Home අද රටක් විදිහට නැගිටින්න අපේ කර්මාන්ත දියුණු කිරීම වැදගත්

රටක් විදිහට නැගිටින්න අපේ කර්මාන්ත දියුණු කිරීම වැදගත්

830
0

අන්තර් ජාතික මූල්‍ය අරමුදල මඟින් ලබා දුන් ණය ප්‍රතිඵලදායක ලෙස යොදා ගන්නේ කෙසේද, අතීතයේ දුෂ්කර ආර්ථික තත්ත්වයක සිටි කලාපීය රාජ්‍යයන් සිය ආර්ථික සවිමත්භාවය ළඟා කර ගත් අයුරින් අපටත් එවැනි ආභාෂ ළඟා කර ගත හැක්කේද, ඒ සඳහා යොදා ගත හැකි උපාය මාර්ග මොනවාදැයි යන්න පිළිබඳව කර්මාන්ත ක්ෂේත්‍රයේ ‍ ෙජ්‍යෂ්ඨයකු වන කර්මාන්ත කොමිෂන් සභාවේ සාමාජික සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්‍රිකල්) උපදේශක සභාවේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් අපි ලබා ගත් ණය සහයෝගය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

රට පත්ව තිබෙන දුෂ්කර අවස්ථාවේදී අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් සහයෝගය අරන් මෙරට ආර්ථිකය වැටී තිබෙන දුෂ්කර අවස්ථාවෙන් ගොඩ ගැනීමට, ජනාධිපතිතුමා ඇතුළු ඒ සඳහා වෙහෙස වූ සැමට ස්තුතිය පළ කළ යුතුයි. රට මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වයන් රට ගලවා ගැනීමට මෙම ණය සමඟ යම් හැකියාවක් ලැබෙනවා. ඒත් අප රටක් විදිහට ණය මුදලක් ලැබුණ පමණින් අපට අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා ගන්න බැහැ. අප ලබා ගෙන තිබෙන්නේ දිගු කාලීන ණයක්. ඒ ණය අපි පියවිය යුතුයි. අපි රටක් විදිහට කුමන රටකින්, කුමන සංවිධානයකින් ණයක් ගත්ත ද එය පියවන්න ඕනැ. ඒ නිසා අපට දැන් ලැබී තිබෙන සහනශීලි වාතාවරණය උපයෝගී කරගෙන සැලසුම් සහගත ගමනක් ආරම්භ කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන සැලසුම් සියල්ල අප රටක් විදිහට අද අදම ආරම්භ කළ යුතුයි. එහෙම වුණොත් තමයි, අපට ලැබුණ ණය මුදල නිසි විදිහට කළමනාකරණය කරමින් අනාගතයට සුරක්ෂිතව මුහුණ දීමට හැකි වන්නේ. එසේ නොවුනොත් යළිත් කෙදිනක හෝ අපට නැවත අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ නිසා අප දැන් සිටම රටක් විදිහට නැඟිටින්නේ කොහොමද කියන කරුණ ගැන සැලසුම් කළ යුතුයි. අපට මේ අර්බුදකාරී තත්ත්වය විසඳන්නේ කොහොමද කියා ජාතික සැලසුමක් ජාතික වැඩපිළිවෙළක් තියෙන්න ඕනැ. වැඩිහිටියන් විදිහට අපට මේ ගැන තිබෙන්නේ අතනොහැරිය හැකි වගකීමක්.

ඔබ කියන ඒ සැලසුම් සකස් වෙන්න ඕනෑ කොහොමද ?

