Home අද සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට

සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට

820
0

ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් විදේශ රැකියා කේෂ්ත්‍රය මුදා ගැනීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුවන අනවශ්‍ය අතපෙවීම් වළක්වා ගැනීමටත්, නීතිවිරෝධී ක්‍රියා නතර කිරීමටත් මෙමඟින් හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශය මේ සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කර ඇති බව හෙතෙම පැවසීය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා

රට වැටී තිබූ අවස්ථාවක තමයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගනු ලැබුවේ. පාරවල්වල මන්ත්‍රීවරුන් ඝාතනය වුණා. ත්‍රස්තවාදින් කණ්ඩායමක් මේ රටේ බලය අතට ගන්න උත්සාහ කළා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වැටී තිබූ තැනින් ගොඩ ගත්තා. ජනතාවට ජීවත් විය හැකි වාතාවරණයක් රට තුළ ස්ථාපිත කළා. පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍ර පසෙක තබා රටේ ජනතාව ආරක්ෂා කරන්න කැප වුණා. විවිධ දේශපාලන මත තිබුණත් රටේ අවශ්‍යතාව වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කර ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කළා. රට වැටුණු තැනින් ගොඩනැඟීමේදී ආර්ථිකය ප්‍රශ්නය බරපතල ලෙස තිබුණා. රටේ ඩොලර් සංචිත තිබුණේ නැහැ. එහිදී රටට ඩොලර් ගෙන ඒමේ වගකීමේ කොටසක් අපි භාර ගත්තා. තුන්ලක්ෂ දොළොස්දහසක් ශ්‍රමිකයන් විදෙස්ගත වුණා. ඒ හරහා මේ දක්වා ඩොලර් මිලියන 4800ක් රටට ගෙන එන්න හැකියාව ලැබුණා. විදෙස්ගත ශ්‍රමිකයන් ඒ සඳහා දායකත්වය ලබා දුන්නා. අද රට මේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ ඩොලර් සංචිත ප්‍රමාණය වැඩි වූ නිසයි.

එදා සියයට 80ක් ලෙස පැවති උද්ධමනය අද සියයට 25ක් දක්වා අඩු වෙලා තිබෙනවා. රටේ ජනතාවට ජිවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට විදෙස්ගත ශ්‍රමිකයන් දැක්වූ දායකත්වයට අප ඔවුන්ට ප්‍රණාමය පුද කර සිටිනවා. රටේ සංවර්ධනය සඳහා නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍යයි. අපි නිෂ්පාදන ආර්ථිකයක් සකස් කළ යුතුයි. ආයෝජනවලට විවිධ බාධා තිබෙන්න පුළුවන්. කම්කරු නීතිරීතිවල බරපතල දෘඪ භාවයක් තිබෙනවා. ඒ නිසා විදෙස් ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා ශ්‍රමිකයා ආරක්ෂා කරගෙන කම්කරු නීති රීති වෙනස් කළ යුතුයි. අපේ රටේ ශ්‍රම සම්පතේ ඵලදායිතාව වැඩි කළ යුතුයි. ශ්‍රම සම්පතෙහි ඵලදායීතාව වැඩි කර, ඔවුන් හා එක්ව වැඩි කිරීමට ආයෝජකයන්ට අවස්ථාව උදාකර දිය යුතුයි. හොඳ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි. එම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ වෙනුවෙන් පනත් කෙටුම්පත සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. එය කම්කරු උපදේශන සභාවේ මූලික අනුමැතිය ලබාගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

නීතිවිරෝධි සංක්‍රමණ ප්‍රශ්න නැවත ඇති නොවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. ඒ වගේම විදේශ නියුක්ති කාර්යාංශයේ අනවශ්‍ය අතපෙවීම්, වැරදි ක්‍රියා නැති කිරීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන ලද කමිටුවකින් මුදල් අමාත්‍යාංශය ඊට අවශ්‍ය පූර්ණ අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතිනවා. එය තවත් සති දෙකක් තුනක් යන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා. සේවය ලබා ගන්නා පාර්ශ්වයේ සිට සේවකයා දක්වා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට මෙමඟින් හැකියාව ලැබෙනවා. ඒ වගේම ජාවාරම්කරුවන්ගේ ක්‍රියා නතර කිරීමටත් මෙමගින් හැකියාව ලැබෙනවා.

එසේම කම්කරු කේෂ්ත්‍රයත් ඩිජිටල්කරණය කළ යුතුයි. ඊටීඑෆ්, ඊපීඑෆ් මෙන්ම ඊ වැටුප් සේවාවකින් සමන්විත ඩිජිටල්කරණයට අවශ්‍ය ටෙන්ඩර් පටිපාටියත් මේ දිනවල සිදුවෙමින් පවතිනවා. කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා සියලු වෘත්තීන්ට ගරු කරමින් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමටත් පියවර ගන්නවා. මේ රටේ ඕනෑම රැකියාවක් කරනවා නම් ඔහු ලියාපදිංචි විය යුතුයි. ඒ ලියාපදිංචිය හරහා ඔවුන් ගැන සොයා බැලීමට හැකියාව ලැබෙනවා. දෛනික වැටුප් ගන්නා කම්කරුවා දක්වාම ඊටීඑෆ්, ඊපීඑෆ් ඇතුළු සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දෙන වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරනවා. විදෙස්ගත ශ්‍රමිකයන්ට පසුගිය කාලයේ සුවිශේෂී අවස්ථා රැසක් ලබා දී තිබෙනවා. සේවා ස්ථානයේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමයක් ඇති කිරීම සඳහා දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. එම වැඩපිළිවෙළ නීතියෙන් බලාත්මක කිරීමටත් කටයුතු කරනවා.

