Home අද IMF උපකාර ආර්ථික ස්ථායීකරණයට ලැබුණු අත්වැලක්

IMF උපකාර ආර්ථික ස්ථායීකරණයට ලැබුණු අත්වැලක්

590
0
  • ලෝකයේ විශ්වාසය නැවත අප දිනා ගත්තා
  • අර්බුදයට විසඳුම නිෂ්පාදන වැඩි කිරීම
  • ආයෝජකයන්ට වැඩි ඉඩක් දෙන්න

ශ්‍රී ලංකාව මේ වන විට යම් ආර්ථික ස්ථායිතාවකට ළඟා වී ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. එහෙත් ඉන් සෑහීමකට පත් නොවී සංවර්ධන මාවතේ රටක් වශයෙන් අප ඉදිරියටම ගමන් කළ යුතුව ඇත. ඊට සමුපකාර ක්‍රමය ඇතුළු උපාය මාර්ග ඔස්සේ කෙටි කලෙකින් ළඟා වීමට නම් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළ යුතුව තිබේ. එබැවින් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් යූ.ජී. රත්නසිරි මහතා සමඟ කළ කතාබහ මෙසේ දක්වමු.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු (IMF) ණය ආධාරය ඔබ කොහොමද දකින්නේ?

මෙරට ආර්ථික ස්ථායීකරණය සඳහා වන වැදගත්ම පියවරක්. එසේම මෙය දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවත් අප අමතක නොකළ යුතුයි. මෙරට ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සාමාජික රටක් වශයෙන් නැවත වරක් විශ්වාසය තහවුරු කර ගත් අවස්ථාවක් විදියටත් පෙන්වා දිය හැකියි.

මෙයින් මෙරට විදෙස් සංචිත ඉහළ යනවා. එයින් රුපියලේ අගය ස්ථාවරත්වයට ගෙන ඒමට රුකුලක් වෙනවා. විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි දියුණු වන්නට එය හේතුවක්. ඒ අනුව මෙරට අය වැය හිඟය අඩු කර ගත හැකියි. අතිරික්තයක් එක් රැස් කර ගැනීමට ඉන් මඟ පෑදෙනවා. එමෙන්ම අනවශ්‍ය ආනයන තවදුරටත් නොකර සංචාරක කර්මාන්තයේ වැඩි දියුණුවට කටයුතු කිරීමෙන් අපට මේ සහනය සැබෑම පහන් එළියක් බවට පත් කර ගත හැකියි. කෙටියෙන්ම කිවහොත් මෙය මෙරට ආර්ථික ස්ථායීකරණයට ලැබුණු අත්වැලක්. එහෙත් එය එසේ වන්නේ අපි එම මුදල් අරපිරිමැස්මෙන් වැය කළ හොත් පමණයි.

අපි මෙතෙක් පැමිණි දුෂ්කර හා කටුක මාවත ගැන ඔබට යමක් පැවසිය හැකිද?

වැරදි ආර්ථික කළමනාකරණය නිසා රටක් වශයෙන් අපට විවිධ දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වුණා. තවදුරටත් එය එසේ නොවන්නට වග බලා ගත යුතු වෙනවා. එහිදී ආර්ථික විශේෂඥයන්ටත් එම රාජ්‍ය ආයතනවලටත් රජයට සහ එහි තීන්දු තීරණ ගන්නා නිලධාරින්ට නිවැරැදි දත්ත ඔස්සේ සැබෑ තත්ත්වය පෙන්වා දීමට විශාල වගකීමක් පැවරෙනවා. කොහොමටත් මෙරට ඛනිජ තෙල්, එල්. පී. ගෑස් ආදී සම්පත් බහුල රටක් නෙවෙයි. ඒ වෙනුවෙන් අපි පිටරටට මුදල් ගෙවිය යුතුමයි. ඒත් එවැනි අත්‍යවශ්‍ය ආනයන සඳහාවත් ප්‍රමාණවත් මුදල් සංචිත ඉකුත් කාලයේදී නොතිබීමේ විපාක රටක් විදියට අප හැමෝටම අත්විඳින්න වුණා. ඉහළ උද්ධමන අගයක් රට තුළ පැවතුණා. ජීවන වියදම ඉහළ ගියා. රජයේ එදිනෙදා වියදම් සඳහාවත් මුදල් සොයා ගැනීමේ දුෂ්කරතා පැන නැඟුණා. ඉහළ පොලී අනුපාත නිසා ආදායම් වියදම් පිරිමසා ගැනීමට ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇති වුණා.

