Home අද රජය ආර්ථිකය සම්බන්ධයෙන් ගත් පියවර ඉතාම කාලෝචිතයි

රජය ආර්ථිකය සම්බන්ධයෙන් ගත් පියවර ඉතාම කාලෝචිතයි

509
0
ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබු රටක් ක්‍රම ක්‍රමයෙන් යථාතත්වය පත්වන ලකුණු පෙන්නුම්කරමින් තිබේ.  මේ වනවිට රුපියල යම් ප්‍රමාණයකින් ශක්තිමත්වී තිබෙන අතර උද්දමනය ක්‍රමයෙන් අඩුවී යන බව පෙන්නුම් කරයි. මෙවැනි තත්වයක් හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව කෙරෙහි සුබවාදී ප්‍රතිචාර පළකර තිබේ. මේ සියලු තත්වයන් හමුවේ රටේ ආර්ථිකයේ ඉදිරිය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සමඟ සාකච්ඡා කළෙමු.

රටතුළ ක්‍රියාත්මක කරන බදු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සුබවාදී ප්‍රතිචාර දක්වා තිබෙනවා. මෙම තත්වය ඔබ දකින්නේ කෙසේද?

මේවනවිට රජයේ ආදායම වගේ තුන්ගුණයක් වියදම වෙලා තිබෙනවා. එදිනෙදා කරන්න තිබෙන වියදම් ආදායම වගේ දෙගුණයක් වී තිබෙනවා. ණය සහ පොලිය ගෙවීම් රජයේ ආදායමෙන් 75% ට වැඩියි. මේ තත්වය තුළ මේ බදු ආදායමෙන් රජය පවත්වාගෙන යන්නත් අමාරුයි. එහෙම කියලා වියදම් කප්පාදු කරන්නත් බැරි තත්වයකට රට පත්වෙලා ඉන්නේ.  මේ තත්වය තුළ අපිට මහ බැංකුවේ ප්‍රතිපත්ති සමග එකඟ වෙන්න වෙනවා. නමුත් ප්‍රධානම ගැටලුව වී තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසා ඇති අකාරයටම රජයට කටයුතු කරන්න ලැබිලා නැතිකම. පහසුවෙන් බදු වැඩිකරන්න පුළුවන් තැන්වල  රජය බදු වැඩිකරලා තිබෙනවා. නමුත් විශාල පිරිසක් බදු දැලෙන් පැනලා ඉන්නවා. අවිධිමත් අංශයේ විවිධාකාරයේ ව්‍යාපාර කරන , ඒවගේම අනිකුත් අංශ වලින් ව්‍යාපාර කරන පුද්ගලයින් බදු දැලෙන් ඉවත්ව සිටිනවා. බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරියට කියලා තියෙනවා. නමුත් ඒ ආකාරයට ආණ්ඩුව ක්‍රියාත්මක වෙලා නැහැ. මේ නිසා රජය ඉදිරි කාලයේ දීවත් මෙය නිවැරදිව ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. මොකද බදු දැලෙන් පිරිසක් පැනලා ඉන්න නිසා බදු ගෙවන පිරිස මත බදු බර වැඩිවෙලා තිබෙනවා. ඇත්තටම මේ තත්වය මෙහෙම වෙලා තියෙන්නේ බදු එකතුකරන ආයතනවල තිබෙන හොරකම් වංචා දුෂණ නිසා. දේශීය ආදාම් දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා රේගුව , සුරාබදු දෙපාර්තමේන්තුව වැනි බදු එකතු කරන යාන්ත්‍රණ විශාල වශයෙන් දුෂිත වෙලා තිබෙනවා. ආදායම් ගෙවිය යුතු පිරිස ඉලක්ක ගතකරලා මේ අය අල්ලන්නේ නැහැ. එහෙම ඇල්ලුවත්  අතයට මුදලට ඔවුන්ව බදු දැලෙන් ඉවත් කරනවා. ඒවගේම බදු තක්සේරුකරුවො ඔවුන්ගේ කාර්ය හරියට කරන්නේ නැහැ. ඔවුන් මුදලට යටවෙලා කටයුතු කරනවා. ඒවගේම දේශපාලඥයෝ ව්‍යාපාරිකයන්ගෙන් විවිධාකාරයෙන් ප්‍රතිලාභ ලබනවා. මේනිසා නිවැරදි බදු ප්‍රතිපත්තියක් ගෙනියන්න බැරිවෙලා තිබෙනවා. නිවැරදි බදු යාන්ත්‍රණයක් ඇති කිරීම ඉක්මණින්ම සිදුවිය යුතුයි. එතැනදි විශාලම කාර්යභාරයක් තිබෙන්නේ දේශපාලඥයාට නෙවෙයි දේශිය ආදායම් බදු දෙපාර්මේන්තුවට. ඒ මිනිස්සු තමන්ගේ රාජකාරිය හරියට කරන්නෙ නැති නිසා තමයි මේ ප්‍රශ්නය තිබෙන්නේ.

මේ වෙනුවෙන් සිදුකළ යුතු වෙනස්කම් ලෙස ඔබ දකින්නේ මොනවාද?

