Home අද  භික්ෂුන්වහන්සේලා අනුන්ගේ රූකඩ බවට පත්වෙලා

 භික්ෂුන්වහන්සේලා අනුන්ගේ රූකඩ බවට පත්වෙලා

669
0

දේශපාලනය තුළ භික්ෂුවගේ චරිත කෙසේ ස්ථානගත විය යුතුද යන්න පිළිබඳ ස්ථාවර අදහසක් රටතුළ නොමැති අතර මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත්වෙමින් පවති. ඇතැම් අවස්ථාවල භික්ෂුන් දේශපාලනයේ නොසිටිය යුතුයි පවසන පිරිසම භික්ෂුන්වහන්සේලා සමාජ ප්‍රශ්න වලට මැදිහත් විය යුතුයි පවසන අවස්ථාද තිබේ. භික්ෂුන්වහන්සේලා සහ දේශපාලනය පිළිබඳ මේදිනවල වැඩිවශයෙන් කතාබහට ලක්වන බැවින් මෙම තත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට පුජ්‍ය මිස්සක කමලසිරි හිමියන් සමඟ සාකච්චා කළෙමු. රාජ්‍ය සාහිතය සම්මානය දිනාගත් “මිහිඳු ගිරෙන් හිම ගිරට” කෘතිය , “ශාසන වංශය සහ රාස්සගල පාර්ශවය” , “මෙසායා” ආදි කෘති ගණනාවක් රචනාකර ඇති උන්වහන්සේ මේවනවිට ඇමරිකාවේ මිනසෝටා හි මෙත්තා භාවනා මධ්‍යස්ථානවාසී භික්ෂුවක් ලෙස කටයුතු කරයි. මෙම ලිපිය එම සාකච්ඡාව ඇසුරෙන් සකසා ඇත.

 

අතීත සිදුවිමක්

 

භික්ෂුන්වහන්සේලා සහ දේශපාලනය පිළිබඳ මෙම  සාකච්ඡාවට අතීත සිදුවීමක් සඳහන්කර යොමුවීම වැදගත් කියා මම හිතනවා. මේ සිදුවිම උනේ මීට හරියටම වසරකට පමණ පෙර.  ලංකාවේ සිදුවු අරගලය කාලසීමාවේදි  දේශපාලන පක්ෂ නායකයින් සහ ආගමික නායකයින් එකතුව පැවැත්වු සාකච්ඡාවකදී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගීවු නියෝජිතයා විසින්, ආගමික නායකයින් දේශපාලන කරුණුවලට මැදිහත්වීම සම්බන්ධයෙන් දැඩි විචේනයක් සිදුකළා. ආගමික නායකයින් ලෙස සියලුදෙනා පන්සල් පල්ලි කෝවිල් වලට ගොස් මිනිසුන්ගේ හිත් සනසන වැඩකටයුතු කරන ලෙසත් දේශපාලනය නොකරන ලෙසත් එහිදි  ඔහු  පැවසුවා. ඒඅවස්ථාවේදී එතැන සිටි සියලුම ආගමික නායකයින් ඒප්‍රකාශට ප්‍රශ්න කළා.  මුස්ලිම් සහ හිංදු පුජකවරුන්  පැවසුයේ සමාජ ප්‍රශ්න වලට මැදිහත්වෙන්න ලංකාවේ භික්ෂුන්වහන්සේලාට අයිතියක් තිබෙනවා වගකීමක් තිබෙනබවයි. ප්‍රධාන ආගම ලෙස භික්ෂුන්වහන්සේලා අර්බුද   අවස්ථාවලදී නායකත්වය දිය යුතුයි කියන කාරණය ඔවුන් පෙන්වා දුන්වා . භික්ෂුන්වහන්සේලා ඒසඳහා නිවැරදි නායකත්වයක් ලබාදෙනවිට අන්‍යආගමිකයන් ලෙස ඔවුන්ද ඒසඳහා ඒකතුවන බව ඔවුන් පැවසුවා. කිතුනු ආගම නියෝජනය කරමින් සිටි සිරිල් ගාමිණි පියතුමා එහිදී පැවසුවේ මෙහෙම අදහසක් “ඔබතුමා අපිට දේශපාලනයට එන්න එපා කියන කාරණය හොදට තේරෙනවා. එහෙම උනාම තමයි ඔබතුමාලට බාර් පර්මිට් දෙන්න පුළුවන් හොරකම් කරන්න පුළුවන් බෝම්බ ගහන්න පුළුවන්වෙන්නේ” කියලා ඔහු කිව්වා. ආගමික නායකයින්ගේ මේ ප්‍රවේශවල මතුවන අර්ථයෙන් කියවෙන්නේ මැදිහත්වෙන්න අවශ්‍යයි කියලා. මැදිහත්වීම පිළිබඳව සාධාරණ තත්වයක් තිබෙනවා කියලා එතැනදී අපිට පේනවා. එදා එහෙම කියපු ඒමහත්තයට අවුරුද්දකට පසුව දෛවෝපගතව තමන්ගේ පක්ෂයේ ප්‍රධානියා හැටියට භික්ෂුවක් පත්කරගන්න  වෙනවා. මේ කාරණයෙන් අදහස් වන්නේ කුමක්ද?. මේවට තියෙන්නේ සාපේක්ෂ අර්ථ කියන දේ තමයි මෙතැනිදී අදහස් වෙන්නේ. තමන්ගේ පක්ෂය මුලික වුන ආණ්ඩුවට විරෝධය එනවිට ආගමට දේශපාලනය හොද නැහැ කියලා කිව්වත් තමන්ගේ පක්ෂයේ අර්බුදය එනවිට ආගමික නායකයෙක් පක්ෂයේ ප්‍රධාන තනතුරට පත්කරගන්නවා. මෙවැනි ප්‍රශ්න සඳහා අපිට නිශ්චිත අර්ථ සොයාගැනීමට ඇති නොහැකියාව පිළිබඳ අපිට දැන් පැහැදිලියි.  මෙවැනි ප්‍රශ්නවලට අපි උත්තර නැතිව හිරවෙලා තිබෙනවා. ආගම සහ දේශපාලනය සම්බන්ධයෙන් එදා ඒ ඇතිවුනේ සිදුවුනේ හොද සංවාදයක්.