ඊට පිළියම් වශයෙන් ඔබ පෙන්වා දෙන්නේ මොනවාද?

කෙටි කාලීන හා දිගු කාලීන විදියට එය දෙයාකාරයි. විශේෂයෙන්ම අපිට රට තුළින්ම අපේ නිෂ්පාදන ඉහළ නංවා ගැනීමේ වගකීම පැවරෙනවා. කොහොමටත් රජයකට සමුපකාරය වැනි විකල්ප යන්ත්‍රණ තබා ගැනීමෙන් අර්බුද අවස්ථාවලදී වැඩි දායකත්වයක් ලැබිය හැකියි. තිරසර සංවර්ධනය කරා ඇදෙන ගමනේදී රටකට එය ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා අඩු පොලී අනුපාත යටතේ ව්‍යවසායකයන්ට ණය දීමත් වැදගත්. එවිට වැඩි දෙනෙක් නිෂ්පාදනයට පෙලඹීම හරහා ස්ව ශක්තියෙන් නැඟී සිටින පිරිස වැඩි වෙනවා. ඉන් මෙරට ඒක පුද්ගල ආදායම වැඩි වීමෙන් රටටත් ආර්ථික සමෘද්ධිය කරා ගමන් කළ හැකියි. ඒ එකක්. අනෙක විදේශ විනිමය පිළිබඳ ස්ථාවර ප්‍රතිපත්ති පැවතීමයි. ඒ අනුව රට තුළ හැකිතාක් මුදල් ඉතිරි කර ගැනීමත් අත්‍යවශ්‍යම දෙය ආනයනයත් වැදගත්. ඒ සඳහා දැනට යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ ඇතුළු සාධනීය තීන්දු තීරණ ගැනීමේ වගකීම ඉදිරියටත් රජයට පැවරෙනවා.

වෙළෙඳපොළ නියාමනයට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ විට අත්තනෝමතිකව පාරිභෝගිකයා සූරා කෑමට වෙළෙඳුන්ට ඉඩ ලැබෙන්නේ නෑ. අනෙක ග්‍රාමීය ණය ගැති බව අඩු කිරීමයි. රට පුරා පිහිටුවා තිබෙන ග්‍රාමීය බැංකු පද්ධතිය ඒ සඳහා රුකුලක් වෙනවා. තවදුරටත් සමුපකාර ක්‍රමය හරහා ද්විත්ව ප්‍රවාහන ක්‍රමවේද කරා යොමු විය හැකියි. ඇත්තෙන්ම මෙරට ග්‍රාමීය ණයගැති බව අඩු කිරීමෙන් රටේ ආර්ථික සමෘද්ධියට වැඩි දායකත්වයක් ලැබෙනවා. එවැනි නවතාවන් කරා මෙරටට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පහසුයි. විවෘත ආර්ථිකය සමඟ එන තරගකාරීත්වයට සරිලන පරිදි අපට රටක් වශයෙන් ප්‍රතිසංවිධාන කටයුතු කරා යොමු වීමත් ඉතා වැදගත්. එසේම මෙරට බොහෝ ප්‍රදේශවල වෙසෙන විවිධ නිෂ්පාදකයන්ට නිසි වෙළෙඳපොළක් නැති ගැටලුව තදින් පවතිනවා. ඊට පිළියමක් වශයෙනුත් මේ ආර්ථික ප්‍රතිසංවිධාන යොදා ගන්නට පුළුවන්.

