Home අද බදු නොගෙව්වොත් සරසවි පවත්වාගෙන යන්න බැහැ

බදු නොගෙව්වොත් සරසවි පවත්වාගෙන යන්න බැහැ

629
0

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වර්ජනය කිරීමට සරසවි ආචාර්යවරුන් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්ව තිබේ. සරසවි ආචාර්යවරුන් වෙනුවට ප්‍රවීණ ගුරුවරුන්ගේ සහාය ‍විභාග ක්‍රියාවලියේදී ගත යුතුද? නොමිලේ අධ්‍යාපනය ආණ්ඩුවට පවත්වාගෙන යා හැකිව තිබෙන්නේ බදු මුදල්වලින් බැවින් බදු ගෙවීම සෑම පුරවැසියකුගේම වගකීමක් නොවන්නේද? යනාදී කරුණු කාරණා පිළිබඳව ප්‍රවීණ අධ්‍යාපනඥ, ලර්න් ඒෂියා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා සහ ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරක ආචාර්ය සුජාතා ගමගේ සමඟ කළ කතා බහ මෙසේ දිග හරිමු.

අධ්‍යාපනය පිළිබඳ තීරණ ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතියෙන් බැහැරව ගුරුවරුන්ගේ කවුන්සිලයක් බිහි කළ යුතු බවට අදහසක් පසුගියදා ඔබ ඉදිරිපත් කළා. අධ්‍යාපනයට සම්බන්ධ ආයතන රැසක් ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ කවුන්සිලයක් අවශ්‍යය ඇයි ?

සිංගප්පූරුව ගුරුවරුන්ගේ කවුන්සිලයක් හඳුන්වා දීම මඟින් සාර්ථක පාසල් අධ්‍යාපනයක් පවත්වාගෙන යන රටක්. ඒ සඳහා ඔවුන් විධිමත් ක්‍රමවේදයකට අනුව ප්‍රවීණ ගුරුවරුන් හඳුනා ගැනීම කරනවා. ඉන්පසු එම ප්‍රවීණ ගුරුවරුන් අතරින් ජාතික කවුන්සිලය සඳහා ගුරුවරු තෝරා ගන්නවා. අපේ රටෙත් වෛද්‍යවරු වැනි සමහර ක්ෂේත්‍ර සඳහා ජාතික කවුන්සිල තිබෙනවා. නමුත්, ගුරු වෘත්තිය සඳහා ජාතික කවුන්සිලයක් නැහැ.

විශ්‍රාමික හා සේවයේ නිරතව සිටින ගුරුවරු මේ කවුන්සිලයට ඇතුළත් කරගන්න ඕනෑ. නමුත්, එහි කටයුතු සඳහා ප්‍රවීණ ගුරුවරු වැඩි වශයෙන් දායක කරගත යුතුයි. ජාතික අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල හා වෘත්තීය අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල වෘත්තිකයන් ගුරුවරුන්ගේ කවුන්සිලයට සම­්බන්ධ කර ගත්තට කමක් නැහැ. ඒ වුණත් ප්‍රවීණ ගුරුවරුන්ට වැඩි ප්‍රමුඛතාව දිය යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ සියලුම වෙනස්කම් මේ ජාතික කවුන්සිලයේ එකඟතාවෙන් සිදු කළ යුතුයි කියලා මම කල්පනා කරනවා.

උත්තර පත්‍ර සමීක්ෂණය කිරීමේ ක්‍රියාවලියට විශ්වවිද්‍යාල ආචාර්යවරු සම්බන්ධව සිටිනවා. බදු ප්‍රශ්නයක් මත ඔවුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීමේ ක්‍රියාවලිය අඩපණව තිබෙනවා. මේ ක්‍රියාවලියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉවත් කළ යුතු බවට අධ්‍යාපනඥයෙක් වන ඔබ යෝජනා කරන්නේ ඇයි?

පාසල් අධ්‍යාපනය ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට දැනුමක් නැහැ. අපේ විෂය නිර්දේශ අනවශ්‍ය විදියට න්‍යායාත්මක වෙන්න මේ කාරණය බලපා ති‍බෙනවා. පාසල් සිසුන්ට උගන්වන ගුරුවරු, ළමුන් සමඟ වැඩ කරන උදවිය, ඔවුන් ගැන දන්න අය මේ ක්‍රියාවලියට සම්බන්ධ නොවීම ගැටලුවක්.‍

මම කාලයක් විශ්වවිද්‍යාල ගුරුවරයෙක් විදියට වැඩ කළා. ඒ කාලයේ අපට ශික්ෂණය ගැන පුහුණුවක් විශ්විද්‍යාලයෙන් ලැබුණෙ නැහැ.

