Home අද ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු පද්ධතිය සුරක්ෂිතයි

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු පද්ධතිය සුරක්ෂිතයි

586
0

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (29) පැවැති සාකච්ඡාවේදී හෙතෙම මේබව පැවසීය.

එම තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් බැංකු 50%ක පමණ බදු ගෙවීම සැලකිල්ලට ගනිමිනි. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්වල සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබේ.  ඒ අනුව 2024 දක්වා වූ ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 12.4% වන ලෙසත් 2026 දක්වා වූ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 7.5% වන ලෙසත් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 5%ක් වන ලෙසත් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය.

මේ ක්‍රියාවලියේදී විශේෂයෙන් ජනතාවගේ තැන්පත් ආරක්ෂා කරගැනීමට මුලිකත්වය දෙනවා.  ඒවගේම සේවක අර්ථසාධකයේ තිබෙන මුදල් හානියක් නොවී මේ කටයුත්ත කරන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන් අපි අවධානයට ලක් කළා.  ඒ අනුව තමයි අපි මේ සාකච්ඡා වලට සම්බන්ධවෙලා ඒ යෝජනාවලට එකඟවී තිබෙන්නේ. රජයේ ණය බර අඩුකිරීමට බැංකු පද්ධතියෙන් දැනටමත් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. බැංකුවලින් ගෙවන මුළු බදු ප්‍රතිශතය 50% ටත් වැඩියි.  එයට සාපෙක්ෂව සේවක අර්ථ සාධක මුදලින් බදු අයකරන්නේ 14% යි. රටේ ජනතාව මිලියන 20 ක් සිටියත් බැංකු ගිණුම් මිලියන 57 ක් තිබෙනවා.  මේ එකකට හෝ හානියක් උනොත් බැංකු පද්ධතියට වන හානිය විශාලයි. මේ නිසා බැංකු පද්ධතිය සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කරගැනීමට මහබංකුව විශාල වශයෙන් කටයුතු කළා. සමාජීය ආරක්ෂණය සඳහා බැංකු පද්ධතිය ආරක්ෂා කරගැනීම අනිවාර්යයි. සේවක අර්ථසාධක අරමුදලෙන් 9% ක් අනිවාර්ය පොලිය ලබාදෙන්න පුළුවන්. ඒවගේම සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය කිසිම වෙනසක් සිදුවෙන්නේ නැහැ.” යැයි පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා
මෙසේද පැවසීය.

රජයේ සම්පූර්ණ දේශීය ණය තිරසාර මට්ටමට ගෙන ඒමට නම් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ආකාරයට දැනට තිබෙන නිර්ණායක වසර 10ක කාලයක් තුළ යම්කිසි ආකාරයක ස්ථාවර මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස 2022 අවසානය වන විට රාජ්‍ය ණය දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128%ක් වුණා. නමුත් එය 2032 වන විට 95%කට වඩා අඩු මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා. එය තමයි පළවැනි නිර්ණායකය. දෙවනි නිර්ණායකය වන්නේ රජයේ සම්පූර්ණ මුල්‍යකරණ අවශ්‍යතාවය වාර්ෂිකව රජය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට පවතින 34.6% ක ප්‍රමාණය 2027- 2032 වසර 05ක කාලය තුළ සාමාන්‍යයෙන් 13% හෝ ඊට පහළ මට්ටමකට ගෙන ඒමයි.

තෙවන නිර්ණායකය වන්නේ විදේශ ණය සේවාකරණයයි. එය දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4 % ක් ලෙස පවතිනවා. එය 2027- 2032 කාලය තුළ 4.5%ක මට්ටමට ගෙන ආ යුතුයි.

මෙම ඉලක්ක ළඟා කර ගතහොත් බාහිර මූල්‍ය පරතරය (external financing gap) පිරවීමට ලැබෙන සහනය, අමෙරිකානු ඩොලර් බිලියන 16.9 කින් අඩු වෙනවා. මේ ඉලක්ක තුන ළඟා කර ගැනීමේදී සිදුකළ යුතු තවත් කාරණා තුනක් තිබෙනවා.