 

ලංකාවේ දේශපානය

 

ලංකාවේ දේශපාලනය ගැන කතාකරන්න කලින් ලෝකයේ දේශපාලනය සිදුවන ආකාරය ගැන අවබෝධයකින් මේකාවට ප්‍රවේශවීම වැදගත්. ලෝක දේශපාලනයේ දී විවිධ ක්‍රම ලෝකයේ භාවිතා වෙනවා රාජාණ්ඩු ,කොමියුනස්ට්වාදීක්‍රමය, පක්ෂ ‍දේශපාලනය එඅතරින් කිහිපයක්. ලංකාවේ සමාජයේ එක එක තැන්වල දේශපාලනයේ ස්වරූපය වෙනස් වෙනවා. විවිධ පුද්ගලයින් දේශපාලනය කරන ස්වරූපය වෙනස් වෙනවා.

ත්‍රස්ත්‍රවාදය පැවති කාලයේ දකුණේ දේශපාලනය බවට පත්වුනේ ත්‍රස්ත්‍රවාදය පරාජය කිරීම කියන කාරණය. ඒකාලයේ තමන්ට කියලා වෙනම රටක් හදාගැනීම උතුරේ ජනතාවගේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වෙලා තිබුණා

බෞද්ධයන්ගේ දේශපාලනය සිංහල බෞද්ධ රාජයක් හදාගැනීම , මේ රට මුස්ලිම් රටක් බවට පත්කර ගැනීමට මුස්ලිම් ජාතින් දේශපාලනය තිබෙන්න පුළුවන්. ක්‍රිස්ත්‍රියානි කතෝලික ආගම්වලත් එවැනි අරමුණු තිබෙන්න පුළුවන්. මේනිසා විවිධ පුද්ගලයින්ගේ දේශපාලනය විවිධයි.  මෙවැනි දේ සඳහා පුරවැසියෝ සම්බන්ධයෙන් විය යුතුද ?සම්බන්ධ වන්නේ කෙසේද කියන කාරණා නිශ්චිතව කියන්න අමාරුයි.

