Home අද රටම උණුුසුම් කරමින් සියලු ජාතීන් වෙනුවෙන් රජය කරන්න හදන දේ

රටම උණුුසුම් කරමින් සියලු ජාතීන් වෙනුවෙන් රජය කරන්න හදන දේ

729
0

 සියලු ජනකොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලුදෙනා එකට ජීවත්වන ‍රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රිaයාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ   යාපනය දුර්ගා ශාලාවේ පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියලු ජාතීන් එකට ජීවත්වන සහ ආර්ථික සමෘද්ධිය උදාකරගත් රටක් ගොඩනැඟීමට මීට වසර 75කට පෙර ඩී.එස් සේනානායක මැතිතුමා ඇති කළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා යළි අප ගමන් කළ යුතු බවයි.

සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ ප්‍රකාශයක් පෙබරවාරි මාසයේ දී රටට ප්‍රකාශ කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා අදහස් විමසීමට පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේ දී කැඳවන බව කියා සිටියේය.

අතුරදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට සහනයක් ලබා දීම සඳහා සත්‍ය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

සංහිඳියාව මේ රටට අවශ්‍යයි. වසර 30 ක් පැවති යුද්ධය සහ කැරලි මෙන්ම, බෙදුම්වාදී, ජාතිවාදී, ආගම්වාදී සහ බංකොළොත් දේශපාලනයෙන් අපේ රට බෙදිලා තිබෙන්නේ. අපි සියලුදෙනා එක් රටක ජීවත් විය යුතු නිසා සහ ආර්ථිකය ගොඩනැංවිය යුතු නිසා මීට වසර 75කට පෙර ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතිකළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා අපි නැවත ගමන් කළයුතුයි.

මම දුටුවා මේ තෛපොංගල් උත්සවය පැවැත්වෙන වේදිකාවේ ගින්න මත තබා ඇති මුට්ටියට වතුර දානවා, කිරි දානවා, හාල් දානවා, හකුරු දානවා පොංගල් එනවා. ඉතින් මේ උණුසුම් වෙලාවේ අපි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් එකම බදුනකට දාලා ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් අරගනිමු.

උතුරේ සහ දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්න පිළිබඳ අපි සාකච්ඡා කරමින් සිටිනවා. මම පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සියලුදෙනා කැඳවලා කිව්වේ අපි මේ රට එකට එක් කරන්න වැඩකරමු, සංහිඳියාව යළි ඇතිකරමු කියලා. මම පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරු සමඟත් සාකච්ඡා කළා. ඒ වගේම රට තුළ සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ පෙබරවාරි මාසයේදී රටට ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා. එම තීරණය ගන්නා ලෙස මම පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා වගේම ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ලබන සතියේ පක්ෂ නායක හමුවක් කැඳවා තිබෙනවා.

මේ ප්‍රශ්න පැත්තකට දාලා, කල් දාලා පාපන්දු ගහල විසඳන්න බැහැ. විසඳුම රටටත්, පාර්ලිමේන්තුවටත් කිව යුතුයි. ඒකයි පළමුව පාර්ලිමේන්තුවේ අදහස් ලබා ගැනීම සිදු කරන්නේ. අපි ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කර තිබෙනවා. අතුරදන්වුවන්ගේ පවුල්වල ඥාතින්ට සහනයක් ලබා දෙන්න, සත්‍ය සොයා ගන්න, මොකක්ද වුණේ කියලා හොයා ගන්න අවශ්‍යයි. ඒ වගේම මේ පිළිබඳ සොයා බලන්න සත්‍ය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරනවා.

මීට සති 03කට පෙර මම හමුදාපතිවරයාගෙන් ඇහුවා සත්‍ය සහ සංහිඳියාව කොමිසම ඇති කරන්න යනවා මොකක්ද ඔබලගේ අදහස කියලා. ඒක හදන්න සර් එතකොට අපට තිබෙන චෝදනාවලටත් පිළිතුරු දෙන්න පුළුවන් කියලා කිව්වා හමුදාපතිවරයා කිව්වා. මේ පිළිබඳ කාගෙවත් විරුද්ධත්වයක් නැහැ.

ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අපි නව නීතියක් ගේනවා. සමහරු කියනවා මේ පනත උතුරට විරුද්ධව යොදවනවා කියලා. එහෙම නෙවයි, අපි මේක යොදවන්නේ රටේ ස්ථාවරභාවය ඇති කරන්න. මට පසුගිය වසරේ මේක දකුණට යෙදවීමට තිබුණා. ඒ වගේම අපි නව නීති ගේනවා.

ඊළඟට තිබෙන්නේ ඉඩම් ප්‍රශ්නය. වනජීවි දෙපාර්තමේන්තුව සම්බන්ධව ඇති වී තිබෙන ප්‍රශ්න අද අපි සාකච්ඡා කරනවා. ඒ වගේම යාපනයේ ඉඩම් නැවත ලබාදීම පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා.

යුද්ධය පැවති කාලයේ දී මේ ප්‍රදේශ ආරක්ෂා කරගන්න ඕන නිසා යුද හමුදාව අක්කර 30,000ක් පමණ තමන්ගේ යටතේ පවත්වාගෙන ගියා.

අද ආරක්ෂක හමුදාව යටතේ ඉතිරිවෙලා තිබෙන්නේ අක්කර 3,000යි. එයිනුත් තව කොටසක් භාරදීමට හමුදාව කැමැත්ත පළ කර තිබෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. උතුරේ පමණක් නොවෙයි දකුණේ මහ ඇමතිවරුන් පවා එය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා අපි ඒ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඊළග වස‍ර දෙකේ දී අපි මේ වැඩ කොටස ක්‍රමානුකූලව කරගෙන යමු. අද දිළිදුකම, බඩගින්න, විරුකියාව සිංහල අයටවත්, දෙමළ අයටවත් සීමා වෙලා නැහැ, අපි සියලුදෙනා දුක් විඳිනවා. අපි සියලුදෙනා එක්වෙලා මේ අභියෝග ජය ගත යුතුයි.

Previous articleබිත්තර නිෂ්පාදකයෝ මාෆියාවක් ගෙන යනවා
Next articleකොටුවේ බෝ ගහ යට මම ටින් එකක් හොලව හොලව ඉන්නද? – මෛත්‍රී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here