Home අද වැඩියෙන් වැඩ කළොත් අඩු කාලයකින් ගොඩ යන්න පුළුවන්

වැඩියෙන් වැඩ කළොත් අඩු කාලයකින් ගොඩ යන්න පුළුවන්

532
0

වැඩියෙන් වැඩ කළොත් අඩු කාලයකින් ගොඩ යන්න පුළුවන්

 ව්‍යාපාරික අංශ වියදම් පිරිවැය වැඩි වීම ගැන ගැඹුරින් සොයා බැලිය යුතුයි.

  • අපේ රටේ බඳු නොගෙවන විශාල පිරිසක් ඉන්නවා.
  • අපේ ආනයන වියදම් සොයා ගැනීමට තරම් අපනයන ආදායම ප්‍රමාණවත් නැහැ.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන්නේ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දන්නා දෙයකි. කෙසේ වෙතත් මෙහි ගැඹුර පිළිබඳ හෝ ඉන් ගොඩ ඒම පිළිබඳව තවමත් සමස්ත සමාජයම නිවැරැදි අවබෝධයක සිටින බවක් නොපෙනේ. මැතිවරණ ඉල්ලා කෑ ගැසීම, බදු අඩු කරන්නැයි උද්ඝෝෂණ කිරීම සිදු කළ පමණකින් රට මුහුණ දෙන දැවැන්ත ආර්ථික අභියෝගය ජය ගත හැකිද?

 

සමස්ත ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන් දවසේ පැය 24ම ගෙවා හෝ රට මුහුණ දෙන ආර්ථික අභියෝගය ජය ගැනීමට කටයුතු කළ යුතු කාලය එළඹ ඇත. එබැවින්, මේ කතා බහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුවේ සභාපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සමඟයි.

 

 මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය පසුවන්නේ කුමනාකාරයේ අර්බුද මැද ද?

ඔව්. ඔබ අප කවුරුත් දන්නා පරිදි ඉකුත් වසරේ අප්‍රේල් 12 වැනිදා ශ්‍රී ලංකාව සිය විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවා ගත්තා. එසේ කළේ රටේ ඉපැයීම් ලබාගත් විදේශ ණය සඳහා පොලිය හා වාරික ගෙවීමට ප්‍රමාණවත් නොවන තැනක පැවැති නිසයි. එදා සිට අද දක්වාත් අප කතා බහ කරන්නේ බංකොලොත් ආර්ථිකයක් ඇති රටක චිත්‍රයක් තුළයි.

 

 අපේ රටට, අපේ රටේ ආර්ථීකයට එවැන්නකට මුහුණ දීමට සිදු වූයේ ඇයි?

 

එය එකවරම සිදු වූ කඩා වැටීමක් නොව, දිගු කාලයක් තිස්සේ වැරැදි ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග නිසා ශ්‍රී ලංකාවට අත්විඳීමට සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක්. අපට මුල සිට ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීමට තිරසර වූ දැක්මක් සහිත ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. අපේ රට විවෘත ආර්ථිකයක් බවට පත් කළත්, තවමත් එය විවෘත මට්ටමේ තිබෙනවා දැයි ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. අපි නිවැරදිව තවමත් විවෘත ආර්ථිකයක් ගොඩනඟාගෙන නැහැ. ඒ නිසා අපේ රට දිගු කලක් තිස්සේ ප්‍රධාන ආර්ථික ප්‍රශ්න දෙකකින් පීඩා විඳිනවා.

 

 එම පීඩා මොනවා ද?

දිගු කලක් තිස්සේ රජයේ ආදායම් සහ වියදම් අතර පවතින පුළුල් පරතරය එක පීඩාවක්. අය වැය හිඟය ලෙසත් මෙය දැක්විය හැකියි. දෙවැන්න අපේ අපනයන ඉපැයුම් සහ ආනයන වියදම් අතර පවතින විශාල පරතරයයි. අපේ ආනයන වියදම් සොයා ගැනීමට අපනයන ආදායම ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ නිසා විදේශ වෙළෙඳ හිඟය දැවැන්ත ලෙස වැඩි වී තිබෙනවා. මෙන්න මේ ප්‍රශ්න දෙක නැති නම් අය වැය හිඟය අඩු කර ගැනීමට, වෙළෙඳ හිඟය අඩු කර ගැනීමට දිගු කාලයක් තිස්සේ අපි සමත් වී නැහැ.

