Home අද දේශීය ආර්ථික ක්‍රම මඟින් රට ගොඩනඟන්න පුළුවන්

දේශීය ආර්ථික ක්‍රම මඟින් රට ගොඩනඟන්න පුළුවන්

609
0

මෙරට ආර්ථිකය අනාගතයේ සකස් විය යුතු ආකාරය කෙසේද යන්නත් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා දේශීය ආර්ථිකය සකස් විය යුතු අන්දම පිළිබඳත් ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, සමිත හෙට්ටිගේ මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ

 අපේ රට පසුගිය කාලයේදී විශාල ආර්ථික අර්බුදයකට ලක් වුණා. දැන් රට යම් තරමකට ස්ථාවරභාවයට පත් වී තිබෙන්නේ අ  එය ස්ථිර ස්ථාවරභාවයට පත් කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔබේ දැක්ම පැහැදිලි කළ හැකිද?

පසුගිය අවුරුද්ද තුළ රට ඉතාමත් පහළ අඩියකට වැටුණා. එයට හේතුව බවට පත් වුණේ රටේ ආර්ථික තත්ත්වය පහළට යෑම සහ විදේශ විනිමය හිඟයක් ඇති වීමයි. මේ තත්ත්වයට හේතු වූ ප්‍රධාන කරුණ බවට පත්වූයේ මේ ආර්ථික තත්ත්වය ඇති වීමට වගකිව යුත්තේ කවුද? ඒවාට විසඳුම් මොනවාද? කියන එක සොයා බැලිය යුතුයි. ඇතැම් අය මේ තත්ත්වයට විවිධ පාර්ශ්ව වගකිව යුතු බවට අදහස් මතු කරනවා. එහෙත් අද රට පත්ව තිබෙන තත්ත්වයට කෙටි කාලයක් තුළ ඇති වූ සහ සිදු වූ දේවල් විතරක් බලපානු ලබන බවට කෙනෙකු තර්ක කරනවා නම් ඒ අර්ධ සත්‍යයක් මිසක් සම්පූර්ණ සත්‍යයක් නොවෙයි. මූලිකවම අප රටක් විදිහට සමාජයක් විදිහට සකසුරුවම් ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැහැ.

සරල දිවි පෙවෙතක් ගැන අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා අපට රටක් විදිහට, සමාජයක් විදිහට තිබෙන අවශ්‍යතා සංකීර්ණ වුණා. එහි විපාකය වුණේ ආර්ථික වශයෙන් අපට ඔරොත්තු නොදෙන තරම් බරක් රට වෙත යොමු වීම. උදාහරණයක් විදිහට මම එක් කරුණක් පෙන්වා දෙන්නම්, අපේ සමහරු සාමාන්‍ය කාපට් පාරේ යන්න ෆෝවීල් වාහනයක් ගන්නවා. ඇත්තෙන්ම මේ වගේ වාහන ගන්නේ රළු භාවිතය සඳහායි. ඒත් මේ ඇත්ත තත්ත්වය මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා සිදුවන එකම දේ වන්නේ අපේ විදේශ විනිමය අනවශ්‍ය ලෙස විදෙස් රටවලට ඇදී යෑමයි. ඇත්තෙන්ම අපිට හැකියාව ලැබෙන්න ඕනෑ, අපේ අවශ්‍යතා මොනවාද කියල තේරුම් ගෙන වැඩ කටයුතු කරන්න. එහෙම වුණොත් අපට හැකියාව ලැබේවි, සකසුරුවම් ක්‍රම මඟින් දේශීය ආර්ථිකය නිසි විදිහට සහ ශක්තිමත් විදිහට ගොඩනඟා ගැනීමට.

මෙවැනි ප්‍රතිපත්ති මඟින් රටකට දියුණු වීමටත් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙන බවටත් ඔබ සඳහන් කරනවා. එලෙස ඉදිරියට ගිය රටවල් ගැන පැහැදිලි කළ හැකිද?

ආසියාවේ බොහෝ රටවල් දියුණු වුණේ ඔවුනටම ආවේණික ප්‍රතිපත්ති අනුගමනය කිරීම මඟිනුයි. අපේ කලාපයේ බොහෝ රටවල ඔවුන්ටම ආවේණික ආහාර ක්‍රම තිබෙනවා. තම රටට ආවේණික ක්‍රම අනුව වැඩ කරනවා. එහෙත් අපේ රටටත් ඒ විදිහේ ආවේණික රටා තිබුණත් ඒ ක්‍රම නිසි විදිහට අනුගමනය කරන්නේ නැහැ. එහි ප්‍රතිඵලය බවට පත්වන්නේ අනවශ්‍ය නාස්තිය ඇති වීම.