පළමුවැන්න නිල ද්වීපාර්ශවීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීම. ඒ පිළිබඳ සාකච්ඡා මේ වන විට සිදුකරගෙන යනවා. දෙවැන්න වාණිජ වශයෙන් ස්වෛරී බැඳුම්කර මඟින් ගත් මුදල්. ඒ පිළිබඳවත් සාකච්ඡා සිදුවෙනවා. තුන්වැනි කාරණය වශයෙන් දේශීය ණය යම්කිසි ආකාරයකට ප්‍රශස්තකරණය සිදුකිරීම. ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණය මෙම ක්‍රියාවලියේ එක් පියවරක් වනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී බලාපොරොත්තු වන්නේ රජයේ දළ මුල්‍ය අවශ්‍යතාවය (Gross Financial need) සඳහා ඉදිරි කාලය තුළ රජයට දළ වශයෙන් ගන්න තිබෙන ණය බර අඩු කිරීම. ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කළහොත් එය 12.7 දක්වා අඩු වෙනවා. එය 13න් පහළ තිබිය යුතුයි. ඒ අනුව එය හරියට ක්‍රියාත්මක කළහොත් දශම තුනක පරතරයකුත් තිබෙනවා. හරියට මෙය ක්‍රියාත්මක කළ හොත් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය 90%ටත් පහළට එනවා.

දැනට භාණ්ඩාගාර බිල්පත් ට්‍රිලියන 4.1ක් තිබෙනවා. එයින් 62.4%ක්ම තිබෙන්නේ මහ බැංකුව සතුවයි. අප දන්නා පරිදි කලින්ම භාණ්ඩාගාර බිල්පත් දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කිරීමට එකඟ වී තිබුණා. එයත් ප්‍රමාණවත් නොවන නිසා ඉතිරි ප්‍රමාණය ලබාගැනීම සඳහා අප භාණ්ඩාගාර බැඳුම්කර වෙත අවධානය යොමු කළා. දැනට තිබෙන ආකාරයට ට්‍රිලියන 8.7ක භාණ්ඩාගාර බැඳුම්කර තිබෙනවා. එයින් 36.5%ක් තිබෙන්නේ (superannuation fund) වල. 36%ක් පමණ බැංකුවල තිබෙනවා. ඊට අමතරව අනෙකුත් කොටස රක්ෂණ හා පුද්ගලික අය සතුව තිබෙනවා.

මෙහිදී මහ බැංකුව ලෙස අප බලන්නේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය රැකගැනීමටත්, EPF වෙනුවෙන් ලබාදිය හැකි හොඳම විසඳුම මොකක්ද කියලයි. සේවක අර්ථ සාධක අරමුදලේ භාරකරු විදියට ඉන්නේ මහබැංකුව. ඒ අනුව තමයි මහබැංකුව මීට සහභාගි වෙන්නේ. විශේෂයෙන් ජනතාවගේ තැන්පත් මුදල් ආරක්ෂා කර ගැනීමත් අනෙක් පැත්තෙන් ඊ පී එෆ් වගේ මහජන අරමුදල් වලට හානියක් නොවන ලෙස ආරක්ෂා කරගැනීමටත් තමයි අපි සාකච්ඡා වලට සම්බන්ධවී මේ යෝජනාවලට එකඟ වී තිබෙන්නේ.

ඒ යෝජනාව අනුව සැලකීමේදී බැංකු පද්ධතියෙන් රජයේ ණයබර අඩු කිරීමට දැනටමත් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. උදාහරණයක් ලෙස බැංකුවලින් දැනට ගෙවන බදු ප්‍රමාණය 50% ටත් වැඩියි. සමාගම් බදු 30%යි, වැට් සහ මූල්‍ය සේවා 18%යි, සමාජ ආරක්ෂණ දායකත්වය 2.5%යි වශයෙන් එය පෙන්වා දිය හැකියි.

මේ අනුව දැනටමත් බැංකු ලබන ආදායමෙන් 50%කටත් වැඩි ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවමින් රජයට දායකත්වය ලබා දෙනවා. ඊට සාපේක්ෂව බැලුවොත් (superannuation fund) මගින් බදු ලෙස අයකරන්නේ 14% යි. එය අඩු බදු අනුපාතයක්.

ඒ අනුවම බැලුවම පළවෙනි කාරණය සඳහා බැංකු පද්ධතිය දැනටමත් දායකත්වයක් ලබා දෙනවා. දෙවනි කාරණය බැංකු පද්ධතිය පසුගිය කාලය තුළ රටේ ආර්ථිකයේ සිදු වූ ණය ගෙවීමේ අපහසුතා සහ ලබා දුන් සහන කාල සීමා අනුව දැනටමත් ණය නොගෙවීම නිසා සිදු වූ පාඩු ට්‍රිලියන එකකට ආසන්න වෙලා තියෙනවා. ඊට අමතරව පසුගිය කාලයේ ට්‍රිලියන 1.6ක් වගේ වටිනාකමින් යුත් සහන කාල සීමා ලබා දී තිබෙනවා. ඒ අනුව බැංකු පද්ධතිය මේ තුළිනුත් දැනටමත් ආර්ථිකයට යම්කිසි දායකත්වයක් ලබා දී තිබෙනවා.