 

 එසේ දැවැන්ත ආර්ථික පීඩාවක් ගෙන දෙන ප්‍රශ්න දෙකකට තිරසරව විසඳුම් ලබා දීමට අප අසමත්ව තිබෙන්නේ ඇයි?

එයට ගොඩක් හේතු බලපානවා. අපේ රටේ සියලු දේශපාලන පක්ෂ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරනවා විනා, රටේ ආර්ථික නවෝදයක් ඇති කිරීමට නිවැරදි තිරසර ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කොට නැහැ. ඇතැම් විට ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති මාලාවන් පවා දේශපාලන හේතු මත වෙනස් කොට තිබෙනවා. ඒ නිසා වේගවත් ආර්ථික සංවර්ධනයක් ඇති කර ගනිමින් ඉදිරියට යාමට අපට නොහැකි වී තිබෙනවා. මේවා ගැන ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්.

 

 මේ අවස්ථාවේදී එක් වැදගත් උදාහරණයක් දැක්විය හැකි ද?

අපේ රට විවෘත ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරන දකුණු ආසියාවේ පළමු රට යැයි කියනවා. නමුත් බලන්න ඍජු විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට, දෙස් විදෙස් ආයෝජකයින් දිනා ගැනීමට අපේ ප්‍රතිපත්තිය යම් සානුබලයක් සපයන්නේ දැයි කියා. විදේශ ආයෝජකයින් රටකට පැමිණීමට ඒ රටේ මාර්ග, විදුලිය, සන්නිවේදන ඇතුළු යටිතල පහසුකම් දියුණු විය යුතුයි. ඒ වගේම ආයෝජන සිදු කිරීමට ලිහිල් නීති රීති, අවසර ගැනීම්, අනුමැතීන් ලබා ගැනීම් යනාදිය සිදු විය යුතුයි. නමුත් අපේ රටේ තවමත් එවැනි පහසුකමක් ආයෝජකයින්ට ලැබේ දැයි ප්‍රශ්නාර්ථයක්. අපි හැමදාමත් වන්ස්ටොප් (One Stop) කවුළුවක් ඇතිකොට ආයෝජකයින්ව සාදරයෙන් පිළිගැනීමට හෝ ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සැපයීමට කතාකොට තිබෙනවා. නමුත්, තාම ඒ දේ සිදු වී නැහැ. එය කනගාටුදායක තත්ත්වයක්. යම් තරමකින් පෙරදාට වඩා දියුණුවක් සිදු වී තිබුණත් එය නව ලෝකය හා තරගකාරීව ආයෝජන දිනා ගන්නා රටකට පවතින තත්ත්වයට දියුණු වී නැහැ.

 

 අපේ රටේ ආයෝජන දිනා ගැනීමට බාධාවක් ලෙස වංචා දූෂණ අල්ලස පැවැතීම හේතුවක් බව කියවෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

එය සම්පූර්ණ ඇත්ත කතාවක්. යම් කිසි ආයෝජකයෙක් මෙරටට පැමිණ ආයෝජනයක් සිදු කිරීමට මුල් සාකච්ඡා පවත්වන මොහොතේ පටන් යම් යම් අය විවිධ ආකාරයෙන් මුදල් ලබා ගැනීම් ගැන කතා කරනවා. එම ආයෝජනය දිනා ගැනීමට පහසුකම් සලසනවා වෙනුවට තම තමන්ට යම් මුදලක් ලබා ගැනීමට උත්සුක වෙනවා යැයි චෝදනාවක් තිබෙනවා. එය සත්‍යයක්. ආයෝජන දිනා ගැනීමට නීති රීති රෙගුලාසි, අනපනත් විශේෂයෙන් ඉඩම් පිළිබඳ නීති, නීතිය හා සාමය පිළිබඳ මීට වඩා වෙනස් විය යුතුයි.

 

 අපේ රටේ තිරසර බදු ප්‍රතිපත්තියක් නැති නම්, දිනෙන් දින වෙනස් නොවන බදු ප්‍රතිපත්ති නැති බවට චෝදනාවක් තිබෙනවා. එයත් ආයෝජන දිනා ගැනීමට බාධාවක් නොවේ ද?

ඔව්. අපේ රටේ ආයෝජන දිනා ගැනීමටත් බාධාවක්. ඒ වගේම රටේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට බාධාවක්. අපේ රටේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මේ වන විට 9% මට්ටමේ තිබෙන්නේ. අඩුම තරමේ මෙය 15%ක මට්ටමටවත් මැදි කාලීනව ගෙනා ආ යුතුයි. ඒ අරමුණින් රජය මෙවර බදු වැඩි කිරීමක් සිදු කළා.

