Home අද 18 ට වැඩි සැමට මෙන්ම දේශපාලනය පිවිසන සැමටත් බදු ලිපිගොණු

18 ට වැඩි සැමට මෙන්ම දේශපාලනය පිවිසන සැමටත් බදු ලිපිගොණු

459
0

18 ට වැඩි සැමට මෙන්ම දේශපාලනය පිවිසන සැමටත් බදු ලිපිගොණු

  • ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියේ නව ප්‍රවණතා මෙන්න

රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේවනවිට දැවැන්ත කතාබහක් නිර්මාණය වී තිබේ. බදු බර වැඩි බවත් බදු අඩුකරන ලෙසත් වෘත්තිතයෝ ඇතුළු බොහෝදෙනා ඉල්ලා සිටියි. ඇතැමුන් පවසන්නේ බදු අයකිරීමක් නොකළ යුතු බවයි. සැබැවින්ම රටක බදු ප්‍රතිපත්තියක් ක්‍රියාක්මත විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව  තවත් විද්වත් කතිකාද ඒ අතර සිදුවේ. කෙසේ වෙතත් පවතින බදු ප්‍රතිපත්තිය වෙනුවට නව බදු ක්‍රමයක් හදුන්වාදීමට රජයේ අවධානය ද යොමුව තිබීම විශේෂ කරුණකි. ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තියට ආරම්භයේදී බොහෝ දෙනා විරෝධය දැක්වුවද ක්‍රමයෙන් එයට එකඟ වන බවත් දක්නට ලැබුණු. කෙසේ වෙතත් රජය පසුගියදා ප්‍රකාශ කළේ නව බදු ප්‍රතිපත්තිය යට‌තේ රටේ ජනතාවගෙන් ජනවාරි මාසයේ සිට එකතු කරගත් බදු හේතුවෙන් රට යම් මට්ටමකින් හෝ යථාතත්වයට පත්කරගැනිමට හැකිවු බවයි.  පිළිවෙලකට සිදුවන බදු ක්‍රමය පිළිබඳව අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ ද සැලකිල්ලට ලක්වී තිබුණි.

 

බදු ප්‍රතිපත්තියේ වෙනසක්

 

මාස 06 ක් පමණ ක්‍රියාත්මක වු බදු ප්‍රතිපත්තිය යම් ආකාරයකින් වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව අවුරුදු 18 වැඩි සැමට බදු ලිපි ගොණු ආරම්භකිරීමට රජය තීරණය කර ඇත. එමෙන්ම මාසික ආදායම ලක්ෂයට වැඩි පුද්ගලයින් සේම විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයින්හට ද බදු ලිපි ගොණු ආරම්භකරන ලෙස රජය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ. මෙය නව ප්‍රවනතාවක් වන අතර එය සාධනීය ලක්ෂණයකි. දියුණු රටවල් සියල්ලම බදු අයකරන අතර එම බදු ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්ද පැහැදිලි ක්‍රමවේදයක් ඇත.

නව බදු අයකිරීමට යෝජනා ඉදිරිපත් වු දවසේ සිටම බොහෝදෙනා ප්‍රකාශ කළ කාරණය වුයේ අයකරනු ලබන සෘජු බදු ප්‍රමාණය වැඩිකරන ලෙසත් වක්‍ර බදු ප්‍රමාණය අඩු කරන ලෙසත්ය . මේවනවිට ලංකාවේ වක්‍ර බදු 80෴ කට වැඩි ප්‍රමාණයක් අයකරන අතර සෘජු බදු අයකරන්නේ 20% ටත් අඩුවෙනි.

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුයේ මෙවනි අදහසකි.

“දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තිබුණු රට හැටියට අපි 2022 දී වාර්තා වුණා. දළ දේශිය නිෂ්පාදිනයට සාපෙක්ෂව අපේ ආදායම තිබුණේ 08% යි. අපේ වියදම 20% ක් වුණා. මේක තුළනය කරගැනීමට නොහැකිවීම නිසා තමයි පහුගිය කාලේ ලොකු අරගල පවා ඇතිවුණේ. අපේ රාජ්‍ය ආදායමේ 80% ක් වක්‍ර බදු , සෘජු බදු තිබෙන්නේ 20% යි.  මේක හැමෝම දන්න කරුණක්. පුරවැසියා කුමන ආදායම් පරතරයක හිටියත් මේ වක්‍ර බදු අයවෙනවා. මේ නිසා එය සාධාරණ බදු ලෙස හදුන්වන්න බැහැ. සෘජු බද්ධ කියන්නේ ගෙවිය හැකි පුද්ගලයින්ගෙන් අයකරන බද්ධක්.  2022 බදු ආදායම රුපියල් බිලියන 1979 ක්. එයින් බිලියන 400 ක් පමණයි සෘජු බදු ලෙස අපි අරගෙන තිබෙන්නේ. අනිත් බිලියන 1600 ම ගෙවා තිබෙන්නේ සමස්ත ජනතාව. මොකද වක්‍ර බදු අය කිරීමේදී එක වේලකට රුපියල් 10 000 ක් වියදම් කරන මනුස්සාගෙනුයි පොල් සම්බෝලයි බතුයි කන මනුස්සයාගෙනුයි දෙදෙනාගෙන්ම අපි අයකරන්නේ එක සමාන බද්ධක්. මේතත්වය වෙනස් කිරීමේ සටනක අපි නිරතවෙලා ඉන්නවා.  සැමට බදු ලිපිගොණුවක් ලබාදෙනවා කියන එක අපේ අයවැය යෝජනාවක්. මෙකෙන් අදහස් වෙන්නේ නැහැ හැමෝගෙන්ම බදු ගන්න යනවා කියන එක. බදු ගෙවන්න බැරි පුරවැසියෝ තමයි මේ රටේ වැඩිපුර ඉන්නේ. අපි ඔවුන්ට උදව් කළ යුතුයි. රජයේ සුබ සාධන ලබාදෙන්නත් බදු ලිපි ගොණුවක් අවශ්‍යයි. මේ අනුව සෘජු බදු 40% සහ වක්‍ර බදු 60 % ගේන්න අපි උත්සහ කරනවා. මෙයින් සාමාන්‍ය ජනතාවට ලොකු සහනයක් ලැබෙනවා.” යනුවෙනි. රජයේ එම ආකල්පය සහ තීරණය එකඟ විය හැකි මට්ටමේ පවතින එකකි. එය එලෙසම ක්‍රියාත්මක වන්නේනම් රටේ ආර්ථිකයට පුරවැසියාගේ දායකත්වය ලබාගැනීම පහසුවනු ඇත.

සෘජු බදු වැඩිවීම

උපයන විට ගෙවීමේ බදු ක්‍රියාත්මක කිරීම මේවනවිට යම් මට්ටමකින් සාර්ථකව සිදුවන බැවින්  සෘජු බදු ප්‍රමාණය පෙර වසරට වඩා වැඩිවී ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී තිබුණි. මේවනවිට සෘජු බදු 30% දක්වා වැඩි  තිබේ .  ඒ අනුව මේවනවිට  බිලියන 200 වැඩි ප්‍රමාණයක් සෘජු බදු ලෙස අයකරගන්නා තත්වයට රජය යොමුවී ඇත.

බදු නොගෙවීම

2022 වසරේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ‌ඩොලර්  3268 කි. එය  රුපියල් වලින්  1,060 654 කි. එසේ උවද රටේ  බදු ලිපිගොණු ඇත්තේ  250,200 ක් පමණි . මෙය විය නොහැකි තත්වයකි. ඒක පුද්ගල ආදායම පිළිබඳ සලකා බැලීමේදී අවම වහයෙන් බදු ලිපිගොණු ලක්ෂ 10 ක් හෝ  තිබිය යුතුය. ඒසේ උවද බදු පැහැර හරින්නන් සිටින බව මේවනවිට පැහැදිලිව ඔප්පුවී ඇත. මොවුන් රාජ්‍ය ආදායමට දායක කරගත යුතුය. රටේ ගොඩගැනීමේ වගකීම පාලකයාට මෙන්ම පුරවැසියාටද ආදාළය.

දේශපාලඥයින්ටත් බදු ලිපිගොණු

රජයේ නව තීරණය සමග දේශපාලඥයින් සම්බන්ධයෙන්ද බදු ලිපිගොණු ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ 225 සඳහාම බදු ලිපිගොණු ලබාදීම ආරම්භකර ඇත.  එමෙන්ම ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන සියලුදෙනා පාර්ලිමේන්තුවට, පළාත් සභාවට ,පලාත් පාලන ආයතන වලට  ඉදිරිපත්වීම සඳහා මැතිවරණ වලට ඉදිරිපත් වන සියලුදෙනා නාමයෝජනා භාරදෙන විට වත්කම් බැරකම් ප්‍රකාශයට අමතර බදු ලිපිගොණුව භාරදිය යුතු බවට නීතියක් ගෙනඒමටද රජය සුදානම් වේ. එමෙන්ම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලවල සියලුදෙනාද ජුලි මාසයේ සිට  බදු ලිපිගොණු ආරම්භකළ යුතු බව දැනුම්දී තිබේ.  මේ සියල්ල සුබවාදී ප්‍රතිචාරය.