ඒ නිසා බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ තැන්පත්කරුවන් ගේ මුදල්වලට හානියක් නොවී ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක්. ඒ නිසා තමයි අප ‍යෝජනා කළේ බැංකු පද්ධතියට තව දුරටත් බරක් පැටවීම සාධාරණ වෙන්නේ නැහැ කියලා. මොකද ඔවුන් බදුවලින් ආර්ථිකයටත් භාණ්ඩාගාරයටත් විශාල දායකත්වයක් සපයා දී තිබෙනවා.

බැංකු පද්ධතිය තුළින් තැන්පත්කරුවන්ගේ තිබෙන තැන්පත් ප්‍රමාණය මිලියන 57ක්. රටේ ජනතාව මිලියන 20ක් වුණාට බැංකුවල ගිණුම් මිලියන 57ක් තිබෙනවා. ඒ මුදල්වලට යම්කිසි දෙයක් වුණොත් බැංකු පද්ධතියට වෙන හානිය ඉතා විශාලයි. මහබැංකුව වශයෙන් අපේ ප්‍රධානම අරමුණ බැංකු පද්ධතිය සහ මුදල් ආරක්ෂා කිරීමයි. ඔබ දැක්කා පසුගිය කාලයේ විශාල කටකතාවක් තිබුණා බැංකු කඩා වැටෙනවා. තැන්පත් නැති වෙනවා. බොහෝ දෙනෙක් ඇහුවා තැන්පත් එළියට ගන්නද කියලා. බැංකුවල තැන්පත් ඉවත් කරන්න ගත්තොත් ආර්ථිකයම කඩා වැටෙනවා.

ඒ නිසා පළවෙනිම උත්සාහය බැංකු පද්ධතියට හානියක් නොවී ගිණුම් මිලියන 57ක තියෙන තැන්පත්රුවන්ගේ මුදල් ආරක්ෂා කර ගැනීමයි. ඒක තමයි තිබෙන ලොකුම සමාජ බලපෑම. ඒ නිසා බැංකුවලට අත තියන්නේ නෑ.

ඊළඟට විශ්‍රාමික අරමුදල් (superannuation fund) ගත්තොත් බැංකුවලට සාපේක්ෂව අඩුවෙන් බදු ගෙවන 14%ක බදුවලට යටත් වූ ඊ පී එෆ් , ඊ ටී එෆ් ඇතුලු බොහෝ දේ තිබෙනවා. මේ සියලු දෙනාගේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවලින් යෝජනා කර තිබෙන්නේ තිබෙන සියළු බැඳුම්කර නැවත රජයට අරගෙන අලුතින් බැඳුම්කර නිකුත් කරනවා. ඒවාට 2025 වෙනකම්ම 12%ක පොලියක් ලැබෙනවා. එතනින් ඉදිරියට 9%ක පොලියක් ලැබෙනවා. අනෙකුත් වැදගත් කාරණය තමයි තමන්ගේ ඊ පී එෆ් හී තිබෙන මුදල අඩු නොවීම . ඉදිරියේදී ලැබෙන්න තිබෙන ප්‍රතිලාභය ලෙස 9% ක පොලියක් රජය විසින් සහතික කරනවා. රජය පැත්තෙන් සහතික වී තිබෙනවා යම්කිසි ආකාරයකින් අඩු වීමක් සිදුවෙනවා නම් භාණ්ඩාගාරය පැත්තෙන් ඒ අඩුව පුරවන බවට.

මේ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුවට සහභාගි නොවන අයට තෝරා ගැනීමක් තිබෙනවා. ඒ තමයි 14% වෙනුවට සාමාන්‍ය අය ගෙවන ආකාරයට 30% බද්දක් ගෙවිය ගෙවීම. මේ අනුව සති කීපයක් ඇතුළත බැඳුම්කර හුවමාරු සිදුකර ජූලි මාසය ඇතුළත මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා

මේ වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙය රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව, සෙනසුරාදා වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය දැන් සිදුවෙමින් පවතිනවා.

කවුරුත් දන්නා පරිදි රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ වන විට ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩව කටයුතු කර ගෙන යෑමේදී රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යයි. ඒ යටතේ දේශීය හා විදේශීය ණය වශයෙන් කොටස් දෙකක් තිබෙනවා.