 

 එම බදු වැඩි කිරීම පිළිබඳ සමාජයේ ප්‍රතිවිරෝධතා මතු වී තිබෙනවා නේද?

වසර දෙක තුනක් අඛණ්ඩව 8%කින් 10%කින් ආර්ථිකය සංකෝචනය වූ රටක, ආර්ථිකයේ වර්ධනයක් වෙනුවට පසුබෑමක් ළඟා කරගත් රටක් විදිහට තමයි අපේ රට මේ මොහොතේ තිබෙන්නේ. ඒ නිසා සෑම තලයකම ජනතාව පීඩාවට පත් වී තිබෙනවා. මෙලෙස පීඩාවකට පත් වී තිබෙන මොහොතක බදු බරත් වැඩිකොට එම පීඩාව තවත් අති මහත් වන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒ නිසයි බදු ප්‍රතිපත්තියට එරෙහිව මහ මඟට බැස තිබෙන්නේ. මෙහිදී අප තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා.

 

 එය කුමක් ද?

අපේ රටේ මිලියන ගණන් ආදායම් ලැබුවත් නිසි ලෙස බදු ගෙවන්නේ නැති විශාල පිරිසක් සිටිනවා. ඒ වගේම ඒ අය විශාල වශයෙන් තමන්ගේ ආදායම වැඩි කර ගැනීමට ආණ්ඩුවේ ප්‍රතිලාභ යොදා ගන්නවා. එයට රජයේ යටිතල පහසුකම් භාවිතයට ගන්නවා. අනෙක් කරුණ තමයි අප රටක් ලෙස ජනතාව බදු ගෙවීමට මැළිකමක් දක්වනවා. ජනතාවට බදු ගෙවා පුරුද්දක් නැති තරම්. මේ දෙපිරිසට අමතරව තමන් හරිහම්බ කරන දේට නිසි ලෙස බදු ගෙවන පිරිසකුත් සිටිනවා. අද සිදු වී තිබෙන්නේ නිසි ලෙස බදු ගෙවන්නන්ට තවත් බදු බරක් දැරීමට සිදුවීම දැයි කථිකාවක් තිබෙනවා. කෙසේ නමුත් නිසි ලෙස බදු ගෙවීමත්, නිසි ලෙස බදු අය කර ගැනීමත් සිදු වන බවක් පෙනෙන්නට තිබෙනවා.

 

 මෙලෙස පීඩාවට පත් වී සිටින ජනතාවට යම් සැනසිලිදායක ආර්ථික වර්ධනයක් සහිත යහපත් කාලයක් කවදා උදාවේ දැයි නිශ්චිතව කාටත් කිව නොහැකි මුත් ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

අප මේ මොහො‍ෙත් ගත කරන්නේ ලබා ගත් විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවා ඇති රටක. ඒ වාගේම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සැනසිලිදායක පණිවිඩයක් පැමිණියේ යැයි සිතන මොහොතක. නමුත්, අපට ලබාගෙන ඇති ණය ආපසු නොගෙවා සිටීමට කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව යම් සහනයක් ලැබුණත් ලබාගත් ණයවලට වාරික සහ පොලිය ගෙවිය යුතුයි. දැනට අත්හිටුවා තිබෙන මුදල්වලට වාරික හා පොලිය ගෙවිය යුතුයි. ඒ නිසා මේ සිදු වී තිබෙන්නේ අර්බුදයෙන් මිදීමට වහ වහා විසඳුම් සෙවිය යුතු කාලයක් ගත කිරීමටයි. දැනට අපගේ රට ආර්ථික අර්බුදයේ නාසයටත් වඩා උඩටත් වතුර ගිහින් තිබෙන්නේ. නමුත්, ගිලෙන්නේ නැතිව බොහොම අමාරුවෙන් රැඳී සිටිනවා. මෙම තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීම ලෙහෙසි පහසු වන්නේ නැහැ. වහාම අප මින් මිදීමට විසඳුම් සෙවිය යුතුය.

 

 මින් මිදීමට අපට තිබෙන විසඳුම් මොනවා ද?

මින් මිදීමට අපට ඇති එකම විසඳුම හැකි තරම් ඩොලර් ආදායම් ඉපයීමට කටයුතු කිරීමයි. ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගනිමින් සාර්ථක ගමනක් යා යුතුයි. ඒ වගේම නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟා ගත යුතුයි. සංචාරක, අපනයන, විදේශගත ශ්‍රමිකයින්ගේ ආදායම් වැඩි කර ගත යුතුයි. අනිවාර්යයෙන්ම දවසේ පැය 24ම හෝ වැඩකොට රටේ ආර්ථිකය දියුණු කිරීමට ශ්‍රී ලාංකිකයෝ පියවර ගත යුතුයි.

