් ද ඉදිකිරීමට සැලසුම් කර ඇත.  දෙවන මහලෙහි සිනමා ශාලා 02 ක්  කායවර්ධන මධ්‍යස්ථානයක්  රූපලාවණ්‍යාගාරයක්  ක්‍රීඩා කලාපයක් ආහාරපාන අලෙවිසැල් 08 ක් ළමා ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණි.  තුන්වැනි මහලේ උත්සව ශාලා 02 ක් හා ආපහන ශාලාවක් සහිත විවෘත ඉහළ මහලකින් සමත්විත වන ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම   සුපිරි වෙළඳපල පරිශ්‍රයක ලෙස ඉදිකිරීම්ට  නවීන සෝපාන සහ විදුලි පාපුවරු ආදිය යොදා ගැනීමටද හරිත සංකල්පයට අනුගමනය කරමන් මෙහි අපජල පිරිපහදු ඒකකයක් මෙන්ම ලීටර 10 000 ක ධාරිතාවයකින් යුතු වැසි ජල රඳවනයක් ඉදිකිරිමටද සැලසුම්කර තිබේ. එමෙන්ම විදුලිය ලබාගැනීම සඳහා සුර්ය පැනල සහ LED විදුලි පහන් භාවිතා කිරීමටද සැලසුම් කර තිබුණි.

මෙම ඉදිකිරීම ආරම්භ කළ අවස්ථාවේ කොවිඩ් වසංගතයට මුහුණ දීම හේතුවෙන් රට වසාතැබීමේදී දුෂ්කරතාවයන්ට ලක්වීම නිසාද රටේ පැවති අර්බුද තත්වයන් නිසා මෙන්ම ඉදිකිරීම් ද්‍රව්‍ය අසීමිතව මිල ඉහළ යාම හේතුවෙන් කටයුතු කරගෙන යාම දුෂ්කර වු බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී නගර සභාව සඳහන් කළේය.

නගර සභාවේ වර්තමාන ලේකම් එච් ඒ එස් ඩී සෙනරත් මහත්මිය මේ සම්බන්ධයෙන් පැවසුයේ මෙවැන්නකි, “මේවනවිට සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනවා. නමුත් අපි අලුතෙන් හදන ගොඩනැගිල්ලට ගොඩක් මුදල් ගෙවන්න තිබෙනවා. කොන්ත්‍රාත් කොම්පැණියට ගෙවන්න තිබෙනවා ඒවගේම ණය වාරික ගෙවන්න තිබෙනවා. ගොඩනැගිල්ලේ වැඩ අවසන් කරන්නනේ කවද්ද කියලා හරියටම කියන්න අමාරු තත්වයක ඉන්නේ. ඒ නිසා මෙම ගොඩනැගිල්ල වෙනත් ආයතනයකට බදු දීම ගැනත් අපි සාකච්ඡා කරගෙන යනවා. මෙයට අදාළ ණය ගෙවීම් දීර්ඝ කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.  ” යැයි පැවසුවාය.

මේ  සම්බන්ධයෙන් විමසී‌මේදී හිටපු සභාපති ලක්ෂ්මන් අධිකාරී මහතා පවසන්නේ මෙවර පළාත් පාලන කාලසීමාව අභියෝගාත්මක කාලසීමාවක් උවද සාර්ථකව කරගෙන යාමට උත්සහ කළ බවයි. පාස්කු ප්‍රහාර සිදුවීම , කෝඩිඩ් වසංගතය , ආර්ථික අර්බුධ හමුවේ සැලසුම්කළ ඉලක්ක වලට නගර සභාවට යාමට නොහැකි උවද හැකි උපරිම සාර්ථකත්වයෙන් නගර සභාව මෙහෙයවු බව හෙතෙම සඳහන් කළේය. එමෙන්ම සැලසුම්කළ පරිදි බහුකාර්ය ගොඩනැගිල්ල අවසන් කිරීමට නොහැකි වුයේද එම හේතු නිසා බවත් ඒසම්බන්ධයෙන් කනගාටුවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ජනතාව වෙනුවෙන් පවතින රාජ්‍ය ආයතන මගින් ව්‍යාපෘති සිදුකිරීමේදී ජනතාවගේ කටයුතු පහසු කිරීම සඳහා ව්‍යාපෘති සිදුකළ යුතුවේ. එසේ උවද රටතුළ සිදුකර ඇති බොහොමයක් ව්‍යාපෘති දෙස බැලු කළ එය එසේ නොවන බව පැහැදිලි කිරීමට වැඩි වෙහෙසක් ගතයුතු නොවේ. බොහොමයක් ව්‍යාපෘති අසාර්ථක ව්‍යාපෘති බවට පත්ව ඇත්තේ මහජන මුදල් ද විශාල වශයෙන් පුලුස්සා දමමින්ය. එබැවින් මහා පරිමාණ ව්‍යාපෘති සිදුකිරීමේ දී ජනතාවගේ ආයතන ලෙස කටයුතු කරන රාජ්‍ය ආයතන දැඩිලෙස සැලකිලිමත් විය යුතුය.

  • චාමර සම්පත්

 

 

Previous articleජනාධිපති මන්දිරයෙන් අතුරුදහන් වී ඇති නිල ලාංඡන
Next articleවරාය පාර ලබන වසරේ ජනතා අයිතියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here