Home අද සහනාධාර වලින් පමණක් රටක් ගොඩඟන්න බැහැ

සහනාධාර වලින් පමණක් රටක් ගොඩඟන්න බැහැ

698
0

සහනාධාර සහ සුබසාධනය ගැන පමණක් බර තබා වැඩ කළොත් රටක් ගොඩනගැනීමට නොහැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පවසා තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආකාරයේ සහනාධාර ක්‍රමවලින් රටක් දියුණු කරීමට නොහැකි බවත් මේ දුෂ්කර අවස්ථාවේ උපකාර අත්‍යවශ්‍ය පුද්ගලයින් සොයාබලා ඒ අනුව කටයුතු කිරීම මඟින් සුබසාධනයේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබෙන බවද හෙතෙම සඳහන් කරයි. දිනමිණ පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් ජයවර්ධන මහතා මේබව සඳහන් කර ඇති අතර එම සාකච්ඡාව පහතින් සඳහන් වේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරු වෛද්‍යවරු වැනි වෘත්තිකයන් විශාල විදිහට රට අත හැර යාම සිදුවෙනවා මේ තත්ත්වයට මූලික හේතුව කුමක් වුවත් බුද්ධි ගලනය සිදු වීම රටේ අනාගතයට අයහපත් විදිහටයි බලපානු ලබන්නේ. මේ තත්ත්වය පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

අද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇතිව තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නෙ බුද්ධි ගලනය සිදුවීමයි. බොහෝ පිරිස් විදෙස් ගතවීමට ප්‍රධාන කරුණක් බවට පත්ව තිබෙන්නේ ඔවුන් වෙත බල පා තිබෙන ආර්ථික ගැටලුයි. බදු ප්‍රතිපත්තිය නිසා ඔවුන්ටත් වෘත්තීය අපහසුතා ඇතිවෙලා තිබෙනවා. මෙහිදි සමහරු විශ්වවිද්‍යාල ආචර්යවරු පිළිබඳව වෙනස් විදිහට සිතනවා. ඒ අය සිතන්නෙ ආචාර්යවරුන්ට විශාල වැටුපක් ලැබෙන නිසා බදු මුදලක් අය කළාට කමක් නැහැ කියලයි. ඒත්, ඇත්ත තත්ත්වය ඒක නොවෙයි. ආචාර්යවරුන්ට ලැබෙන්නේ මූලික පඩියක්. ඒත්, ඔවුන්ට ලැබෙන නිවාස දීමනා, වාහන දීමනා වගේ අතුරු දීමනා අඩුයි. මේ තත්ත්වය තුළ දීමනා සමඟ විශාල වැටුපක් ලබා ගන්න අයට වඩා ආචාර්යවරුන්ගෙන් අය කරනු ලබන බදු මුදල වැඩියි. මේ තත්ත්වය නිසා දැනටමත් දහස් ගණනක් වෙනත් රැකියා සඳහා විදේශවලට ගිහින් ඉන්නවා. ඇත්තෙන්ම මෙහෙම විදෙස් ගත වෙන බහුතරය විශාල වැඩ කොටසක් කළ හැකි තරුණ පිරිස්. ඉන් බහුතරය අවුරුදු තිහත් හතළිහත් අතර පිරිස්. මෙවැනි අය රට අතැර යාම රටට ලොකු පාඩුවක්. තව කාලයක් යනවා මේ තත්ත්වයට පළපුරුදු පිරිසක් නැවත බිහි කර ගැනීමට. එනිසා සිදුවන බුද්ධි ගලනය පාලනය කිරීමට ඉක්මන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

මේ තත්ත්වය වැළැක්වීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද ?

රට තුළත් ලොකු ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඒ තත්ත්වය ගැනත් අපට පැහැදිලි අවබෝධයක් තිබෙනවා. එහෙත්, ඇතිව තිබෙන ආදායමට සරිලන්නේ නැති බදු ප්‍රතිපත්තිය ගැන නැවත සමාලෝචනයක් කරන්න පුළුවන්නම්, ඇතිව තිබෙන ගැටලු සහගත තත්ත්වය යම් ප්‍රමාණයකට හෝ පාලනය කර ගැනීමට පුළුවන් කම ලැබේවි. ඒ වගේම පසුගිය කාලයේදී පර්යේෂණ කටයුතු සඳහා රජයෙන් ආධාර ලැබුණා. මේ ලැබුණු ආධාර දැන් එදා තරම් ලැබෙන්නේ නැහැ. මේ සියලු තත්ත්වයන් මෙරට බුද්ධි ගලනයට විශාල ලෙස බලපානු ලබන හේතුවක් වුණා.