ළමා ශ්‍රමය නැති කිරීමටත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. සේවක අර්ථ සාධක අරමුදල ඒකාරාශී කිරීමටත් පියවර ගන්නවා. මේ සියල්ල ඒකරාශී කර ගනිමින් ඩිජිටල්කරණය කරමින් පද්ධතියක් වශයෙන් ඉදිරියට ක්‍රියාත්මක කරනවා. එසේම මෙහෙවර පියස ගොඩනැඟිල්ලේ තට්ටු ගණනාවක් හිස්ව තිබෙනවා. ඒවා ආයෝජකයන්ට ලබාදී රාජ්‍ය ආදායම වැඩි කිරීමට කටයුතු කරනවා. විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදීම නිසා ඩොලර් මිලියන 70%ක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණා. ලෝකයේ වෙසෙන ඕනෑම කෙනෙකුට සැප්තැම්බර් මාසය වනතෙක් විද්‍යුත් වාහන ගෙන්වීමට හැකියාව තිබෙනවා.

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් සුබසාධන අවස්ථා රැසක් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. වෘත්තීය පුහුණුව සහිත තරුණ තරුණියන්ට විදෙස් රැකියා අවස්ථා ලබා ගැනීමට දීපව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. එහි පළමු අදියර යටතේ යාපනය කේන්ද්‍ර කරගෙන ලබන මාසයේ global Fair වැඩසටහන පැවැත්වෙනවා.

මෙරට සෘජු රැකියාවල නිරතව සිටින්නේ 40%ක ප්‍රමාණයක් පමණයි. 60%ක් නිරත වන්නේ වක්‍ර රැකියාවල. ඒ නිසා ඔවුන්ටත් මාතෘ ප්‍රතිලාභ, රැකියාවක් අහිමිවීමේදී හිමිවිය යුතු වන්දි මුදල, අනතුරක් සිදුවීමේදී ගෙවන මුදල ඇතුළු සියලු ප්‍රතිලාභ මධ්‍යගත අරමුදලක් හරහා රක්ෂණ ක්‍රමවේදයක් වශයෙන් ලබාදීමට කටයුතු කරනවා. ඊටීඑෆ් මඟින් හා සේවා යෝජකයා හරහා ලබාගත් අරමුදල්වලින් තමයි ‍එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. පක්ෂ පාට බේදයකින් තොරව මේ දේවල් කරන්නේ රටේ ජනතාව ආරක්ෂා කිරීමටයි. පක්ෂයේ සහ අපේ අනාගතය ගැනත් නොසිතා තමයි රටට වැඩ කරන්නේ. දේශපාලන නායකයන් තීන්දු තීරණ ගත යුත්තේ ජනතාවගේ සුබසාධනය ගැන සිතා මිස තම දේශපාලන අනාගතය ගැන සිතා නොවෙයි.

විකාශන අධිකාරි පනතක් ගෙනෙන්න හදන විට බොරු චිත්‍ර මවනවා. එම පනත ගෙනෙන්නේ මාධ්‍ය මර්දනයට නෙමෙයි. රජයට මාධ්‍ය පාලනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. විකාශන අධිකාරි පනතේ මුඛ්‍ය පරමාර්ථ පහක් හෝ හයක් තිබෙනවා. එහි පළමුවෙන්ම තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමයි. එනිසා භාෂණයේ නිදහස බැහැර කරන්න පුළුවන්කමක් නැහැ. නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට තිබිය යුතුයි. අපි ස්වයං වාරණයට ලක්ව නිවැරදි තොරතුරු සමාජගත කිරීම අවශ්‍යයි. විකාශන අධිකාරි පනතේ නීති රීති මාලාව සකස් කරන්නේ විකාශකයන්ගේ සංගමයයි. ආණ්ඩුවේ කිසිදු මැදිහත්වීමක් මේ සඳහා නැහැ. මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන සීමා කරන්නේ නැහැ. බලපත්‍ර ඒ ආකාරයෙන්ම ලබාදෙනවා. නමුත් ඔවුන් ඉදිරිපත් කරන තොරතුරු ස්වාධීන කමිටුවකින් සොයා බැලිය යුතුයි. පසුගිය කාලයේ ඇතැම් මාධ්‍යවලින් සිදු වූ හානිය නැවත සිදු වෙන්න දෙන්න බැහැ.

මේ රටේ මෙන්ම විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් සේවයක් කරන විට මඩ ප්‍රචාර එල්ල වීම සාමාන්‍ය දෙයක්. මම කිසිදු දිනෙක ජාවාරම්කරුවන් සමඟ ඩීල් දාලා නැහැ. සමාජ මාධ්‍යවල පළ වන පුවත්වල කිසිදු පදනමක් නැහැ. මම ජාවාරම්කරුවන්ට යටවෙලා කටයුතු කරනවා නම් ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රවෘත්ති පළ විය යුතුයි. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ යුතුයි. නමුත් මට විරුද්ධව කිසිදු පැමිණිල්ලක් නැහැ. පදනම් විරහිත ලෙස මාධ්‍යවල ප්‍රවෘත්ති පළ වීම වළක්වා ගැනීමට තමයි විකාශන අධිකාරි පනත අවශ්‍ය වෙන්නේ. පසුගිය කාලය පුරාම නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශ රැකියා ආයතන විශාල ප්‍රමාණයක් තහනම් කළා. මම ඔවුන් සමඟ කටයුතු කරනවා නම් ඒවා තහනම් කරයිද? පුද්ගල ගෞරවයට හානියක් නොවන ආකාරයෙන් මාධ්‍ය කටයුතු කරන්න අවශ්‍යයි.

Previous articleදේශීය ණය ප්‍රශස්තරණය සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ
Next articleආණ්ඩුව ව්‍යාපාර කිරිමේ ආදීනව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here