එමෙන්ම විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතරතුර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අපි ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. එම වැඩපිළිවෙළ ද කඩිනමින් අවසන් කළයුතුයි.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක
ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජය තීරණය කිරීමත් සමඟ ඒ සඳහා අප පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණියා. නමුත් ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ඇති කරගන්නා තුරු එම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර සිටියා.

ඒඅනුව සැප්තැම්බර් මාසයේ 01 වනදා සිට මාර්තු 20 වනදා වන තුරු රජය සහ ජාත්‍යන්තර ණයකරුවන් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුණා. එහි මූලික අරමුණ වුණේ මූල්‍යකරණ සහතිකයක් එම ණයකරුවන්ගෙන් ලබා ගැනීමයි. අපට එය සම්පූර්ණ කළ හැකි වුණේ මාර්තු මාසයේ දෙවන සතියේයි. ඒ අනුව මාර්තු 20 වනදා වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ ඉල්ලීම පිළිගැනීමට සහ ඉදිරි කටයුතු කිරීමට එකඟත්වය පළ කරනු ලැබුවා

වසර 04ක වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වන්නේ. එහි ප්‍රධාන අංග 05ක් තිබෙනවා. පළවෙනි එක තමයි ආදායම් පාදක රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණයක් සිදු කළ යුතුයි කියන එක. 2020- 2021 වසරවල මෙරට දළ දේශීය නිෂ්පාදතය 8%ක් දක්වා පහත වැටී තිබුණා. එම තත්ත්වය ඉහළ නංවා ගැනීම සහ තවත් කරුණු ඊට ඇතුළත් වෙනවා.

දෙවනි කාරණය තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය. ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයෙක් නැහැ කියන එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බොහෝ කලකට පෙර ප්‍රකාශ කළා. තුන්වෙනි කාරණය මිළ ස්ථායිතාවයක් රටතුළ ගොඩ නඟා ගැනීම. හතරවැන්න මූල්‍ය අංශයේ ස්ථාවරභාවය ආරක්ෂා කර ගැනීමයි. පස්වෙනි කරුණ වශයෙන් දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙතකට රජය ප්‍රවේශ විය යුතුයි යන්නයි. මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා අප ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.

මේවායින් ණය ප්‍රතිව්‍යුහගතකරණය හැර අනෙකුත් කාරණා සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා.

අද අප කතා කරන දේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 42.1 යි. එයිනුත් ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කර ගන්නේ බිලියන 19.8ක ප්‍රමාණයක්. එයට ශ්‍රී ලංකා මහ බැංකුව , වාණිජ බැංකු සහ අනෙකුත් බැංකු, සේවක අර්ථ සාධක අරමුදල සහ රජයට ණය සපයා ඇති වෙනත් ආයතන 04ක් ඇතුළත් වෙනවා.

මේ ආයතන අතරේ ණය ප්‍රතිව්‍යුහගතකරණය විවිධාකාරයට සිදු වුවත් කිසියම් ආකාරයක මිශ්‍රිත වැඩපිළිවෙලක් ඔස්සේ යම්කිසි සහන ප්‍රමාණයක් රජයට ලබා ගැනීම එහි අවසන් ප්‍රතිඵලය විය යුතු බව අපේක්ෂා කරනවා.

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න
සහ ඒවාට ලබාදුන් පිළිතුරු පහත දැක්වේ

ප්‍රශ්නය

සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් රටේ විවිධ මත පළ වෙනවා. භාණ්ඩාගාර බිල්පත් ක්‍රමය හෝ යෝජනා කරන 30%ක බදු ක්‍රමය යටතේ හෝ අවසානයේ ලැබෙන මුදලට මොකද වෙන්නේ?

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

දැනට ප්‍රතිලාභීයාට ලැබෙන මුදල ඒ ආකාරයෙන්ම වෙනසක් නොමැතිව පවතිනවා. ආයෝජනය කිරීමෙන් ලැබෙන පොළිය 9% ද ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඒ අනුව දැන් තිබෙන තත්ත්වයයි, ඉදිරි තත්ත්වයයි අතර කිසිදු වෙනසක් නැහැ. හැබැයි සියයට 30 බදු මුදල නොගෙව්වොත් 9% ගෙවන්න බැරි වෙනවා. එවිට 7% හෝ 8% ක පොළිය තමයි හිමි වෙන්නේ.

එහිදී අපට සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් වෙනුවෙන් ගතහැකි හොඳම තීන්දුව ගන්න සිදු වෙනවා. 9% ගෙවන්න පුළුවන් බව අප විශ්වාස කරනවා. ඒ වගේම අරමුදලේ එකතුවට කිසිදු හානියක් වෙන්නේත් නැහැ.