 

සමාජ ප්‍රශ්න සහ භික්ෂුන්වහන්සේලා

 

පවතින තත්වය තුළ භික්ෂුන් වහන්සේලාට දේශපාලනය සුදුසු නැහැ කියන පුද්ගලයෝම ඇතැම් කාරණාවලදී “භික්ෂුන්වහන්සේලා නිශ්ශබ්දව ඉන්නවා” , “වගකීම ඉටුකරන්නේ නැහැ”, “මහනායක හාමුදුරුවරු ඉන්නේ මොකටද”, “මහනායක හාමුදුරුවරු බුදිද?” වගේ ප්‍රශ්න මතු කරනවා. ඇතැම්වෙලාවට හාමුදුරුවරු මේවට සම්බන්ධ නොවිය යුතුයි කියලා කියන පුද්ගලයාම තවත් වෙලාවක සම්බන්ධ විය යුතුයි කියලා කියන්න පුළුවන්.    අපි දේශපාලනයට සම්බන්ධ නැහැ කියලා ඇතැම් කාරණාවලදී ප්‍රකාශ කිරිමත් දේශපාලන ප්‍රතිපත්තියක් වී තිබෙන බව අනාවරණය වෙනවා. ඒවායේ ප්‍රතිචාර පැමිණ තිබෙනවා. මේ කාරණා නිශ්චිත නැහැ කියන දේ තමයි ඒකෙන් පෙනෙන්නේ. සමාජයක් හැටියට අපි මෙතැනදි අර්බුදයක ඉන්නේ. නිශ්චිතව නිරවුල්ව මේ කාරණය තේරුම්ගන්න බැරිකමේ ප්‍රශ්නය මේ තිබෙන්නේ. මේක ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේම පොදු තත්වයක් හැටියටයි මම මේක දකින්නේ

 

 

භික්ෂුවගේ දේශපාලන  මැදිහත්වීම

 

ලංකාවේ භික්ෂුව දේශපාලනයට මැදිහත්වීමේ ඉතිහාසයක් තිබෙනවා. එහි වර්ග දෙකක් හදුනාගන්න පුළුවන්. සමාජය අර්බුදයට යන අවස්ථාවේ ආක්‍රමණ එල්ලවීමේදී රට අරාජිකවන අවස්ථාවේදී භික්ෂුන්වහන්සේලා මැදිහත්වෙලා තිබෙනවා. මේ ලක්ෂණය ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා.

ඒවගේම රජතුමාගේ උපදේශකයින් ලෙස භික්ෂුන්වහන්සේලා දේශපාලනයට මැදිහත්වෙලා තිබෙනවා.  19 වැනි සියවසේ ආරම්භය වන විට රටතුළ ඇතිවු ආරජික තත්වය හෙවත් ඉංග්‍රිසි රජු ලංකාවේ රජු ලෙස භාරනොගැනීමේ තීරණයට  තර්කවලින් තොරව පොදුවේ භික්ෂුන්වහන්සේලා එකඟ වෙනවා. එම අධිරාජයට එරෙහි මතවාදයක සිට දේශපාලනය කරනවා. එදා සිට අද වෙනකම් ඒක නතරවෙලා නැහැ. අඛණ්ඩව සිදුවෙනවා

 

අභ්‍යන්තර ප්‍රශ්නවලදී මත දෙකක්?

 

බාහිර සතුරකු සිටින විට භික්ෂුවහන්සේලාගේ දේශපාලන මැදිහත්වීම පැහැදිලියි. නමුත් අභ්‍යන්තර සතුරන් සිටිනවිට අභ්‍යන්තර අර්බුද තිබෙන විට භික්ෂුන්වහන්සේලාගේ දේශපාලනයත් අවිනිශ්චිත වෙනවා.

ඒ සඳහා ඉතිහාසයෙන් උදාහරණයක් කියනවානම් 18 වැනි සියවසේ මැද භාගයේදී කීර්ති ශ්‍රි රාජසිංහ රජු බලයෙන් පහකරන්නත් ඒවෙනුවට තායි කුමරෙක් රජ කරන්නත්   භික්ෂුන්වහන්සේලා එක පිරිසක් තීරණය කරනවා. එතැනදී පොදු අරමුණකට භික්ෂුන්වහන්සේලා පැමිණියේ නැහැ. බෙදුනා. තමන්ට හිතවාදී පක්ෂ කණ්ඩායම බලයට ගෙන ඒමටත් ඊට විරුද්ධ කණ්ඩායම බලයෙන් පහකිරීමත් කියන කාරණයේදී භික්ෂුන්වහන්සේලා විවිධාකාර බෙදීම්වලට ලක්වෙනවා. ඒතැනදී භික්ෂුන්වහන්සේලා ක්‍රියාත්මක වෙන්නෙ පොදු සංඝ සම්මුතියක් හැටියට නෙවෙයි.  ලංකාවේ දේශපාලණික තීන්දු තිරණ සම්බන්ධයෙන් සංඝ සම්මුතියක් නැහැ. පෞද්ගලික මතවාද තමයි තිබෙන්නේ. ඒහැරෙන්නේ බෞද්ධ මතය මෙයයි භික්ෂු ශාසනයේ මතය මෙයයි කියා දෙයක් නැහැ. අපි දකින අර්බුද මතුවෙන්නේ මෙන්න මේ තත්වය නිසයි.