මේ ගැන බලධාරීන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පත්වීමට හැකියාවක් නැද්ද?

අපි නිතරම උත්සාහ කරනු ලබන්නේ සාකච්ඡාවෙන් සහ එකඟතාවෙන් යුතුව ප්‍රශ්න නිරාකරණය කර ගැනීමටයි. අපි මේ ගැන ජනාධිපතිතුමා සමඟ පවා සාකච්ඡා කර තිබෙනවා. එහිදී ඔහු ධනාත්මක ප්‍රතිචාර ලබා දී තිබෙනවා. රට පසුගිය කාලයේදී විශාල අර්බුදයකට පත් වුණා. එහි ප්‍රධාන ගැටලුව බවට පත් වුණේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වීම සහ බොහෝ අංශවලින් කඩා වැටීමයි. මෙහිදී බොහෝ විට චෝදනා එල්ල වූයේ දේශපාලනඥයන්ටයි. එහි ලොකුම සටන් පාඨය වුණේ 225ම එකයි යන පාඨයයි.

රට පත්ව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ දේශපාලනඥයන් පමණක්ද උගතුන්, බුද්ධිමතුන් සහ නිලධාරීන් මේ සඳහා වගකිවයුතු නැද්ද ?

ඔව්. කවුරුන් හරි කියනවා නම්, මේ හැම ප්‍රශ්නයකටම දේශපාලනඥයන් පමණක් වගකිව යුතුයි කියලා ඒ අදහස සර්ව සාධාරණ දෙයක් විදිහට සලකන්න බැහැ. රටේ හැමදේකටම නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබෙනවා. නිලධාරීන් විදිහට පත්ව ඇති පිරිස්ද දේශපාලනඥයන් සමඟ එක්ව තීන්දු තීරණ ගන්නවා. ඒ නිසා දේශපාලනඥයන් මෙන්ම නිලධාරීන්ද යම් මට්ටමකට වගකීමක් දරන්න ඕනෑ. එහෙත් තීරණ ගන්නේ නිලධාරීන් හෝ බුද්ධිමතුන් වියතුන් නොවෙයි. දේශපාලනඥයන් විසිනුයි. මම ඔබට එක් උදාහරණයක් කියන්නම්. පසුගිය ආණ්ඩුව කාලයේදී කාබනික පොහොර අනිවාර්ය කරමින් තීරණයක් ක්‍රියාත්මක වුණා. මේ තීරණය ක්‍රියාත්මක කරන්න මූලික වුණේ දේශපාලන අධිකාරිය නිලධාරීන් වෙත එල්ල කළ බලපෑමයි. අපේ රටේ තත්ත්වය අනුව දේශපාලන අධිකාරියෙන් නිලධාරීන් වෙත තද තෙරපුමක් එල්ල වෙනවා. ඒ නිසා නිලධාරීන්ට සෘජුව තීරණ අරන් වැඩ කරන්න බැහැ. ඒ නිසා රටේ තත්ත්වයට දේශපාලනඥයන් මෙන්ම ඔවුන්ගේ බලපෑමට යටත් වූ නිලධාරීන්ද වගකිව යුතුයි යන අදහසේයි මම සිටින්නේ.

මේ දිනවල මතුව තිබෙන තවත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස පැහැදිලි කළ හැකිද,?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විදිහට මේ පිළිබඳව මෙතෙක් නිල මතයක් ප්‍රකාශයට පත් කර නැහැ. එනිසා මේ පිළිබඳව මම රටේ පුරවැසියකු විදිහට මගේ පුද්ගලික අදහස පැහැදිලි කරන්නම්. ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අදහස මතුව එන්නේ රාජ්‍ය ආයතන පාඩු ලැබීම කියන අදහස මූලික කරගෙනයි. මම අසාධාරණ ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරෝධය දක්වනවා. අපි සොයා බැලිය යුතුයි රාජ්‍ය ආයතන මේ විදිහට පාඩු ලබන්නේ ඇයිද කියන කරුණ. බොහෝ අවස්ථාවල මේ වගේ ආයතන පාඩු ලැබීමට මූලික හේතුවක් බවට පත්වෙලා තිබෙන්නේ දේශපාලන හිතවතුන් අසීමාන්තිකව එම ආයතනවලට බඳවා ගැනීමයි. මම වර්තමාන ආණ්ඩුවට චෝදනා කිරීමක් නොවෙයි කරන්නේ. පසුගිය කාලය පුරා පැමිණි විවිධ ආණ්ඩු මේ දේ කළා. අද රාජ්‍ය අංශයේ සමහර ආයතන විශාල ලෙස පාඩු ලැබීමට හේතු වෙලා තිබෙන්නෙ මෙවැනි කරුණුයි. මේ නිසා ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනවා නම්, නිසි විදිහට සොයා බලා කටයුතු කළ යුතුයි. ඒ ආයතනය ජාතික වශයෙන් කෙතරම් වැදගත් ආයතනයක්ද යන්න විමසිය යුතුයි. එහෙම සොයා බලා අවශ්‍යම මොහොතක තීන්දු ගත යුතුයි.

අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විදිහට අපට ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳ නිල අදහසක් පළ නොකළත් මට පුද්ගලයකු විදිහට මේ පිළිබඳව තිබෙන අදහසයි ප්‍රකාශ කළේ.

අපි මෙතැනදී සලකා බලන්න ඕනෑ, ප්‍රතිව්‍යුහගත කළ ආයතන තිබෙනවා, පුද්ගලිකරණය කළ ආයතන තිබෙනවා, ඒවා එදා ප්‍රතිව්‍යුහගත කළාට වර්තමානයේ සාර්ථක වෙලා තිබෙනවාද කියන දේ සලකා බැලිය යුතුයි. මට පෙනෙන විදිහට නම් මෙසේ ප්‍රතිව්‍යුහගත කළ ආයතන බොහොමයක් සාර්ථක වෙලා නැහැ.

සුබසාධනය සහ ආධාර ක්‍රම පිළිබඳව මේ දිනවල විශාල කතාබහක් ඇතිව තිබෙනවා. ඇත්තෙන්ම සහනාධාර සහ සුබසාධනය මඟින් පමණක් රටක් ගොඩනැඟිමට පුළුවන්ද ?

ඔව්. සහනාධාර ගැන, සුබසාධනය ගැන පමණක් බර තබා වැඩ කළොත් රටක් ගොඩනඟන්න බැහැ. මෙවැනි ක්‍රමවලින් රටක් දියුණු කරන්න බැහැ. එහෙත් මේ දුෂ්කර අවස්ථාවේ උදවු අත්‍යවශ්‍ය කාටද කියන දේ සලකා බැලිය යුතුයි. ඒ අනුව කටයුතු කිරීම මඟින් අපට සුබසාධනයේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එහෙත් මෙතැනදී ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදි කල්පනාවෙන් එම තේරීම් කළ යුතුයි. එහෙම කිරීම මඟින් ප්‍රශ්න ඇතිවන එක වළක්වා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. එහෙම නොවුණොත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිව ගැටලුව තව දුරටත් විශාල වීමට ඉඩ තිබෙනවා.

එනිසා අපි මේ අවස්ථාවේදී කළ යුත්තේ අත්‍යවශ්‍ය කණ්ඩායම් වෙත සහනාධාර ලබා දීමත් ඔවුන් ඇතුළු සමස්ත සමාජයටමත් දෙපයින් නැඟී සිටීමට හැකි පසුබිමක් නිර්මාණය කිරීමයි. සහනාධාර මඟින් පමණක් රටක් දීර්ඝ කාලීනව ඉදිරියට අරන් යන්න පුළුවන් කියලා මම කිසිම වෙලාවක කියන්නේ නැහැ. එනිසා අත්‍යවශ්‍ය කණ්ඩායම් වෙත පමණක් තෝරා සහනාධාර ලබා දීම කළ යුතුයි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය කරන සමීක්ෂණ කඩිමුඩියේ කිරීම සාර්ථක දෙයක් නොවෙයි. මේ කාර්ය ක්‍රමානුකූලව සිදු කිරීම මඟින් ඇති විය හැකි ගැටලු නිරාකරණය කර ගැනීමට පුළුවන්.

 

Previous article“අස්වැසුම ලාභීන් දේශපාලන කණ්ඩායම්වල ගොදුරක් වෙන්න එපා” – මුදල් රාජ්‍ය ඇමති
Next articleශ්‍රී ලංකන් ගුවන්යනා පදවන්න එතෙරින් නියමුවෝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here