Home අද මේ අවුරුද්දේ ගෙවිය යුතු ණය සහ රනිල් වික්‍රමසිංහ

මේ අවුරුද්දේ ගෙවිය යුතු ණය සහ රනිල් වික්‍රමසිංහ

549
0

ගෙවුණු 2022 වසර අවසාන වෙද්දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83,595කි.
එය ශ්‍රී ලංකා රුපියල් බිලියන 30,355 ක් වේ. මෙයින් ඩොලර් මිලියන 76,758ක් (රුපියල් බිලියන 27,872ක්) මධ්‍යම රජයේ ණය වන අතර ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල සහ මහ බැංකුවේ ණය වේ.

පහත සඳහන් කර ඇත්තේ පොලී ගෙවීම්ද ඇතුළත්ව ඉහත ණය ප්‍රමාණයෙන් 2023 වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණයයි. එනම් 2023 වසරේ ණය සේවාකරණ අවශ්‍යතාවය වේ. පැහැදිලිව මතක තබා ගතයුතු කරුණ වන්නේ මෙහි සඳහන් කර ඇත්තේ 2023 වසර තුළ ගෙවිය යුතු ප්‍රමාණය පමණකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට – ඩොලර් මිලියන 212යි
ලෝක බැංකුවට – ඩොලර් මිලියන 284යි
ආසියානු සංවර්ධන බැංකුවට – ඩොලර් මිලියන 521යි
අනෙකුත් බහුපාර්ශ්වීය ණය දෙන ආයතන වලට – ඩොලර් මිලියන 63යි.
බහුපාර්ශ්වීය ණය දෙන ආයතන වලට වසර තුළ ගෙවිය යුතු මුළු මුදල – ඩොලර් මිලියන 1,080යි

ජපානයට – ඩොලර් මිලියන 197යි
පැරිස් සංසදයේ අනෙකුත් රටවලට – ඩොලර් මිලියන 276යි
චීනයට -ඩොලර් මිලියන 596යි
ඉන්දියාවට – ඩොලර් මිලියන – 653යි
පැරිස් සංසදයට අයත් නැති අනෙක් රටවලට – ඩොලර් මිලියන 33යි
වසර තුළ ගෙවිය යුතු ද්විපාර්ශ්වීය ණය හා පොලී එකතුව – ඩොලර් මිලියන 1,755යි

ස්වෛරිත්ව බැඳුම්කර – ඩොලර් මිලියන 2,010යි
චීන සංවර්ධන බැංකුවට – ඩොලර් මිලියන 477යි
අනෙකුත් වාණිජ ණය – ඩොලර් මිලියන 2යි.
වාණිජ ණය එකතුව – ඩොලර් මිලියන 2,489යි

ඉන්දියාව සමඟ මුදල් හුවමාරු ගිවිසුම – ඩොලර් මිලියන 400යි
බංග්ලාදේශය සමඟ මුදල් හුවමාරු ගිවිසුම – ඩොලර් මිලියන 200යි
චීනය සමඟ මුදල් හුවමාරු ගිවිසුම – ඩොලර් මිලියන 1,433යි
මුදල් හුවමාරු ගිවිසුම් එකතුව – ඩොලර් මිලියන 2,033යි

වෙනත් රටවල නීති යටතේ ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර තුළ ගෙවිය යුතු මුළු ණය වාරික හා පොලී මුදල – ඩොලර් මිලියන 7,356යි.

මෙම මුදල ගෙවිය යුතුව තිබෙන්නේ වෙනත් රටක නීතියක් යටතේ බැවින් ශ්‍රී ලංකාවට ඒක පාර්ශ්වීයව මෙම ණය මුදල නොගෙවා සිටීමේ හැකියාවක් නොමැත. ණය නොගෙවා සිටිය හැක්කේ ද්විපාර්ශ්වික එකඟත්වයක් මගින් පමණකි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් තුළ සිදු වන්නේ එයයි.

ඉහත මුදලින් ඩොලර් මිලියන 2,506ක් ගෙවිය යුතුව ඇත්තේ චීනයටයි. ඉන්දියාවට ඩොලර් මිලියන 1,053ක් ගෙවිය යුතුයි. (ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් බිලියන 2ක පමණ ආසියානු නිෂ්කාශන සංගම් පියවීම් මෙම ගණනට ඇතුළත් කර නොමැත.)

දේශීය නීතිය යටතේ ලබාගෙන ඇති ණය:

වසර තුළ භාණ්ඩාගාර බිල්පත් කල්පිරීම් – ඩොලර් මිලියන 10,404යි
බැඳුම්කර කල් පිරීම් හා කූපන් පොලී – ඩොලර් මිලියන 6,106යි
අනෙකුත් ණය – ඩොලර් මිලියන 3,862යි

දේශීය නීතිය යටතේ වසර තුළ ගෙවිය යුතු ණය වාරික හා පොලී වියදම් එකතුව – ඩොලර් මිලියන 20,372යි.