අපේ රටේ ආර්ථික කඩා වැටීමට මේ තත්ත්වය ද දැඩි ලෙස බලපානු ලැබුවා. එහෙත් අපේ රටේ එහෙම වුණාට කලාපයේ බොහෝ රටවල් දියුණු වුණේ පිරිමැසුම් ප්‍රතිපත්ති මඟිනුයි. දේශීයත්වයට තැන ලබා දී වැඩ කිරීම මඟිනුයි. උදාහරණයකට ඉන්දියාව ගනිමු. ඒ රට විශාල වුවත් තමන්ගේ දේශීයත්වය, සංස්කෘතිය මූලික කරගෙනයි වැඩ කළේ. ඉන්දියාව පමණක් නොවෙයි. එවැනි රටවල් ගණනාවක් අපේ කලාපය තුළ තිබෙනවා. අපිත් ඒ දියුණු වූ ක්‍රම ගැන අධ්‍යයනය කළ යුතුයි. ඒ අනුව වැඩ කළ යුතුයි. එහෙම වුණොත් අනාගතයේදී ණය ලබා ගැනීමේ ක්‍රමය කෙමෙන් අතහැර දේශීය ස්වයංපෝෂිත ආර්ථික රටාවක් වෙත යොමු වෙන්න පුළුවන්කම ලැබේවි.

ඔබ කියන්නේ අපේ රට නව මාවතක් ගැන කිසිදා කල්පනා නොකළ බවද?

හැට – හැත්තෑව දශකවල අපේ රට තුළ දේශීය දියුණු ව්‍යාපාරික රටාවක් සඳහා මූල­ාරම්භයක් සැකැසුණා. උපාලි විජයවර්ධන, ඥානම්, දාස වැනි ව්‍යාපාරිකයන් රට තුළ විශාල රැකියා අවස්ථා ඇති කළා, පමණක් නොවෙයි, අන්තර්ජාතිකව ද රටේ ව්‍යාපාරික කීර්තිය පැතිරෙව්වා. එහෙත් අපට ඒ රටාව ඉදිරියට පවත්වා ගෙන යෑමට හැකියවක් ලැබුණේ නැහැ. අවසානයේදී සරුංගලය, වෙසක් කූඩුව පවා ආනයනය කරන තැනකට රට පත්ව තිබුණා. ඒ විදිහේ තත්ත්වයක් තුළ රටක් විදිහට අපට ඉදිරියට යෑමට නොහැකි වීම ගැන පුදුමයට පත්විය යුතු නැහැ.

වර්තමානයේදී අපට ඔබ ඉහත සඳහන් කළ සරල ජීවන ක්‍රමය මෙන්ම දේශීය ආර්ථික ක්‍රමය නැවත ඇති කළ නොහැකිද?

අද රටේ ඉහළ තනතුරු දරන බොහෝ අය හැට – හැත්තෑව දශකවල ළමා කාලය, පාසල් කාලය ගත කළ අය නිසා ඔවුන්ට එදා තිබූ ක්‍රමය ගැන හොඳ අත්දැකීම් තිබෙනවා. ඒ නිසා ඔවුනට රට තුළ දේශීය රටාව සරල ක්‍රමය නැවත ඇති කිරීමටත් එය ප්‍රවර්ධනය කිරීමටත් හොඳ හැකියාවක් තිබෙනවා. එනිසා ඒ පරම්පරාව ඒ වගකීම සිය කරට ගන්න ඕනෑ. එහෙම වුණොත් අපට නව ක්‍රම ඔස්සේ රට දියුණු කිරීමටත් ආර්ථිකය ස්ථාවර කිරීමටත් හැකියාව ලැබේවි. මම කියන්නේ නැහැ නූතන හැමදේම නරකයි කියලා. ඒ සියල්ලේම හොඳ ලක්ෂණ එක මිටට ගෙන වැඩ කිරීම මඟින් අලුත් ක්‍රමයක් ඇති කරන්න පුළුවන්කම ලැබේවි.

ඒ වගේම හොඳ විනයක්, කැපකිරීමක් ඇතිව වැඩ කිරීම ඇතුළු කරුණු ද ඇතුළත් විය යුතුයි.

අද නිවෙසක් හැදුවත් එය හදන්නේ අධික වියදම් ඇතිවයි. ඒත් යුරෝපය, අමෙරිකාව, කැනඩාව වගේ රටවල නිවාස බොහොමයක් නිර්මාණය වෙලා තිබෙන්නේ ඉතාමත් සරල විදිහටයි. ගොඩනැඟිල්ල හදා, ඇතුළත පාර්ටිෂන් කරන ක්‍රමයක් අනුගමනය කරන්නේ. එහෙත් අපේ රටේ ඒ විදිහේ සරල රටා අනුගමනය කිරීමක් කරන්නේ නැහැ. වැඩිම වියදම් කරමින් ජීවිත කාලයම ණය වීමක් තමයි අපේ බොහෝ අය කරන්නේ. මේ විදිහේ වැරැදි රටා නිසා තමයි අපි වඩාත්ම ආර්ථික විදිහට අසරණ වෙන්නේ.