මෙරට වෙළෙඳ යන්ත්‍රණය ගැනත් පාරිභෝගිකයාගේ එතරම් විශ්වාසයක් නැහැ නේද?

සාධාරණ ලාභ සහිතව වෙළෙඳපොළ යන්ත්‍රණයටත් ඉදිරියට යෑමට ඉඩ සැලසිය යුතුයි. මෙවැනි ආර්ථිකමය උත්තේජන මෙකල මෙරටට ඉතා වැදගත්. ඒත් මෙයින් සියල්ල රජයට තනිව කළ නොහැකියි කියා අදහස් කෙරෙන්නේ නැහැ. රටවැසියන් විදියට අපි කාටත් විශාල වැඩ කොටසක් ආර්ථික වශයෙන් රට අර්බුදයකට ලක්ව ඇති මෙකල පැවරෙනවා. පවුලක් ගත් විටත් ආදායමට වඩා වියදම වැඩු වුණොත් ඇතිවන තත්ත්වය පැහැදිලියි නේ. ඒ තත්ත්වයමයි ආදායමට වඩා වියදම වැඩි වූ විට රටකටත් අත් වෙන්නේ.

මෙරට ඉතා අරපරෙස්සමෙන් භාවිත කළ යුතුව පවතින ඉන්ධන, එල්. පී. ගෑස් ආදී සම්පත් පරිහරණයේදීත් එය එසේමයි. නිකරුණේ ඔහේ දහවල තෙක්ම දැල්වෙන විදුලි බුබුළු මෙරට නාගරික, ග්‍රාමීය භේදයක් නැතිව ඒ හැම ප්‍රදේශයකදීම පාහේ දකින්න පුළුවන්. ඒත් ඇතැමුන්ට එවැනි සමාජ වගකීම් පිළිබඳ තැකීමක් නැහැ.

ඉතින් ඉතා සීමිත සම්පත් අපතේ යෑමෙන් රටක් වශයෙන් අප තවත් අසීරු අඩියකට පත් විය හැකියි. තමන් උපමාවට ගනිමින් පවුලේ වැඩි වූ විදුලි බිල සැලකිල්ලට ගත් විටත් කෙනකුට එය වැටහේවි. සමාජයේ කුඩාම ඒකකය විදියට පවුලට ජීවන බර තදින් දැනෙනවා නම්, රටකට එය කෙසේ වේ දැයි එවිට කාටත් වැටහේවි. විකල්ප බලශක්ති පිළිබඳ අවධානය යොමුවී ඇතත් තවම ඉන් නිසි ඵල ප්‍රයෝජන ලැබී නැහැ.

එසේම නවීන ලෝකය සමඟ ඉදිරියට ගමන් කරමින්, හරිත හයිඩ්‍රජන්, න්‍යෂ්ටික බලාගාර ආදිය කෙරෙහිත් මේ වන විට මෙරටේ අවධානය යොමු වී ඇති බවක් පෙනෙනවා. ආනයන ආදේශන රට තුළම නිපදවා ගැනීම අප වැනි රටවලට ඉතා වැදගත් අංගයක්. ඒ කෙරෙහිත් මේ වන විට යම් දුරකට අවධානය යොමු වී තිබෙනවා. තවදුරටත් ඒ අතින් වර්ධනය විය යුතුයි. මෙරට ආනයන බැඳියාව වැඩියි. ඒත් ආනයන ආදේශක රට තුළ සුලභ විය යුතුමයි.

දැනට රට තුළ කෙරෙන නිෂ්පාදන දකින්නේ කොහොමද?

තවම අපට රට තුළ කෙරෙන නිෂ්පාදන පිළිබඳ සතුටු විය නොහැකියි. ඒ අතරම විදෙස් ආයෝජන සුලභ කර ගැනීමට අප රටක් විදියට අවධානය යොමු කළ යුතුයි. මේ වන විට ඒ කෙරෙහි අවධානය යොමු වී ඇතත් එය ද තවත් වර්ධනය විය යුතු බව පෙනෙනවා. විදෙස් සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම් මෙරටට ඉතා වැදගත්. මේ වන විට ඒ අතින් යම් ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා. එය වඩා වර්ධනය කිරීමට සෑම රට වැසියකුටම වගකීමක් පැවරෙනවා. ඒත් සමහරු විදෙස් සංචාරකයන්ට කරන කෙනහිලිකම්, ගසාකෑම් නිසා නැවත මෙරට පිළිබඳ නරක චිත්‍රයක් ලෝකයා හමුවේ මැවෙන්න පුළුවන්. එය මේ අවස්ථාවේදී අපට ඉතා අවාසියි.