 

 නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟාගත යුතු යැයි පැවසුවත් නිෂ්පාදන පිරිවැය ඉහළ රටක නව කර්මාන්තයක්, ආයෝජනයක් සිදුවේ යැයි සිතන්නට බැහැ. ඒ ගැන ඔබගේ අදහස කුමක් ද?

ඇත්ත වශයෙන්ම අපේ රටේ කර්මාන්තකරුවන්, නිෂ්පාදකයින් විවිධ අර්බුදයන්ට මුහුණ දී තිබෙනවා. නිෂ්පාදන සාධක සඳහා වැය වන පිරිවැය ඉහළ ගොස් තිබෙනවා. අමුද්‍රව්‍ය, විදුලි බිල, ජල බිල ඇතුළු සියලු පිරිවැයන් ඉහළ ගොස් තිබෙනවා. නමුත්, අපේ රටේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් කර්මාන්ත හා සේවා කොපමණ ප්‍රමාණයක් අඩපණ වීමට එය බලපාන්නේ දැයි නිවැරදි ගණන් බැලීමක් හෝ අධ්‍යයනයක් තවමත් සිදුකොට නැහැ. එය එක් අවාසනාවන්ත තත්ත්වයක්. මේ නිසා වහාම ව්‍යාපාරික අංශය නිෂ්පාදන වියදම් පිරිවැය වැඩි වීම තුළින් පත්ව ඇති පීඩාවන් ගැන මීට වඩා ගැඹුරින් සොයා බැලීමට බලධාරීන් කටයුතු කළ යුතුයි.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබා ගැනීමට මේ මාසයේ හැකි වේ යැයි ඉඟි පළ වී තිබෙනවා. එය අපට යම් සුබවාදී තත්ත්වයක් ළඟා කිරීමට දායක වෙයි ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබුණා යැයි අපට ගොඩ ඒමක් නැහැ. අපට රටක් ලෙස ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම්, අප කළ යුත්තේ හැකි තරම් විදේශ විනිමය ඉපයීමයි. විදේශ විනිමය ඉපයීම් මාර්ග වැඩි දියුණු කිරීමට සියලු දෙනා ක්‍රියා කළ යුතුයි. එසේ ක්‍රියා කරන බව පැහැදිලිව දක්නට නැහැ. එය අප දුරු කළ යුතුම දෙයක්.

 

 ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික 1%ක් ඉහළ දැම්මා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එවැනි තීරණයකට පැමිණියේ ඉහළ උද්ධමනය තවදුරටත් අඩු කර ගැනීමටයි. මහ බැංකුවේ කාර්ය උද්ධමනය පාලනය කිරීමයි. එහිදී ඔවුන් උත්සාහ කරන්නේ සමස්ත ඉල්ලුම සංකෝචනය කොට උද්ධමනය පාලනය කිරීමටයි. මහ බැංකුව උද්ධමනය පාලනය කිරීම ඉලක්ක කොට, අරමුණු කොට තීන්දු තීරණ ගත්තත් වඩාත් ආර්ථික වර්ධනයක් ඇතිවන ආකාරයට කෘෂිකර්ම, කර්මාන්ත හා සේවාවල දියුණුවක් ළඟා කර ගැනීමටත් පියවර ගත යුතුයි. මෙහිදී විශේෂයෙන්ම සියලු දේශපාලනඥයින්ට, දේශපාලන පක්ෂවලට, ආගමික නායකයින්ට, සමස්ත රටවැසියන්ට විශාල වගකීමක් පැවරෙනවා. තමන්ගේ රටේ ආර්ථිකය දියුණු කර ගැනීමට සැවොම වැඩි වැඩියෙන් වැඩ කළ යුතුයි. එසේ කිරීමට ප්‍රමාද වන සෑම මොහොතක්ම පාසා අප අර්බුදයේ තවත් ගැඹුරට තල්ලු වීමක් සිදු වෙනවා. ඒ නිසා මේ ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට දැඩි උනන්දුවෙන් වගකීමෙන් සියලු දෙනා කටයුතු කළ යුතුයි.

 

Previous articleරුපියල ශක්තිමත් වුනේ ඩීල් වලින් නෙමෙයි – ආචාර්ය හර්ෂ ද සිල්වා
Next articleශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය එකඟ වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here