Home අද තව පෝය දෙකකින් සජබෙට වෙන්න යන දේ

තව පෝය දෙකකින් සජබෙට වෙන්න යන දේ

703
0

සජිත් කියන්නේ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් වගේ කෙනෙක්, තව පෝය දෙකක් යන්න කලින් සමඟි ජන බලවේගයේ බාගෙට බාගයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඔඩොක්කුවට යනවා යනවාමයි, ඒ ගැන සහතිකයි යැයි සමඟි ජන බලවේගයේ උපසභාපති පී. හැරිසන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පී. හැරිසන් මහතා සමඟි ජන බලවේගයේ උපසභාපති, අනුරාධපුර බටහිර ආසන සංවිධායක, සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජික යනාදි සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය වන බවට කරුණු දැක්වීම සඳහා මේ මාධ්‍ය හමුව පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා:

“මම අවුරුදු 13කට අධික කාලයක් අනුරාධපුර බටහිර ආසන සංවිධායකවරයා හැටියට කටයුතු කරනවා, මැතිවරණ ගණනාවකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ මැතිවරණවලදී සමඟි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයේත් කටයුතු කෙරුවා. මම 1987 ඉඳලා දේශපාලනයයට ඇවිල්ලා, දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගෙන් ආරම්භ කරපු මේ ගමන, මම අද වෙනකන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් වැඩ කෙරුවා. හැබැයි දිගින් දිගටම පක්ෂයේ ගන්නා ක්‍රියාමාර්ග ගැන අපට සෑහීමකට පත්වෙන්න බෑ. පෞද්ගලිකව අපේ දේශපාලන වැඩවලටත්, ඒ වගේම රට වෙනුවෙන් විපක්ෂ නායකතුමා ගන්නා තීන්දු ගැනත් අපිට සෑහීමකට පත් වෙන්න බෑ.

“විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආන්දෝලනයට තුඩු දී ඇති ජෙරොම් දේවගැතිවරයා සමඟද සම්බන්ධකම් පැවැත්වූ බවට සැකයක් පවතින බැවින් ඔහු සම්බන්ධයෙන් සිය ස්ථාවරය හෙළි කළ යුතුයි. මේ දේවගැතිවරයා කරන ප්‍රකාශ නිසා ආගමික සහ වාර්ගික සහජීවනයට බාධා ඇති විය හැකියි. විපක්ෂ නායකතුමා මේ ගැන නිහඬ ඇයි කියලා අපිට හිතෙනවා.

“මම සමඟි ජන බලවේගයේ උපසභාපති, අනුරාධපුර බටහිර ආසන සංවිධායක, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක්. මම ඒ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වුණා. ඒ විතරක් නෙමෙයි මගේ පිටිපස්සේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා, අපේක්ෂකතුමන්ලා ඉන්නවා. මම ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 100ක් එක්ක තව සති දෙකකින් මාධ්‍යය ඉදිරියට එන්න ලෑස්තියි. ඒ වගේම තව පෝය දෙකක් යන්න ඉස්සරලා සමඟි ජන බලවේගයේ බාගෙට බාගයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඔඩොක්කුවට යන එක නවත්වන්න බෑ.

“සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ හරියට නිකං අලියා ගිලපු දිවුල් ගෙඩිය වගේ. රට වෙනුවෙන් කරුණාකරලා එකතු වෙන්න. තව අවුරුද්දක් එකහමාරක් යන කල් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ අවස්ථාව දෙමු. රනිල් වික්‍රමසිංහ කියන්නේ වැඩපිළිවෙළක් තියෙන නායකයෙක්. සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ හක්කේ බුදු රැස් බොක්‌කේ දඩ මස්. හැම වෙලේම බලන්නේ තමන් ගැන විතරයි.”

Previous articleවිදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් නිවාස ව්‍යාපෘති
Next articleරටට මොකක්ද වුණේ කියලා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here