ප්‍රශ්නය

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සම්බන්ධව විවිධ මත පළවීම වළක්වන්න බැහැ. එම නිසා රජයේ පාර්ශ්වයෙන් නිවැරදි තත්ත්වය සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවාද?

මහින්ද සිරිවර්ධන මහතා

ඇත්තටම අද මේ කරන්නෙත් හරි දේ කියා දීමක් තමයි. අපෙන් හැමෝම අහනවා ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා. බැංකු පද්ධතිය කඩාවැටෙනවාද, රට විනාශ වෙනවා ද වැනි විවිධ ප්‍රශ්න අහනවා. මට නම් මේක වේදනාකාරී තත්ත්වයක්. අද රට මුහුණ දී තිබෙන්නේ තියුණු අභියෝගයකටයි. මේ අභියෝගය තවම අවසන් වී නැහැ. රට මුහුණපා ඇති මෙම අභියෝග ජය ගැනීමට නම් මෙවැන් වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුයි.

බැංකු පද්ධතිය මෙන්ම සේවක අර්ථ සාධක අරමුදලත් අප ආරක්ෂා කර ගත යුතුයි. මේ සියල්ලටම අසාධාරණයක් නොවන ලෙස තමයි රට ගොඩනඟාගත යුත්තේ.

ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ පිළිබඳව පුළුල් ලෙස ජනතාව දැනුම්වත් කරනවා. මෙම වැඩපිළිවෙළ පිළිබඳව නිසි පණිවිඩය යා යුත්තේ ඈත ගම්මානවල සිටින, කිසිවක් කරකියාගත නොහැකි දුප්පත් ජනතාවටයි. ඒ වගේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළහොත් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකරන්න බැරි වෙනවා.

මේ වන විට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට එළැඹ තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කරණයකට අප නොගියහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන වැඩසටහනට ද එය බලපානවා. එසේ වුවහොත් රටේ අනාගතයට මොකද වෙන්නේ කියා කාටවත් හිතාගන්න බැරි වෙනවා. ඒ නිසා මෙය එතරම්ම සංවේදී කාරණයක් බව කිව යුතුයි.

ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැහැ කියන කාරණය පිළිබඳ අවුරුදු කිහිපයක් තිස්සේ අවබෝධයක් තිබෙනවා. එසේනම් සේවක අර්ථ සාධක අරමුදලේ බැඳුම්කරවල වැඩි වශයෙන් ආයෝජනය කළේ ඇයි කියන ප්‍රශ්නය මතු වෙනවා.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයක් නැහැ කියන එක ප්‍රකාශයට පත් කළේ 2020 වසරේදීයි. ඇත්ත වශයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි කියන යෝජනාව ගෙන ආවේ 2021 වසරේදී.

ඊළඟට සේවක අර්ථ සාධක අරමුදලට එකතු වෙන මුදල් රටේ තිබෙන ආයෝජන දෙස බැලූ විට වෙන කොහේද ආයෝජනය කළ යුත්තේ කියන ප්‍රශ්නය මතු වෙනවා.

වසරකට රුපියල් මිලියන 500 ක් පමණ සේවක අර්ථ සාධක අරමුදලට මුදල් එකතු වෙනවා. සේවක අර්ථ සාධක අරමුදෙල් පමණක් නෙමෙයි, රක්ෂණ අරමුදලේ මුදල් පවා ශ්‍රී ලංකාවේ තමයි ආයෝජනය කළ යුත්තේ. මොකද එවැනි විශාල මුදලක් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්න බැහැ. රජයට ණය ගෙවීමට නොහැකි වූ විට ඒ සඳහා මහා භාණ්ඩාගාර බිල්පත් යොදා ගැනීම සිදුව තිබෙනවා. එය අවාසනාවට සිදු වූ කාරණයක්.

ප්‍රශ්නය

සේවකයෙක් විශ්‍රාම යෑමෙදී සේවක අර්ථ සාධක අරමුදල් ලබාගත හැකිද?

නන්දලාල් වීරසිංහ මහතා

ඔව්. ඒ සදහා කිසිදු ගැටලුවක් නැහැ. ඕනෑම කෙනෙක්ට කල්පිරුණු වහාම සේවක අර්ථ සාධක අරමුදලෙන් හිමි මුදල ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

 

 

 

Previous articleණය ප්‍රතිව්‍යුහගත යෝජනාව අද මුදල් කාරක සභාවට
Next articleමැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here