අප මේ අවුරුද්දේ සිටම අනාගතයට අවශ්‍ය සැලසුම නිර්මාණය කළ යුතුයි. ඒ සැලසුමට මූලික වශයෙන් තෝරා ගත යුත්තේ වැඩිහිටි ඔබ හෝ මම නොවෙයි. යමක් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්, වැඩෙන මනසක් ඇති පාසල් දරුවනුයි. ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් බිහි කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව පාසල් අධ්‍යාපනය තුළින් නිසි ආරම්භයක් ලබා දීමට පුළුවන්. මේ වැඩපිළිවෙළ නවය වසරේ සිට උසස් පෙළ දක්වා ක්‍රියාත්මක කළ හැකියි. එහිදී දරුවන්ගේ උපන් හැකියාව මොකක්ද කියල හඳුනාගන්න ඕනැ. අද උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබන ළමයකුගෙන් අහන්න පුතේ ඔයා අනාගතයේ කවුද වෙන්න කැමැති කියලා. එහිදී ගොඩක් ළමයි ලබා දෙන්නේ පොදු උත්තරයක්. එනම් ගුරුවරයකු වෙන්න හෙදියක වෙන්න වගේ උත්තරයක්. එහෙත්, සිදු වෙන්න ඕනෑ ඒක නොවෙයි. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සමඟ වෘත්තීය පැත්ත ශක්තිමත් කිරීම පිළිබඳව ක්‍රමයක් ඇති කිරීමයි. වෘත්තීයමය කටයුතු පිළිබඳ උපදේශන කටයුතු කළ යුතුයි. එමඟින් අපේ අධ්‍යාපනය නව මාර්ගයකට යොමු කරන්න වගේම දරුවන්ගේ අනාගතය වගේම රටේ අනාගතයද නව මාවතකට යොමු කිරීමට පැහැදිලි හැකියාවක් තිබෙනවා. අධ්‍යාපනය තුළ මේ වෙනස සිදු කිරීම මඟින් අනාගතයේ රටට විදෙස් විනිමය ඇද ගැනීමට පුළුවන් වෘත්තිකයන් රැසක් බිහි කිරීමට හැකියාව ලැබෙනවා. එතැනදී උපන් හැකියාව කුමක්ද යන්න හඳුනා ගන්න පුළුවන්. මම ඒකට උදාහරණයක් කියන්නම්. මම පාසලේදී හැදෑරුවේ එක් විෂයක් ඒත්, මගේ කැමැත්ත සහ උනන්දුව තිබුණේ ඉලෙක් ට්‍රොනික් විෂය සඳහායි. මම ඉස්සරහට ගියේ පාසලේදී හැදෑරු විෂයන්වලින් නොවෙයි. මගේ උපන් හැකියාව ඇති ඉලෙක්ට්‍රොනික් විෂයන්ටයි මම කැමැති. අදත් පාසල් දරුවන් තුළ ඒවගේ සැඟවුණු කැමැත්තක් ඇති. ඒ කැමැත්ත අනුව වැඩ කිරීමට ඉඩ ලබා දුන්නොත් දරුවන්ගේ සැඟව තිබෙන කුසලතා මතු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ සඳහා දරුවන්ට පමණක් වගකීම පැවරීම සාර්ථක ද? ගුරුවරු මේ සඳහා සම්බන්ධ කර ගැනීමට හැකියාව තිබේද.?