රාජ්‍ය වියදම් පාලනය පිළිබඳත් කතා නොකරම බැහැ. කලෙක සිටම එම වියදම් නිසි පරිදි කළමනාකරණය කර නොගැනීමත් ඉකුත් කාලයේදී කැපී පෙනුණ දෙයක්. ඉන් එදිනෙදා ජන ජීවිතයට දැඩි බාධා එල්ල වුණේ පොදු පහසුකම් අඛණ්ඩව සැපයීමේ දුෂ්කරතා පැන නැඟීමෙන්. 1970 ගණන්වලදී ජපානයට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. එකල ඔවුන් බලශක්ති කළමනාකරණය හා සුරක්ෂිතතාව වෙනුවෙන් ගත් එක් පියවරක් වූයේ බලශක්ති පරිභෝජනය අඩු යන්ත්‍ර සූත්‍ර, යාන වාහන නිපදවා ගැනීමයි. එය අර්බුදයෙන් ගොඩ ඒමට මෙන්ම රටක් වශයෙන් පාරිසරික වශයෙනුත් ගත් වැදගත් ක්‍රියාමාර්ගයක් බවටත් පත් වුණා. ඇමෙරිකාව වර්ෂ 2007දී ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේදී ඉන් මිදීමට රට තුළට වැඩිපුර මුදල් ගලා ඒමට ඉඩ සැලසුවා. එවැනි උපාය මාර්ග අප වැනි රටවලටත් ඉතා වැදගත්. අන්තර්ජාතික වශයෙන් මෙරට කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගෙන සිටින මෙකල විදෙස් ආයෝජන ඉහළ නැංවීම සඳහා නව මංපෙත් සොයා බැලීමත් වැදගත්.

සමුපකාර ක්‍රමයේ වැදගත්කම කුමක්ද?

මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංගයක් විදියට සමුපකාර ක්‍රමය වර්ෂ 1970 ගණන්වල අග භාගය දක්වාම සාර්ථකව ක්‍රියාත්මක වුණා. ඒත් විවෘත ආර්ථිකයත් සමඟ ඒ කෙරෙහි තිබුණු අවධානය කෙමෙන් අඩු වුණා. එහෙම වුණත් අදටත් අර්බුදකාරී අවස්ථාවලදී සමුපකාර ක්‍රමයේ වැදගත්කම කැපී පෙනෙනවා. ඉකුත් කොවිඩ් වසංගත කාලයේදී ඒ බව ඉස්මතු වී පෙනුණා. සමුපකාර ක්‍රමය සාමාජිකයන්ගේ එකමුතුවෙන් හැදෙන්නේ. විවිධ ක්ෂේත්‍ර කරා එය පැතිරෙනවා.