වරක් මම විභාග දෙපාර්තමේන්තුවේ උපායමාර්ගික කමිටුවක සම්බන්ධව සිටියා. එතැනදි අප ඔවුන්ට යෝජනා කළා මොන පුහුණුවක් තිබුණත් කමක් නැහැ, ඔවුන්ට ප්‍රශ්න පත්‍ර සකස් කරන ආකාරය, විභාග සංවිධානය, උත්තර පත්‍ර බැලීම ගැන පුහුණුවක් දිය යුතුයි කියලා. ඒක කරන්න පුළුවන් අය විභාග දෙපාර්තමේන්තුවේ සිටිනවා. එතැන සිටින පිරිස මදි නම් අවශ්‍ය පිරිස් පිටතින් හෝ සොයාගෙන උත්තර පත්‍ර බලන අයට පුහුණුවක් දෙන්න ඕනෑ.

 

සරසවි ආචාර්යවරුන්ට ඇගැයීම පිළිබඳ අවබෝධයක් නැහැයි කියන්නේ ඇයි?

පාසල් අධ්‍යාපනයේ පදනම ශික්ෂණයයි. විභාග මඟින් සිසුන්ගේ දැනුම ඇගැයීමක් කෙරෙනවා. එහෙත් අප කතා කරන මේ ශික්ෂණය හා ඇගැයීම ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට දැනුමක් නැහැ. ශික්ෂණ ගැන පුහුණුවක් නැති අය මේ කාර්යට සම්බන්ධ කර ගැනීම ගැටලුවක්. ප්‍රශ්න පත්‍ර හදන්නේ කිසි තේරුමක් නැති කරුණු ගැන පමණක් අවධානය යොමු කරන අය බව ඔවුන් හදන ප්‍රශ්න පත්‍ර දැක්කම පෙනෙනවා.

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, ලකුණු දීමේ පටිපාටි සකස් කිරීම වගේ දේවල්වලට ප්‍රවීණ ගුරුවරු සම්බන්ධ කර ගන්න ඕනෑ. භෞතික විද්‍යාව, ජීව විද්‍යා උත්තර පත්‍ර සමීක්ෂණයට දැනටත් විශ්‍රාමික විශ්වවිද්‍යාල ආචාර්යවරු සම්බන්ධ කරගන්නවා. ඒක ඉදිරියටත් කරන්න පුළුවන්.

නමුත් අපි ප්‍රවීණ ගුරුවරු හඳුනාගෙන ඔවුන් ඇගැයීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගන්න ඕනෑ.

 

මේ සඳහා ප්‍රවීණ ගුරුවරු හඳුනා ගැනීමේ දි ඒ සඳහා භාවිත කළ යුතු නිර්ණායක ඔබට නම් කරන්න පුළුවන්ද?

ගුරුවරයාගේ ප්‍රවීණත්වය පරික්ෂා කිරීමේදී වසර ගණනාවක ඔවුන්ගේ ඉගැන්වීමේ ක්‍රමවේදය සැලකිල්ලට ගන්න ඕනෑ. ඒ වගේම ළමුන්ගේ සාර්ථකත්වය සැලකිල්ලට ගන්න පුළුවන්. දැනුම පෙන්වන්න ඔවුන් මොනවාද කරලා තියෙන්නේ? පශ්චාත් උපාධි යනාදිය කරලා තියෙනවාද? කියලා බලන්න පුළුවන්.

හොඳ ගුරුවරු කවුද කියලා වැඩි හරියක් දන්නේ ළමුන්. නියැදියක් විදියට ශිෂ්‍යයන්ගෙන් ඔවුන්ට ඉගැන්වූ සාර්ථක ගුරුවරු ගැන අදහස් ගන්න පුළුවන්. මේ විදියට ක්‍රියාකාරීත්වය මගින් ඔවුන්ගේ සාර්ථකත්වය අගය කිරීම හොඳ ක්‍රමවේදයක්. නමුත් මේ වගේ දේවල්වලට පාසල් සංවර්ධන කමිටු හෝ මව්පියන් සම්බන්ධ කර නොගත යුතුයි.