ඔව්. අද ගුරුවරු සිටියාට ඔවුන්ගෙන් බහුතරයකට විෂය පිළිබඳව පොත පත දැනුම මිස ප්‍රායෝගික දැනුමක් තිබෙන පිරිස අඩුයි. ඒ නිසා ගුරුවරුන් වෙත ප්‍රායෝගික දේ පිළිබඳව ද දැනුවත් භාවයක් ලබා දිය යුතුයි. ගුරුවරුන්ට වගේම දරුවන්ටත් උපදේශන ලබා දීම කළ යුතුයි. එමඟින් වෘත්තීය කටයුතු පිළිබඳවත් ඒ රටාවට දරුවන් හුරු කරවීම පිළිබඳවත් කළ හැකියි. පාසල් දරුවන්ට අවශ්‍ය කරන නව මඟ පෙන්වීම් ලබා දීම මඟිනුයි අපට රටක් විදිහට ඉදිරියට යාමට හැකියාව ලැබෙන්නේ. එහෙම නොවීම තුළ රටට ආදායම් එන අලුත් ක්‍රම විවෘත නොවීම නිසා රටට ස්වාධින විදිහට ඉස්සරහට යාමට හැකියාව නොලැබී යනවා. එ්ක රටේ අනාගත දියුණුවට විශාල බාධාවක් වෙනවා. එහෙම වුණොත්, රට ණය උගුලෙන් ගැලවීමට තවත් බොහෝ කාලයක් ගත වේවි. ඒ නිසා මේ සියලු දේ කල්පනා කර බුද්ධිමත්ව වැඩ කළ යුතුයි. ඒ සඳහා දුර දිග බලා සැලසුම්ගතව වැඩ කළ යුතුයි. එහෙම කිරීම මඟින් පමණයි, අපට අනාගතයේදී ණය නොවන ආකාරයට වැඩ කිරීමට හැකියාව ලැබෙන්නේ.

වෘත්තීය පුහුණුව ලැබූ පිරිස් වැඩි වැඩියෙන් බිහි කිරිම මඟින් ඔවුන් විදෙස් රැකියා සඳහා යොමු කිරීමට හැකියාව තිබෙනවා. එමඟින් අපට ඩොලර් මෙරටට ඇද ගැනීමට පුළුවන්කම ලැබෙනවා. එවැනි සැලසුම් මඟින් රටට විශාල විදේශ විනිමයක් ඇද ගැනීමට හැකියාව තිබෙනවා.එහෙම සැලසුම්වලින් තොරව වැඩ කළොත්, අපට රටක් විදිහට අනාගතයක් ඉදිරියක් නැති වේවි.

අතීතයේ දුෂ්කර ආර්ථික තත්ත්වයක සිට, අද වන විට ධානාත්මක තත්ත්වයකට ආ කලාපීය රටවල් සඳහා ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ග මොනවාදැයි යන්න ගැන පැහැදිලි කළ හැකිද?

බංග්ලාදේශය අතීතයේ සිටියේ ඉතාමත් පසුගාමී තැනකයි. ඉන්දියාව ද අනූව දශකය මුල විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඒත්, අද මේ දෙරටම විශාල ආර්ථික දියුණුවක් ලබා තිබෙනවා. මේ දියුණුව සඳහා ඔවුන් නව ක්‍රම සහ නව විධි අනුගමනය කළා. අපත් ඒ ආකාරයේ වැඩපිළිවෙළක් වෙත යොමු වෙන්න ඕනෑ. එහෙම වුණොත්, අපට රටක් විදිහට ලොකු ගමනක් සාර්ථක විදිහට යන්න පුළුවන්කම තිබෙනවා. ඒ රටවල් තම සාර්ථකත්වය වෙත ගමන් කළේ සාම්ප්‍රදායික ක්‍රම මඟින් පමණක් නොවෙයි, වෘත්තීය දැනුම ඇති අය ලොව පුරා රැකියා අවස්ථා සඳහා යොමු කිරීම සහ නව තාක්ෂණ උපකරණ සහ උපාංග නිෂ්පාදනය සිදු කරනු ලබනවා. ඒ නව ක්‍රම මඟින් අපේ කලාපීය රටවල් විශාල දියුණුවක් ලබා තිබෙනවා. ඒක අපේ රටට වුණත් ලබා ගත හැකි මාර්ගයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

අපේ රටත් වෘත්තීය නිෂ්පාදන වැඩි දියුණු කළොත් දියුණු විය හැකිද. ?