මෙහිදී බදු ගෙවිය යුතු පුද්ගලයින් හදුනාගැනීමට රජය සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කල යුතුයි. ඔවුන් හරියාකාරව හදුනාගැනිමේන් පසුව එය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි.

ඒවගේම වංචා දුෂණයට අදාළ දැඩි නීති රීති සකස්කර ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම බදු වලට අදාළ නීති සකස් විය යුතුයි. බදු පැහැර හැරීම , බදු අවතක්සේරු කිරීම , තක්සේරුකිරීම ආදී නීතිරීති හදුන්වාදීම වැදගත්. ඒවගේම සාමාන්‍යයෙන් රජයන් බදු අයකරන්න කැමති නැහැ. මොකද එය දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන නිසා . ඒවෙනුවට කරන්නේ ණය අරගෙන අවශ්‍ය කටයුතු සිදුකරන්න යාම. අර්බුධයේ ආරම්භය වන්නේ එතැන.

මේ නිසා මහ බැංකුව ස්වාධීන ආයතනයක් කර තිබෙනවා වගේම මුල්‍යමය කටයුතු සම්බන්ධ තොරතුරුත් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි කියා මම සිතනවා. උදාහරණයක් ලෙස බදු ආදායම පවත්වාගෙන යන ප්‍රතිශතය ව්‍යවස්ථාව මගින්ම සඳහන් කර තිබිය යුතුයි. එවිට කුමන රජයක් ආවත් ඒදේවල් ක්‍රියාත්මක කරන්න රජයන් බැදී සිටිනවා. මොන රජය ආවත් බදු අයකරන්න ඔනේ ඒ්වගේම බදු මුදල් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපිට යම් විනයන් ඇති කරන්න පුළුවන් වෙිවි.

මේවනවිට රට යම් ආකාරයට ස්ථාවර වෙමින් පවතින තත්වයක් පෙන්නුම් කරනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

ඔනෑම ආර්ථිකයක් කඩා වැටුනහම එය යලි යථාතත්වයට පත්වීමට හේතු දෙකක් බලපානවා. එකක් ප්‍රතිපත්තිමය මැදිහත්වීම අනෙක කඩාවැටීම තුළින්ම ඇති කරන යම් යම් ධනත්මක තත්වයන් ඇතිවෙනවා. වර්තමානයේ අපි අත්දකින දේවල් මේ තත්වයන් දෙක නිසාම ඇතිකර තිබෙන දේවල් වෙන්නට පුළුවන්.

ඒ කෙසේවෙතත් මෑතකදී රජය ගත්තු පියවර ඉතාම සාධනීයයි. විදුලිමිල වැඩිකිරීම , ගෑස් මිල වැඩි කිරීම , ඛණිජ තෙල් මිල වැඩි කිරීම , බදු අයකිරීම රාජ්‍ය වියදම් අවම කිරීම මේ සියලු දේ සාධනීය පියවර ලෙස දක්වන්න පුළුවන්.  මෙහෙම කරන්නේ නැතිව රජයට ක්‍රියාත්මක වෙන්න බැහැ. මේ අර්බුදය තවදුරටත් වැඩිනොවෙන්නනම් එවැනි පියවර ගත යුතුමයි. මොනතරම් උද්ගෝෂණ හා අභියෝග මධ්‍යයේ උවත් එම පියවර ගැනීම ඉතාම කාලෝචිතයි. ඒතුළ මේ අර්බුධය තවදුරටත් තීව්‍රවීම වැළකුණා. නමුත් මේ ගත්තු පියවර කෙටිකාලීන පියවර. විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීමට සුදුසුකම් ලැබීමට ගත් පියවරයන්. අර්බුධය වැඩිවීම නැවැත්වීමට මෙවැනි පියවර හේතු උනත් රටේ ආර්ථිකය ඔසවා තබන්නට මෙවැනි පියවර හේතුවෙන්නේ නැහැ. මෙතැනින් එහාට ගිය සුවිශේෂි මැදිහත්වීම් අවශ්‍ය වෙනවා. ආර්ථික වර්ධනය ඇතිකරගන්නනම් රජයට පැහැදිලි සාර්ව ආර්ථික සැලැස්මක් තිබිය යුතුයි. මේවනතුරු එවැන්නක් ඉදිරිපත් කරලා නැහැ. ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමෙන් පසුව එම සැලැස්ම රටට ඉදිරිපත් කරාවි කියලා මම බලාපොරාත්තු වෙනවා. කොහොම උනත් මේ ගෙන තිබෙන පියවර සාධනීයයි. එතැනින් එහාට ගමන වේගවත් කරන්නන්ම් පැහැදිලි ආර්ථික වැඩසටහනක් රජය ඉදිරිපත් කළ යුතු වෙනවා.

මුල්‍ය අරමුදලේ තිබෙන ප්‍රතිචාර සමග රටේ ඉදිරිය කෙසේ වනු ඇතිද?