තවත් උදාහරණයක් කියනවානම් 1940 දී පමණ කැළණිය විහාරයට රුස්වන කැළණිය සහ කෝට්ටේ පාර්ශවයේ භික්ෂුන්වහන්සේලා ලංකාව ඉංග්‍රිසි අධිරාජයෙන් නිදහස් රාජ්‍යයක් විය යුතුයි කියලා සම්මත කරගන්නවා. නමුත් ඒ අවස්ථාවේ නුවර අස්ගිර සහ මල්වතු සංඝසභා දෙක ආණ්ඩුකාරවරයාට දැනුම්දෙනවා එලෙස භික්ෂුන් පිරිසක් තිරණයක් ගත්තාට එය උඩරට සංඝසභාවල මතය නෙවෙයි කියලා.  වල්පොල රාහුල හිමි රචනා කළ භික්ෂුවගේ උරුමය පොතේ පැහැදිලිව සඳහන්ව තිබෙනවා. පොදු නිශ්චිත මතවාදයක් නැතිකම තුළ භික්ෂුන්ට තිබෙන්නේ පෞද්ගලික මතවාදයක්. ඒවැනි තත්වයක් තුළ අපිට පෙනෙනන්ට තිබෙන්නේ අර්බුද.

 

 

දේශපාලනය කියලා කියන්නේ මොකක්ද?

 

අපි දේශපාලනය කියලා කියන්නේ අපේ රට පාලනය කරන විදිහ. ඒඅනුව බලන කල රට පාලනය කරන්න ව්‍යවස්ථාපිත ක්‍රමවේදයක් තියෙනවා. විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය කියන කුළුණු තුන මත පාලනය සිදුවිය යුතුයි කියන සංකල්පය තිබෙනවා.  මේමත දේශපාලනය කරනවිට ප්‍රශ්නය තිබෙන්නේ භික්ෂුන්වහන්සේලාට . මොකද මේ තුළ භික්ෂුන්වහන්සේලාට දේශපාලනය කරන්න තැනක් නැහැ.  අධිකරණය තුළ භික්ෂුන්වහන්සේලාට ඉඩක් නැහැ. ආගමික නායකයින්ගේ තීරණය අවසාන තීරණය කියලා ව්‍යවස්ථාවේ සඳහන් කරලා නැහැ. ඒ විදිහිට ආගමික නායකින්ගේ තීරණ පිළිබද මැදපෙරදිග ආගමික රාජ්‍යයන් තුල තිබෙනවා. ඒවගේම ටිබෙටයේ තිබුණා වගේ භික්ෂුන්වහන්සේලාට විධායක බලය ලැබෙන්නෙත් නැහැ. ලංකාවෙත් හාමුදුරුකෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතුයි කියලා මතයක් එකකාලෙක තිබුණෙනෙ. විධායක බලය භික්ෂුන්වහන්සේලාගෙ අතට ගත යුතුයි කියන අදහස මතයි ඒක ආවේ. ඊලගට තිබෙන්නේ ව්‍යවස්ථාදායකය. මෙතැන තමයි ආසන්නම ප්‍රායෝගිකව දේශපාලනයට මැදිහත්වෙන්න පුළුවන් තැන. ව්‍යවස්ථාදායකය තුළ භික්ෂුන්වහන්සේලා පහුගිය දශක කිහිපය තුළ අත්හදාබැලීම් කිහිපයක් කරලා තියෙනවා. මැතිවරණ හරහා සෘජුවම ව්‍යවස්ථාදායකයට ඇතුළුවීම කරලා තියෙනවා. බද්දේගම සමිත හාමුදුරුවෝ මුලින්ම පාර්ලිමේන්තුවට. ඉන් පසුව හෙල උරුමට මන්ත්‍රී ආසන 225 න් 09 ක් ලබාගන්නවා. එයින් එකක් පසුව පාඨලී චම්පිකට ලැබෙනවා. මේ අනුව ව්‍යවස්ථාදායකය තුළ ප්‍රායෝගිකව මැදිහත්වෙන්න ලැබෙනවා. එලෙස සෘජුවම මැදිහත්වීම වගේම ව්‍යවස්ථාදායකයට සහ විධායකයට  මැතිවරණවලදී භික්ෂුන්වහන්සේලාට අවශ්‍ය පිරිස පත්කරගන්නට කටයුතු කිරීම තමයි අද අපි දකින දේශපාලනය තුළ තිබෙන්නේ. මේකාරණය තමයි සමාජය ප්‍රශ්න කරන්නේ. වෙනත් කාරණාවලට හාමුදුරුවරු මැදිහත්වෙද්දි ප්‍රශ්නකරන්නෙ නැහැ. ඒවගේම හාමුදුරුවරු රජයෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයෝ ලෙස වගේම පරිපාලන සේවයේ ඉන්නවා. නමුත් එයත් ප්‍රශ්න කරන්නේ නැහැ. මෙතැනදී මගේ මත දෙකක් තිබෙනවා