කලාපයෙන් කලාපයට, විද්‍යාව, තොරතුරු තාක්ෂණය යනාදි ලෙස විෂයන් අනුව මේ හඳුනා ගැනීම කරන්න පුළුවන්. තොරතුරු තාක්ෂණය වගේ විෂයන්ට අදාළව ගුරුවරු ශ්‍රේණිගත කරන ක්‍රමයක් තියෙනවා.

පාසල් හැර යන සිසුන්ගෙන් ඔබගේ අධ්‍යාපනයට වැඩියෙන්ම දායක වූ ගුරුවරු කවුද කියලා විෂය මට්ටමින් අහන්න පුළුවන්. ඔවුන්ගේ වැටුප යනාදිය තීරණය කිරීම සඳහා නෙමෙයි නමුත්, දක්ෂයෝ හඳුනා ගන්න මෙවැනි ක්‍රමයක් අවශ්‍යයයි. එයට අමතරව සමකාලීන ගුරුවරුන්ගෙන් හා ඔවුනට වඩා ඉහළින් සිටින අත්දැකීම් සහිත ගුරුවරුන්ගෙන් මේ නිර්දේශ ගැනීම කරන්න පුළුවන්.

පොදුවේ ගත් විට අපේ පාසල් විෂය මාලාව සාර්ථක එකක් වුවත් විභාග ක්‍රමයේ ගැටලු ඇති බව ඔබ පවසන්නේ ඇයි?

පළමු ශ්‍රේණියේ සිට පාසල් විෂය මාලාවේ මම ගැටලුවක් දකින්නේ නැහැ. ළමයා ඉගැන්වීමෙන් ලැබිය යුතු නිපුණතා මේවායි කියලා හඳුනාගෙන තිබෙනවා. විෂය මාලාවේ කරුණු කාරණා වැඩි ගැටලුව තිබෙනවා.

 

විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදි ශිෂ්‍යයාගේ නිපුණත්වය පරීක්ෂා කිරීම වෙනුවට මතක ශක්තිය විමසීමක් කෙරෙන බව ඔබ කියන්නේ ඇයි?

 

පසුගිය ඉතිහාස පරීක්ෂණ පරීක්ෂා කර බලන්න. මෙතැනදි කටපාඩම් කළ යුතු කරුණු බහුවරණ ප්‍රශ්න හැටියට අසා තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාරයවරු දායක කරගෙන සකස් කළ ප්‍රශ්නපත්‍රවල තිබෙන්නේ මේ වගේ දේවල්. අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා සාක්ෂරතාව හා ගණිත දැනුම පිළිබඳ පර්යේෂණයක් පසුගියදා කළා. එයින් සාර්ථකත්වය ලැබුවේ සියයට 10ක් පමණයි. ඒ ආකාරයේ සමීක්ෂණයක් 5 ශ්‍රේණියෙන් පසු හා 8 ශ්‍රේණියෙන් පසු කරන්න ඕනෑ. ළමුන්ගේ දැනුම විභාගවලින් බලන්න කලින් සමීක්ෂණ මගින් කළ යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න කලින් එවැනි සමීක්ෂණයක් කළ යුතුයි.

පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපනඥයෙක් හැටියට මේ ගැන ඔබේ අදහස කුමක්ද?

6 ශ්‍රේණියේ සිට දැනටත් යම් යම් විෂයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම කෙරෙනවා. එය වැදගත් වැඩක්. මේ වැඩසටහන ද්වී භාෂා අධ්‍යාපන වැඩසටහන නමින් හැඳින් වෙනවා. අලුත් දෙයක් හැටියට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය දීමට අදහස් කරනවා. එහි වරදක් නැහැ. අවශ්‍ය දරුවකුට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන අවශ්‍ය අවස්ථාව සලසා දිය යුතුයි.

කන්නන්ගර මහතා ඉදිරිපත් කළ නිදහස් අධ්‍යාපන යෝජනාවේ ආරම්භක අවස්ථාවේ සරසවි අධ්‍යාපනය නොමිලේ දීම පිළිබඳ අදහස් නොතිබුණු බව ඔබ කියනවා. එහෙමනම් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සමාජයේ විරෝධයක් ඇතිව තිබෙන්නේ ඇයි?