දේශීය නීතිය යටතේ සහ වෙනත් රටවල නීති යටතේ ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර තුළ ගෙවිය යුතු මුළු ණය වාරික හා පොලී මුදල – ඩොලර් මිලියන 27,727යි.

මෙම මුදල රුපියල් වලින් රුපියල් බිලියන 10,065ක්.

වසර තුළ අපේක්ෂිත මුළු රාජ්‍ය ආදායම:
බදු ආදායම – රුපියල් බිලියන 3,130යි
බදු නොවන ආදායම – රුපියල් බිලියන 278යි
ප්‍රදාන – රුපියල් බිලියන 12යි
එකතුව – රුපියල් බිලියන 3,280යි

ඇස්තමේන්තුගත වියදම්:
රාජ්‍ය සේවක වැටුප් – රුපියල් බිලියන 1,012යි
භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් – රුපියල් බිලියන 300යි
සහනාධාර – රුපියල් බිලියන 1,104යි
ප්‍රාග්ධන වියදම් – රුපියල් බිලියන 1,073යි
පොලී ගෙවීම් හා ණය ගෙවීම් හැර මුළු වියදම – රුපියල් බිලියන 3,489යි

වසර තුළ වියදම් වෙනුවෙන් අරමුදල් අවශ්‍යතාව – රුපියල් බිලියන 209යි.

ඉහත සඳහන් කරුණු පැහැදිලි ඇතැයි අපි විශ්වාස කරමු. මේ වසරේ රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 209ක ණය මුදලක් ශ්‍රී ලංකාව ලබා ගතයුතුව ඇත. ඊට අමතරව වසර තුළ ණය හා පොලී ගෙවීමට තවත් රුපියල් බිලියන 10,065ක් ණයට ගත යුතුව ඇත.

වියදම පසෙකින් තබා බදු වැඩි කර රාජ්‍ය ආයතන විකුණා ලබා ගන්නා රුපියල් බිලියන 3,280ක ආදායමකින් ණය ලබා නොගෙන රුපියල් බිලියන 10,065ක ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කිසිවකුට පැවසිය හැකිද?

රාජ්‍ය සේවක වැටුප්, සහනාධාර, ප්‍රාග්ධන වියදම් ආදී සියල්ලම සමඟ රජයේ වියදම රුපියල් බිලියන 3,489කි. හොරකම්, දූෂණ ආදිය වෙනවානම් ඒ සියල්ලම පවතියෙන්නේ පෙර සඳහන් කළ රුපියල් බිලියන 3,489 තුළයි. හොරකම්, දූෂණ නවතා ණය නොගෙන රුපියල් බිලියන 10,065ක ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කිසිවකුට පැවසිය හැකිද? එසේත් නොමැතිනම් වියදම් කපා ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කිසිවකුට පැවසිය හැකිද?

සමහරක් දෙනා යථාර්තය අවබෝධ කර නොගෙන තවමත් සිහින ලෝක සිට පවසන කතා බොහොමයක් ඕවා සුරංගනා කතා පමණකි. ප්‍රායෝගිකව පමණක් නොව සෛද්ධාන්තිකවවත් ඒවා කිරීමට නොහැක. කළ හැකි එකම දෙය ක්‍රමයෙන් ආදායම් වැඩි කරගෙන, ආදායම හා ගැලපෙන තරමට වියදම් කරමින් ණය පියවීම සඳහා යම්කිසි මුදලක් ඉතිරි කරගැනීම පමණි. එතෙක් දිගටම ණය ගැනීමට සිදු වන අතර ගෙවාගැනීමට නොහැකි ණය ගෙවීම සඳහා යම්කිසි සහන කාලයක් ඉල්ලා ගත යුතුය. වසර 75ක සමාජවාදී හා ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති වල අවසාන ප්‍රතිඵලය මෙය වේ.

කොයි තරම් කාලයකටද?

අවම වශයෙන් වසර 25ක්වත් යනතුරු දැනට ඇති ණයෙන් ගොඩ ඒමට පුළුවන් කමක් නොමැත. ක්‍රමයක් ඇතිනම් ක්‍රමය ඕනෑම කෙනෙකුට යෝජනා කළ හැක. වසර 25කින් හෝ ගොඩ ඒමට පුළුවන් යම්කිසි සැලසුම්සහගත වැඩපිළිවෙලක් එපමණ කාලයක් එක දිගට ක්‍රියාත්මක කළොත් පමණකි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ දැනට රට පත්ව ඇති තත්වය මෙන් කිහිප ගුණයක් විශාල අගාධයකට වැටීම පමණකි.

මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන ආකාරයේ පුළුල් ස්ථායීකරණ වැඩපිළිවෙළක් මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම හෝ ලංකාව වෙනුවෙන් සකසා නොමැත. එලෙස සැකසීමට තරම් අවශ්‍යතාවයක් ද නොතිබුණි. කලින් වාර වල තිබුණේ අවුරුදු හතර පහකින් විසඳා ගත හැකි තාවකාලික ප්‍රශ්න පමණක් වීම එයට හේතුවයි.

දැන් තත්ත්වය කලින් වාර වල මෙන් සැහැල්ලුවට ගැනීමට හැකි එකක් නොවන අතර එය කලින් වාරවල මෙන් අරමුදලට තනියම රට ස්ථායී කිරීමට හැකියාවක් නොමැත. ඒ සඳහා බටහිර රටවල, චීනයේ, ඉන්දියාවේ උදව් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. මෙවරත් ස්ථායීකරණ ක්‍රියාවලියෙන් පිට පැන්නොත් වසර 25කින් හෝ රට ගොඩ ගැනීමට හැකි පුළුවන් ක්‍රමයක් සකසා ගැනීමට හැකියාවක් නොමැති වන බව සක්සුදක් සේ පැහැදිලිය.

සමහර අය මෙම ස්ථායීකරණ වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා එක්ක අනන්‍ය ලෙස හඳුනාගෙන තිබේ. ඒ අය වාමාංශික අදහස් දරන අය බව දක්නට ලැබේ. මේක රනිල් හදපු එකක් නෙමෙයි. රනිල්ට හෝ වෙනත් තනි පුද්ගලයෙක්ට හදන්න පුළුවන් වැඩපිළිවෙළකුත් නෙමෙයි. පසුව යම් යාවත්කාලීන කිරීම් කර ඇතත් මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් බාහිර උපදේශකයින් සම්බන්ධ වී මේ වැඩපිළිවෙළ සකස් කළේ වසරකට පමණ පෙරයි.

ඒ වගේම, මේක රනිල් වික්‍රමසිංහට හෝ කවුරු හෝ රටේ ජනාධිපතිවරයාට තනිව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළකුත් නොවේ. මහ බැංකුව ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය, බැංකු පද්ධතිය, ව්‍යාපාරික ප්‍රජාව, බාහිර පාර්ශ්වයන් මෙන්ම සාමාන්‍ය මහජනතාවටද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තුළ යම් කාර්යභාරයක් පැවරී ඇත. එසේත් නොමැතිව වැඩපිළිවෙලක් තිබුණු පමණින් සියල්ල නිවැරදිව .සිදුවන්නේ නැත. නමුත් හරි යාමට හෝ වැරදීමට පළමුව නිවැරදි වැඩපිළිවෙලක් අවශ්‍යයි. දැන් එම වැඩ පිළිවෙල සැකසී ඇත.

එය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නොවුනත් ඔහු මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් සෘජු ලෙස පෙනී සිටිනවා වගේම එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැපවීමක් පෙන්නුම් කරයි. සමහර අය මෙම වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා සමඟ අනන්‍ය ලෙසදැකීමට එය හේතුවක් වී ඇති බව පෙනේ.

සමගි ජන බලවේගය විසින් මෑතකදී ඔවුන්ගේ වැඩපිළිවෙළ ලෙස යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබුණි. මින් පෙර ඉදිරිපත් කළ වැඩපිලිවෙලම යාවත්කාලීන කිරීමක් ලෙස එය පෙනී යයි. දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන මෙවැනි ප්‍රතිපත්ති රාමුවක් කිසිදිනක අරමුදල විසින් සකසා ඇති ආකාරයේ විස්තරාත්මක සැලසුමක් වීමට හැකියාවක් නොමැත. එසේ වීමේ අවශ්‍යතාවක්ද නොමැත.

මෙවැනි සංකීර්ණ තාක්ෂණික කටයුත්තක් කළ හැකි අය ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක නොමැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය නැතිව මහ බැංකුවට හෝ තනිව මෙවැනි දෙයක් කිරීමේ හැකියාවත් ඇතැයි විශ්වාස කිරීමට අපහසුය. වැඩපිළිවෙළ මුළුමනින්ම තේරුම් ගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයින් වුවත් දේශපාලන පක්ෂ ඇතුළේ සිටීනම්, දේශපාලන පක්ෂයකට කළහැකි වන්නේ ඔවුන්ගේ පක්ෂයේ දේශපාලන දර්ශනය මත පදනම් වූ, වැඩපිළිවෙළකට පාදක කරගත හැකි, කතාවක් ඉදිරිපත් කිරීම පමණකි.

සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ එවැනි එක් කතාවකි. එම කතාව මත පදනම්ව ස්ථායීකරණ වැඩපිළිවෙළක් සැකසීමට හැකියාව ඇති අතර මේ වන විට සකසා ඇති වැඩපිළිවෙළ සජබ කතාව මත පදනම්ව හැදිය හැකි ආකාරයේ එකකි. නමුත්, සජබ කතාව සමග ගැලපෙන පරිදි හැදිය හැකි එකම වැඩපිළිවෙළ නොවන අතර ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ කතාව හා ගැලපෙන තරමක් වෙනස් වූ වැඩපිළිවෙළක් ද වීමේ හැකියාවක් ඇත. එය එසේනම් එහි වෙනස් විය යුතු තැන් මොනවාද කියා පැහැදිලිව සඳහන් කිරීම එම පක්ෂයේ සාමාජිකයින්ගේ වගකීමකි.

ඒ කතාව හා මේ කතාව හැර වෙනත් කතා ඇත්නම් ඒවා සුරංගනා කතා පමණයි. අසංගත සුරංගනා කතා මත පදනම්ව සංගත වැඩපිළිවෙළක් කිසි දිනක සැකසිය නොහැක.

දූෂණය වැළැක්වීම අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළේ මූලික ඉලක්ක වලින් එකකි. සාමාන්‍යයෙන් අරමුදලේ වැඩ සටහනක දූෂණය වැළැක්වීම ප්‍රමුඛ ඉලක්කයක් ලෙස හඳුනාගන්නේ නැත. එමෙන්ම පීඩාවට පත්වන අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම මෙහි ප්‍රමුඛ අංගයකි. එය අරමුදලේ වැඩසටහන් තුළ හැමවිටම සිදුවන දෙයක් නොවේ. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා ධනවතුන්ගේ ධනය මත ධන බද්දක් හඳුන්වා දීමට නියමිතයි. මෙය දක්ෂිණාංශික මතධාරීන් විසින් දැඩි ලෙස විවේචනය කරන දෙයකි. දිගුකාලීනව ආර්ථික වර්ධනය අඩුවීමට හේතු වන දෙයකි. නමුත් ඒ මගින් ආදායම් විෂමතා අඩු කළ හැකිය. අරමුදලේ වැඩ සටහන සැකසීමේදී මේ ආකාරයේ වෙනම දිශාවකට ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් මත පදනම්ව විය යුතුය.

දූෂණය වැළැක්වීම කළ යුතුම දෙයක් වුවත් රටේ ආදායම මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මුදලක් වසර තුළ ණය හා පොලී ලෙස ගෙවීමට තිබියදී බදු වැඩි නොකර, ණය නොගෙන දූෂණය වැළැක්වීමෙන් පමණක් ආර්ථිකය ස්ථාවර කිරීමට නොහැක. ඒවා තනිකරම යථාර්තයන් නොවන සුරංගනා කතා පමණකි.

සමහර වාමාංශික අදහස් දරන්නන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ කියා හිතන බව පෙනී යයි. තමන් සහයෝගය දෙන කණ්ඩායමට රට නැවත ස්ථායී කළ හැකි බවට කිසිම විශ්වාසයක් ඔවුන්ට නොමැති බව බව එමඟින් පෙනී යයි. නමුත් අවශ්‍ය කැපවීම තිබෙන ඕනෑම කණ්ඩායමකට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න හැකියාවක් ඇත. එවැනි කැපවීමක් තිබෙනවානම් ඒ බව ප්‍රදර්ශනය කළ යුතු අවස්ථාව මෙයයි. එහෙම නැත්නම් එයින් අදහස් වන්නේ ඒ අයගේ අවසාන ඉලක්කය රටේ ආර්ථිකය ස්ථායී වීම වලක්වා විශාල විනාශයකට පාර කැපීමබවයි. ඇතැම් පක්ෂ වලට එවැනි ඉලක්ක තිබීම අසාමාන්‍ය දෙයක් ද නොවේ.

ඇතැමුන් දැනටමත් විශ්වාස කරන්නේ අපේ රට ශ්‍රී ලංකාවට තවත් වැටෙන්න තැනක් නැත කියා වුවද එය මිථ්‍යාවකි. වැටී ඇති තැනින් කිහිප ගුණයක් නරක තැනකට රට වැටීමේ හැකියාවක් ඇත.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙන්

Previous articleරජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් කරන්න අපි තීරණය කළා – ජනපති
Next articleපවුල් ලක්ෂ 29කට නොමිලයේ සහල් අද සිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here