තාවකාලික ක්‍රම මඟින් කෙටි කාලීන සතුටක් විඳීම නිසා පොදුවේ අප රටක් විදිහට ලොකු පසුබෑමකට ලක්වෙනවා. අපේ විදේශ විනිමය එදා සිට අපේ රටෙන් පිටතට යෑමට එය ප්‍රධාන හේතුවක්. ඒ නිසා අප රටක් විදිහට නැවත යථාවත් වෙද්දී මේ ගැනද නිසි අවධානය යොමු කර වැඩ කළ යුතුයි.

අපට රටක් විදිහට දේශීය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටත් එමඟින් රට දියුණු කර ගැනීමටත් ගත හැකි සෙසු පියවර මොනවාද, ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

අප අද මුහුණ දී තිබෙන්නේ අවුරුදු පනහක – හැටක ප්‍රශ්නයක් වුවද අපට අවුරුදු දහස් ගණනක අතීතයක් තිබෙනවා. ඒ නිසා අප ඒ ගැනත් අවධානය යොමු කළ යුතුයි. අපට අපේ පැරැණි ශිෂ්ටාචාරය අනාගත දියුණුව සඳහා ද යොදා ගැනීමට හැකියාව තිබෙනවා.

එහෙමනම්, අපේ රට අද තියෙන තැනින් ඉදිරියට ගත යුතු මාර්ග මොනවාද ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

අපට රට දියුණු කළ හැකි හොඳම මාර්ගයක් විදිහට සංචාරක කර්මාන්තය පෙන්වා දෙන්න පුළුවන්. අපේ කලාපයේ තිබෙන මාලදිවයින වගේ රටවල් අපට වඩා අඩු සම්පත් ඇතිව සංචාරක කර්මාන්තය තුළ විශාල දියුණුවක් ලබා ගෙන තිබෙනවා. ඒ රටවල ප්‍රධාන ආදායම් මාර්ගය බවට සංචාරක කර්මාන්තය පත්ව තිබෙන්නේ විවිධ ක්‍රම අනුගමනය කිරීම මඟිනුයි. තායිලන්තය වගේ රටවල බලධාරීන් වගේම ජනතාව ද සංචාරකයකු හිතන විදිහටයි සිතන්නේ. එතකොට අපට සංචාරකයන්ගේ මානසිකත්වය කුමක්ද යන්න තේරුම් ගෙන වැඩ කළ හැකියි. එහෙම වුණොත් අපට සංචාරක කර්මාන්තය වඩාත් හොඳින් ඉහළ නැංවීමට හැකියාව ලැබෙන එක ස්ථිරයි. බටහිර රටවල පිරිස් අපේ රටට එන්නේ පහසුකම් සහ සැපසම්පත්ම බලාපොරොත්තුවෙන් නොවෙයි.

අපේ රටේ පරිසර සුන්දරත්වය වින්දනය කිරීමේ අරමුණ ඇතිවයි. උදාහරණයක් විදිහට යාල කැලේ බලන්න එන සංචාරකයකුට වායුසමනය කළ කාමරයකින් වැඩක් නැහැ. ඔහුට ඕනෑ වනාන්තරයට ගිහින් එහි සුන්දරත්වය නැරඹීමටයි. එහෙම නැතිව වායුසමනය කළ කාමරයක හෝ සැප පහසුකම් අවශ්‍ය නම් සංචාරකයාට තමන් උපන් රටේම ඉන්න තිබුණා. ඒ නිසා තමයි නිතරම අපේ රටේ ස්වාභාවිකත්වය මතුව එන විදිහට සංචාරක කර්මාන්තය නැංවීමට කටයුතු කළ යුත්තේ.

කෘත්‍රිම දේවල් වෙනුවට ස්වාභාවිකත්වය මතුවෙන විදිහටත් දේශීය ආහාර රටාව අනුවත් සංචාරක කර්මාන්තය ගොඩනඟන්න ඕනෑ. ඒ ආකාරයට කටයුතු කළහොත් අපේ අනන්‍යතාව මොකක්ද කියලා ලෝකයට පෙන්විමට හැකියාව ලැබෙනවා. එවිට සංචාරක ක්ෂේත්‍රයෙන් මෙරටට විශාල ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබෙන එක ස්ථිරයි. ඒ නිසා අපට නව ආර්ථික රටාවකින් ඉස්සරහට යන්න අවශ්‍ය නම් නව ක්‍රම අනුව වැඩ කළ යුතුයි. දේශීය ආර්ථිකය ශක්තිමත් කරනවා කියලා තේ, පොල්, රබර් මත තව දුරටත් වැඩ කරන්න බැහැ. අලුත් මාර්ග ඔස්සේ අප ගමන් කළ යුතුයි. ඒ විදිහට නව මාර්ග තෝරා ගත්තොත් අපට පුළුවන් ඉක්මනින්ම දේශීය ආර්ථික ක්‍රමය ඔස්සේ ස්ථාවර වීමට.

 

 

Previous articleජනපතිගෙන් හරිත ආර්ථිකයකට නව පරිසර පනතක්
Next article“අපිව සිල්ලරට ගනන් ගන්න එපා. වහාම සමාව ගන්න” – වඩිවේල් සජිත්ට කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here