 

ලංකාවේ ව්‍යවස්ථාදායක වරිගසභාවක්

 

ලංකාවේ ව්‍යවස්ථාදායකය වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම ව්‍යවස්ථාදායකයක් නම් භික්ෂුන්වහන්සේලා ව්‍යවස්ථාදායක තුළ සිටිය යුතුයි කියලා මම හිතනවා. මොකද  ‍ව්‍යවස්ථාදායකයේ වගකීම රටේ යහපැවැත්ම වෙනුවෙන් ව්‍යවස්ථා සහ නීති රීති පණත් සැකසීම.  අතීතයේ රාජ්‍ය අනුශාසක ලෙස භික්ෂුන්වහන්සේලා මැදිහත්වුණේ මේ කාරණය වෙනුවෙන්.  නමුත් අපේ රටේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. අපේ රටේ “ව්‍යවස්ථාදායකය” ව්‍යවස්ථාදායක් ලෙස නෙවෙයි තිබෙන්නේ. ලංකාවේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ වරිග සභාවක් එහෙම නැතිනම් එංගලන්තේ ක්‍රමයට සාමි මණ්ඩලයක් තිබෙන්නේ.  වරිග සභාවේ සිට උත්තර සාමි මණ්ඩලයට වර්ධනය වුන තැනක් විදිහට ලංකාවේ පාර්ලිමේන්තුව හදුන්වන්න පුළුවන්. ඒමොකද ලංකාවේ ජනවර්ග හැටියට කුල පදනම මත නායයෝ බිහිවෙලා ඉන්නේ. ඒකියන්නේ ගෝත්‍රික නායකයෝ ඉන්නේ. ප්‍රතිපත්ති අනුව ඡන්දෙ දෙන්නේ විකල්ප පක්ෂවලට විතරයි.  මේ විදිහට පාර්ලිමේන්තුවට එන අය ධනය බලය හිමි අය බවට පත්වෙනවා. නීතියේ ආධිපත්‍ය ඔවුන් යටතට ගන්නවා. මේනිසා ලෝඩ්වරු නැතිනම් සාමිවරු විදිහට මේ අය කටයුතු කරනවා. කැබිනට් මණ්ඩලයට පත්වෙන්නේ පාර්ලිමේන්තුවෙන් නිසා පාර්ලිමේන්තු එන්නෙම ඇමතිකමක් බලාගෙන. නමුත් ඇමරිකාවෙ  සෙනෙට් එකෙන් (පාර්ලිමේන්තුවෙන් ) පිට පුද්ගලයෝ කැබිනට් එකට පත්වෙනවා. ඇමරිකාවට ඇමතිලා නැහැ ඉන්නේ ලේකම්වරු. නමුත් ලංකාවේ මේ ක්‍රමයේ විකෘතියක් තිබෙන්නේ. මේ නිසා ව්‍යවස්ථාදායක තුළ  සිටිය යුතු සෑම ක්ෂේත්‍රයකම අය මෙයින් එළියට විසිවෙලා තිබෙනවා.

ලංකාව ඉතාම සාමකාමී සංවර්ධිත රාජ්‍යක් වෙනවානම් විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය හොද මට්ටමින් පවත්වාගෙන යනවානම් භික්ෂුන්ගේ දේශපාලන මැදිහත්වීම් අවශ්‍යවෙන්නේ නැහැ. ඊටවඩා ඵලදායි තැනකට ඔවුන්ට යොමුවන්න පුළුවන්. නමුත් තත්වය එහෙම නැහැ.