18 ට වැඩි සැමට බදු ලිපිගොණු

2024 ජනවාරි 01 දායින් පසුව 18 වැඩි සියලුදෙනාට බදු ලිපිගොණුවක් ආරම්භකළ යුතු බව මේවනවිට රජය දැනුම්දී තිබේ. ලිපි ගොණු ආරම්භකළද සියලු දෙනා බදු ගෙවිය යුතු නැති බවද ආණඩුව සහන ලබාදීමට ද බදු ලිපිගොණුව භාවිතා කරන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

බදු වලට බය වීම

බදු ගෙවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ඇත්තතේ දුර්මතයකි. අකමැත්ති. ඒසඳහා පාලකයින්ගේ ක්‍රියාකලාපද හේතුවී තිබේ. මේනිසාම බදු සම්බන්ධයෙන් දැනුම්දී ලියුමක් ලැබුණද බිය වන තත්වයක් උද්ගතවි තිබේ.  බදු වලින් ගැලවිමට උපදෙස්  ගැනීමට උපදේශකයෝ පසුපස ගොස් ගෙවීමට ඇති බදුවලට වඩා විශාල මුදලක් විනාශ කරගන්නවා. අවස්ථාද බොහොමයක් ඇත. මේ හේතුවෙන් මෙම බිය නැතිකරගැනීම අනිවාර්යෙන් කළ යුතුය. බදු අයකිරීම සම්බන්දයෙන් රජයේ මතය මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙසේ පැවසීය,

“අලුත් බදු ලිපිගොණු හදුන්වලා දෙද්දි කතාකරන්නේ 2022 2023 වරෂවලදී ලැබු ආදායම් සහ වියදම් ගැන පමණයි. මේක ස්වයං ඇස්තමේන්තු බදු ක්‍රමයක්. අදාළ පුද්ගලයාටම බදු සම්බන්ධ විස්තර  ලබාදෙන්න , තමන්නේ ආදායම වියදම ලාභය අලාභය පෙන්වා දෙන්න පුළුවන්. තමන් හරියාකාරව තමන්ගේ ගිණුම් පවත්වාගෙන යනවානම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ.  බදු ගෙවිය යුත්තෙක්ද කියා තොරතුරු දැනගන්න අවශ්‍යනම් මේ සතියේ සිට දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් දැනගන්න පුළුවන්. යනුවෙන් හෙතෙම පැවසීය.

ගෙවන බදු වැය වෙන හැටි

ලබාගන්නා බදු ආදායම වැය කරන ආකාරය පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක් ඇති අතර මේ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙසේ පැවසීය,

“ලබාගන්නා බදු ආදායම සියල්ලම යන්නේ ඒකාබද්ධ අරමුදලට. මේ අරමුදල ප්‍රවේශයෙමෙන් වියදම් කරන බව රජය ප්‍රකාශ කර තිබෙනවා. අපි මුදල් අනුමත කරන්නේ ගැඹුරු සොයාබැලීමක් කරලායි.   පාසල් දරුවෝ ලක්ෂ 42 ක් ඉගෙන ගන්නේ බදු මුදල් නිසා . රෝගීන් ලක්ෂ 50 ක් නොමිලයේ ප්‍රතිකාර ගන්නේ මේ බදු නිසා . ආබාධිත පවුල් , වැඩිහිටින් , සමාජ සුබසාධන පවුල් ලක්ෂ 25 ක් ජීවත් වෙන්නේ බදු මුදල් නිසා . මේ නිසා ඔ‌බේ බදු මුදලට සැබෑ සාධාරණය සිදුවෙනවා.” යනුවෙනි.

සැබැවින්ම දියුණුයි කියා සලකන සෑම රටකම ඒක පුද්ගල බදු අයකිරීමේ සංයුතිය ලංකාවට වඩා ඉහළ මට්ටමක පවතී. ලංකාව සංවර්ධන මට්ටමට ලගාවීමට නම් බදු ලබාගැනීම ක්‍රමවත් විය යුතු අතර සෘජු බදු ප්‍රමාණය වැඩිවිය යුතුවේ.   එමෙන්ම ලබාගන්නා බදු  මුදල් ඵලදායි ලෙස වියදම් කිරීම රජයේ වගකිමකි . එසේම රට අගාධයකට වැඩි ඇති අවස්ථාවේ හැකි  ආකාරයෙන් උදව් ලැබිය යුත්තන්ට උදව්කරන්න රාජ්‍ය ආදායමට දායක වෙන ශක්තිමත් පුරවැසියෙකු වගකීම ඉටුකිරීමට පුරවැසියෝද සුදානම් විය යුතුය.

 

Previous articleලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක සුබසාධන ආධාර
Next articleදේශීය ණය ප්‍රශස්තරණය සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here