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ දීම අවසාන මොහොතේ නිදහස් අධ්‍යාපන පනතට ඇතුළු කළ එකක්. මේ ගැන එම කමිටුවේ සාමාජිකයෙක් හැටියට කටයුතු කළ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා අවධානය යොමු කළා. නමුත් ඒ අවස්ථාවේ අන්‍යයන් මේ ගැන සැලකිලිමත් වුණේ නැහැ.

සියලු දෙනාටම අධ්‍යපනය දෙන මතයේ ආචාර්ය එන්. එම්. පෙරේරා හිටියා. ඒ කාලේ ළමුන්ගෙන් සියයට 50ක් පමණ පාසල් ගියේ නැහැ.

ඒ නිසා අධ්‍යාපනය සඳහා වැය වන වියදම ඇස්තමේන්තු කර තිබුණේ ළමුන් අතරින් සියයට 5ක් තෝරා ගෙන ඔවුන්ට නිදහස් අධ්‍යාපනය දීම ගැනයි. ඉතිරි සියයට 95ට අධ්‍යාපනය දෙන ක්‍රමයක් ගැන ඔවුන් කල්පනා කළේ නැහැ. මුලින් හැම ළමයකුටම මූලික අධ්‍යාපනය අනිවාර්යෙන් ලැබෙන විදියට වියදම් ඇස්තමේන්තු කර පසුව අනෙක් අයට වියදම් කරන ආකාරය සකස් කරමු කියලා ඔහු කිව්වා. ඒ නිසා ඇන්. ඇම්. ගෙ මුළුමනින්ම මේ යෝජනාවට එකඟ වූ බවක් පෙනෙන්නෙ නැහැ.

උසස් අධ්‍යාපනය පෞද්ගලීකකරණයට විරුද්ධව සරසවි සිසුන් පෙළපාළි යනවා. නමුත් මේ ක්‍රියාමාර්ගය නිසා පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පෞද්ගලිකකරණයට විවෘතව තිබෙනවා.

උපයන විට ගෙවන බද්ද වැනි ඍජු බදු හඳුන්වා දීමට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

හැම දේම නොමිලේ දෙන්න ඕනෑ කියලා වැඩිපුරම කෑ ගහන්නේ මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුයි. ඔවුන් සරසවි අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ දිය යුතුය කියලා කියනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය මුදල් ආණ්ඩුවට ලැබෙන්නේ කොහොමද කියලා හිතන්නේ නැහැ. මේ සඳහා වැය වෙන මුදල මෙච්චර කල් ගෙව්වේ වක්‍ර බදු වලින්. නමුත් දැන් ආණ්ඩුව වක්‍ර බදු ඉවත් කර ඒ මුදල ඍජු බදුවලින් හොයන්න ආණ්ඩුව තීරණය කර තිබෙනවා. දැන් ඒ ගොල්ලන්ගේ බඩට වදින කොට ඔවුන් විරුද්ධ වෙනවා. ඔවුන් හැමෝටම නොමිලේ උසස් අධ්‍යාපනය දිය යුතුය කියනව නම් බදු ගෙවීම කළ යුතුයි.

මා ශිෂ්‍යයකු හැටියට විදේශ විශ්වවිද්‍යාලවල ඉගෙන ගෙන තිබෙනවා. අප පළමු පඩි පතේ සිට කිසියම් ප්‍රතිශතයක් බදු ගෙවීම ඒ රටවල අනිවාර්ය දෙයක්. ඒ රටවල ජීවත් වෙන හැම කෙනෙකුම කිසියම් ප්‍රමාණයක් බදු ‍ගෙවනවා. නමුත් අපේ රටේ එහෙම පුරුද්දක් නැහැ. අනෙක් රටවල බදු ප්‍රතිශතය වැඩියි. අපි ඒ රටවල ජීවත් වන විට දක්වා ඇති බද්ද ගෙවන්න පුළුවන් නම් මේ රටේ දි එය ප්‍රතික්ෂේප කිරීම ගැටලුවක්.‍ බදු ගෙවීමට අකමැති නම් ඒ මුදල් යොදවා ආණ්ඩුව කරන සමාජ සුබසාධන වැඩවලට අවශ්‍ය මුදල් සොයගන්නා ආකාරය ඔවුන් කිව යුතුයි.

 

Previous articleරිලව් ගනුදෙනුවේ “ඇත්ත කතාව”
Next articleරාජ්‍ය ණය ප්‍රතිපත්තියේ වෙනසක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here