 

දේශපාලනයට මැදිහත්වන භික්ෂුන්වහන්සේලාගේ ගැටළු

 

දේශපාලනයට මදිහත්වෙන භික්ෂුන්වහන්සේලා තුළ බරපල ගැටලු ගොඩක් මම දකිනවා. මුලික වශයෙන් පරිනත නැතිකම ප්‍රධානම ගැටලුවක්.  තමන් කරන්නේ මොකද්ද කියලාවත් භික්ෂුන්වහන්සේලාට අවබෝධයක් නැහැ. ස්වාධීනත්වයක් නැහැ , දේශපාලනය ගැන හෝ ශාසනය ගැන හෝ පුරවැසියෙන් විදිහට ජනතාවගේ ප්‍රශ්න ගැන අවබෝධයක් තිබෙන්න අවශ්‍යයි. මෙලෙස අපරිනතවීමේ  ප්‍රතිඵලය තමයි භික්ෂුන්වහන්සේලා අනුන්ගේ රූකඩ බවට පත්වෙලා නැටවීම . එයින් එහාට දෙයන් නැහැ. ඒක ඉතාම අවසනාවන්ත තත්වයක්.

අතීතයේ හිටපු පරිණත භික්ෂුන්වහන්සේලාගේ අදහස් සහ ආකල්ප මේ භික්ෂුන්වහන්සේලාට ග්‍රහණය කරගන්න බැරිකමත් ප්‍රශ්නයක්. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ වල්පොල රාහුල හාමුදුරුවෝ දේශපාලනය සම්බන්ධයෙන් ඵලකරලා තියෙන අදහස් මොනවද කියලාවත් මේ දේශපාලනයට මැදිහත්වෙන හාමුදුරුවරු දන්නේ නැහැ.  එදා උන්වහන්සේලා දෙශපාලනය සම්බන්ධයෙන් ඉතාමත් විශිෂ්ට අදහස් දක්වලා තිබෙනවා. එම අදහස් ජාත්‍යන්තර වශයෙන් පවා සාකච්ඡාවට බදුන්කරගතහැකි ආකාරයේ අදහස්. නමුත් ඒවෙනුවට වර්තමානයේ බොදුබලය රාවණාබලය සිංහරාවය වගේ සංවිධාන මෙහෙයවපු අපරනත ආකල්ප ග්‍රහණය කරගත්තා. දේශපාලනයට මැදිහත්වීමේදි තිබෙන බරපතලම ප්‍රශ්නය ඒයයි. දේශපානය සම්බන්ධයෙන් පරිනත අවබෝධයක් ගත්තු කවුරුත් මට හමුවෙලා නැහැ. ඒනිසා තමයි අද වනවිට භික්ෂුන්වහන්සේලාගේ දේශපාලනය සම්බන්ධයෙන් අර්බුදයක් බවට පත්වෙලා තිබෙන්නේ. මේ නිසා භික්ෂුන්වහන්සේලා දේශපාලනයට සම්බන්ධ විය යුතුද නැද්ද කියන කාරණයට ඔව් නැහැ කියලා උත්තර නැහැ. දේශපාලනය කින්නේ අද භාවිතාකරන ක්‍රමවේදයටනම් එය කිසිසේත්ම සුදුසු නැහැ. එය නොකල යුතුයි කියන අදහසතමා මගේ අදහස වෙන්නේ.

නමුත් රටක් පවත්වාගෙන යන්න දේශපාලනය අවශ්‍යයි.එහෙම නැතිඋනොත් රටකට මොනවා වෙයිද? දේශපාලනය නරක වෙන්න පුළුවන් නමුත් මිනිස්සු හැටියට දැනට රටක් පාලනය සඳහා හොයාගෙන තියෙන හොදම ක්‍රමය තමයි දේශපාලනය කියලා කියන්නේ. කොහොම උනත් දේශපාලනය හරි විදිහට භාවිතාකිරීමේ වගකීම හැමෝටම තිබෙනවා.

 

උපුටාගැනීම – අද පුවත්පත

Previous articleශ්‍රී ලංකාව සංචාරය කිරිමට වඩාත් ආරක්ෂිතම රටක් වෙයි
Next articleමහින්දටයි, බැසිල්ටයි එරෙහි නඩුවට දින නියම වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here