එසේම සම්ප්‍රදායිකව තේ, පොල්, රබර් ආදී වගා ආශ්‍රිතවත් සුළු අපනයන භෝග ආදිය සමඟත් මෙරට ආර්ථිකය බැඳී පැවතුණා. ඒ අනුව රටින් මුදල් පිටතට ගියේ අඩුවෙන්. විශේෂයෙන්ම ගම සලකා බැලූ විට, ඒ තුළමයි බොහෝදුරට මුදල් සංසරණය වුණේ. අදටත් ඒ ලක්ෂණය හඳුනාගත හැකියි. මෙරට කෘෂිකර්ම, ධීවර, පශු සම්පත් මෙන්ම සුළු හා මැදි පරිමාණ නිපැයුම් ආදියෙන් මෙරට ආර්ථිකයට දෙන දායකත්වය විශාලයි. ඊට අගය එකතු කිරීම් කරමින් තවදුරටත් ආදායම් වැඩි කර ගැනීමට අපට පුළුවන්. මෙකල මෙරටට බල පා තිබෙන දැවෙන ගැටලු විසඳා ගැනීමේදී සමුපකාර ක්‍රමයෙන් වැඩි දායකත්වයක් ලැබිය හැකියි. විදේශ විනිමය ඉපැයීම් වැඩි කර ගැනීමටත් එය කදිම ක්‍රමෝපායක්. මෙරට කිරි නිෂ්පාදනය සලකා බැලුවත් දැනට රට තුළ නිෂ්පාදනය කෙරෙන්නේ මුළු අවශ්‍යතාවෙන් 35%ක් තරම්.

එහෙත් විශාල මුදලක් මෙරට වාර්ෂිකව කිරිපිටි ඇතුළු කිරි සහ ඒ ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ආනයනයට වැය කරනවා. ඒ මුදල් රට තුළ ඉතිරි කර ගනිමින් වඩා වැඩි ප්‍රමිතියකින් යුතුව එම නිෂ්පාදන වෙළෙඳපොළට යැවීමට එවිට පුළුවන්. අනෙක සාම්ප්‍රදායිකව තේ, පොල්, රබර් ආදී වගා ආශ්‍රිතවත් සුළු අපනයන භෝග ආදිය සමඟත් බැඳුණු ග්‍රාමීය ආර්ථික රටාවක් මෙරට පැවතුණා. ඒ අනුව මුදල් රටින් පිටට ගියේ අඩුවෙන්. විශේෂයෙන් ග්‍රාමීය වශයෙන් ගම තුළම වැඩිපුර මුදල් සංසරණය වීමක් වුණේ. අදටත් ඒ තත්ත්වය බහුලව දකින්න පුළුවන්. කිරි ගව පාලනය ආදිය සලකා බැලූ විට රටේ සමස්ත නිෂ්පාදනයට දෙන දායකත්වය ඉහළයි. එසේම තවදුරටත් අගය එකතු කිරීම් ඔස්සේ තමනුත් වැඩි ආදායමක් උපයා ගනිමින් මෙරටට විදේශ විනිමය ගෙන්වා ගැනීමටත් දායක විය හැකියි. විදෙස් ශ්‍රමිකයන් මෙරටට තවත් සම්පතක්. ඒ තැනැත්තන් එවන මුදල් නිසි අයුරින් රටට ගෙන්වා ගැනීමට උපාය යෙදීමෙන් මෙරට විදේශ විනිමය ගැටලුවට ඉක්මන් පිළියමක් සැලසේවි.

ඇත්තෙන්ම සමුපකාර ක්‍රමය පිළිබඳ හරි වැටහීමක් එහි ඇතැම් සාමාජිකයන්ට නොදැනීම ගැටලුවක්. ඒ කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතුයි. එවිට රට, ආර්ථිකය, මූල්‍ය සාක්ෂරතාව වැනි සෑම රට වැසියකුගේම අවධානය යොමු විය යුතු කරුණු කෙරෙහි තවම එතරම් දුරට අපේ හුඟ දෙනකු නොසැලකීම ගැටලුකාරියි. එසේම පාසල් මට්ටමේ සිටම සමුපකාර ඉතිහාසය, එහි ක්‍රියාකාරිත්වය ආදිය පිළිබඳ දැනුවත් කිරීම මඟින් මෙරටට අඩුපාඩුවක්ව පවතින ව්‍යවසායකයන් වැඩිපුර බිහි කර ගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇති. මේ සමුපකාර ක්‍රමය කෙරෙහි අලුත් ඇසකින් බැලිය යුතු කාලයක් වශයෙන් ඒ අනුව පෙන්වා දිය හැකියි.

උපුටාගැනීම – දිනමිණ

Previous articleඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය දිවයිනට
Next articleතෙල් බවුසර් වලට GPS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here