2021දී මේ අංශයේ අපනයන ආදායම ඩොලර් මිලියන 200කට ආසන්නයි. මේ වසරේදී ඩොලර් මිලියන 650ක අපනයන ආදායමක් ඉපැයීමට සැලසුම් කර තිබෙනවා. විදත් සහ විදුලි උපකරණ පිටරට යවා ඩොලර් මෙරටට ගෙන එන මේ අංශයේ අපනයනකරුවෝ 70ක් දෙනා බලගැන්වීමට කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ, අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර සහ අතිරේක ලේකම් චමින්ද පතිරාජ මහත්ම, මහත්මීන් ප්‍රධාන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රාජ්‍ය අංශය විශාල මඟ පෙන්වීමක් දෙනවා.

අපේ විදුලි සහ විදත් උපකරණ අපනයනය කරනු ලබන්නේ කුමන රටවල් වෙතද?

යුරෝපීය කලාපීය රටවල්, මැදපෙරදිග සහ මාලදිවයින ඇතුළු රටවල් ගණනාවකට මෙරට නිෂ්පාදිත විදුලි උපාංග අපනයනය කරනවා. 2025දී මේ අංශයේ අපනයන ආදායම ඩොලර් බිලියනයක් ළඟා කර ගැනීමේ උපාය මාර්ගික සැලැස්ම සහ වැඩපිළිවෙළ දැනටමත් රජයට දී තිබෙනවා. ඒ වගේම පසු ගිය වසර පහ තුළ විවිධ අර්බුද මැද පවා ඉලෙක්ට්‍රික් සහ ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන කර්මාන්ත අපනයන ආදායම සැලකිය යුතු ආකාරයට ඉහළ ගොස් තිබෙනවා. එය සුවිශේෂ දෙයක් විදිහට සඳහන් කළ යුතුයි.

අප මෙම ආයතනයට පත්ව ආපසු මෙම අපනයන ආදායම ඉහළ දැමීමට හැකියාව ලැබී තිබෙනවා. කර්මාන්ත කොමිෂන් සභාවේ සාමාජිකයකු විදිහට මා ඇතුළු සාමාජිකයන් පත් කර තිබෙන්නේ ස්වාධීන පත්වීම් විදිහටයි. අප මේ කාලය තුළ කර්මාන්ත අංශයේ දියුණුව සඳහා සැලසුම් සහගතව වැඩ රැසක් සිදු කළා. ඩොලර් මිලියන හාරසියයකට වැඩි ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ රටට ඉපැයීමට පුළුවන්කම ලැබී තිබෙනවා. අපේ සැලසුම වෙලා තිබෙන්නේ මේ වසර අවසාන වන විට ඩොලර් මිලියන හය සියයක් රටට උපයා දීමටයි. ඉන්පසුව දෙදහස් විසිහතර, විසිපහ කාලයට රටට ඩොලර් බිලියනයක් උපයා දීමට සැලසුම් කර තිබෙනවා. ණය ගැනීමෙන් පමණක් අපට රටක් විදිහට දියුණු වීම දුෂ්කරයි. ඒ නිසා ඩොලර් මෙරටට ඇද ගැනීමට ඉහත ආකාරයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි.

ඒවගේම කර්මාන්ත මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද මේ වගේ අර්බුදකාරී කාලයේ ඉටු කරනු ලබන කාර්යභාරය ගැන ස්තුතිය පළ කළ යුතුයි.

නව රැකියා උත්පාදනය කරමින් සහ අපනයන සම්බන්ධ ඍජු සහ වක්‍ර සේවාලාභීන් රාශියක් ඒකරාශී කරමින් විදත් සහ විදුලි උපකරණ අපනයන අංශය බලගැන්වෙනවා. මින් මූලික වශයෙන් ලක්ෂ පහකට ආර්ථික ප්‍රතිලාභ හිමි කර දීම සිදු වෙනවා.

 

 

 

Previous articleවසර හතරකින් රට ස්ථාවරයි – ඉන්පසු අපි ඇතිකරන්නේ මොනවගේ සමාජයක්ද – ජනපති
Next articleජනතාවගේ ප්‍රසාදය තුට්ටුවට වැටුන රාජපක්ෂ පවුල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here