ආර්ථික වශයෙන් රටවල් ගැටළුවලට මුහුණදීමේදී ඒ සඳහා මැදිහත්වෙන යාන්ත්‍රණයක් ලෙස තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිහිටුවන්නේ. එය මුලික වශයෙන්ම ණය ලබාදෙන්නේ ආර්ථික අර්බුදතා විසදාගන්න. ලංකාව මීට පෙර අවස්ථා 16 කී මුල්‍ය අරමුදල සමඟ කටයුතු කරලා තිබෙනවා. මෙවරත් මුල්‍ය අරමුදල ලබාදුන් කොන්දේසි රජය විසින් ඉටුකර තිබෙනවා. එහිදී ණය තිරසාරභාවය පිළිබඳව සහතිකයක් ලබාගැනීම අවශ්‍යයි. එම සහතිකය ලබාගැනීමේ ගැටලු සහගත තත්වයක් තමා තවම තිබිනේනේ. මොකද චිනය මේ සම්බන්ධයෙන් සහයෝගය ලබානොදීම නිසා. ණය තිරසාරභාවය කියන්නේ රටක කටයුතු පවත්වාගෙන යමින් ණය ගෙවීමට හැකියාව ලැබෙන මට්ටම දක්වා ණය පහළ දැමීම. චීනය අත්හිටවු ණය පහසුකමක් ලබාදුන්නා. එහෙම උනත් ලංකාවේ ණය තිරසාරභාවය වෙනුවෙන් චීනය ලබාදුන්නු සහයෝගය ප්‍රමාණවත් නැහැ. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැන් සංධිස්ථානයකට පැමිණ තිබෙනවා. ඒතමයි ලංකාවට සහයෝගය දීමට ඔවුන් එකඟතාවය පලකර තිබෙනවා. ඒකොහොම උවත් ලංකාවට  අවශ්‍ය වෙනස්ම ආර්ථික මොඩලයක් ඇතිකිරීමට එය ඉතාම වැදගත්.

දරුණු ආර්ථික තත්වයක සිටින අවස්ථාවේදී ජනතාවගේ මැදිහත්වීම  වියයුත්තේ කෙසේද?‍

ඉතාමත් වැදගත් කාරණය එයයි. මොකද මේ අර්බුදයට ජනතාවක් වගකිවයුතු බව ජනතාව තේරුම්ගන්න අවශ්‍යයි . මෙය හුදෙක් දේශපාලඥයින් හෝ නිලධාරීන්මත පටවලා අත පිහදාගැනීම යුක්ති සහගත නැහැ. අඩුවැඩි වශයෙන් මේ සමාජයේ සියලුම දෙනා මේ අර්බුදයට හවුල්කරුවෝ සහ වින්දිතයෝ. ඒනිසා එය තේරුම්ගෙන අපි සියලුදෙනා මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය දේශපාලන සමාජීය සහයෝගය ලබාදිය යුතුයි. අපි දැන් ඉන්නේ එවැනි අවස්ථාවක. ඒ වෙනුවට දේශපාලන කලකෝලහල වැඩවර්ජන කිරීම තුළින් මේ අර්බුදය වඩාත් ත්‍රීවර වෙනවා. එසේ තීව්‍ර උනාම සමාජයේ බැමි ගණනාවක් කැඩි විසිවී යයි. හොරකම වංචා දුෂණ මැරකම් ගැටුම් වැඩිවේවි. මේවායේ සීමාව පැන්නොත් ආපහු රට යථාතත්වය ගැනීම හරිම අපහසුයි. ඒ නිසා මෙහි නරක පැත්ත පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්. යම් ආකාරයකින් සමාජය අස්ථාවර උනොත් රට අරාජිත වෙනවා. ඒ නිසා මහජනතාවට දේශපාලන පක්ෂ මේ සියල්ලටම මේ අවස්ථාවේදී යුතුකමක් තිබෙනවා ඡන්ද ඉල්ලනවා වෙනුවට පැහැදිලිවම ආර්ථික අර්බුදයෙන් ගැලවීමට අවශ්‍ය සහයෝගය ලබාදීම කළ යුතු වෙනවා. ඒවගේම වෘත්තිකයෝ නිරන්තරයෙන් පෙලපාලි යමින් බදුවලට විරැද්ධව කටයුතු කිරීම තුළ යම් ධනාත්මක තත්වයක් ඇති කරයි කියලා මම හිතන්නේ නැහැ. රට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔවුනුත් අවධානය යොමුකරන්න අවශ්‍යයයි. ඒවගේම ඊට සමගාමී  බදු අයකිරීම සම්බන්ධයෙන් රජය සාධාරණ වීමත් අවශ්‍යයි.  රට අද වැටීතිබෙන තත්වය අපි සියලුදෙනා වගකිව යුතුයි. ඒනිසා රට යළි යථාතත්වය පත්කි‌රීමටත් අපි සියලුදෙනා සහයෝගය ලබාදිය යුතුයි.

Previous articleබස් ගාස්තු සහනයක් ලැබෙන ලකුණු
Next articleරුපියල ශක්තිමත් වුනේ ඩීල් වලින් නෙමෙයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here