Home අද 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක්

100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක්

692
0

රටේ ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ සමඟ 75 වන ජාතික නිදහස් උළෙල අභිමානවත් අයුරින් සැමරීමට රජය තීරණය කර තිබෙනවා.

“නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ පැවත්වෙන මෙම අභිමානවත් උළෙලේදී 2048 වසරේ 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.

ජාතික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 04 වනදා පෙ.ව 8.30ට ගාලුමුවදොර පිටියේ දී ආරම්භ කෙරේ.

නිදහස් චතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ පිළිරුවට මල්දම් පළඳවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ජාතික විරුවන්ගේ ප්‍රතිමා සඳහා පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව උත්සව කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව සංස්කෘතිකාංග සහ ආගමික වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සංවිධාන කර තිබීම ද විශේෂත්වයකි.

ඒ අනුව බෞද්ධ ආගමික වතාවත් පෙබරවාරි මස 02 වන දින සන්ධ්‍යාවේ ශ්‍රී දළදා මන්දිරයේ දී සිදු කෙරෙන අතර, එදිනම රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනය වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ දී රාත්‍රී 9.00ට ආරම්භ කෙරේ. පසුදා උදෑසන හීල් දානමය පිංකමක් ද සිදු කිරීමට නියමිතය.

කතෝලික ආගමික වතාවත් මරදාන ෆාතිමා දේවස්ථානයේ පෙබරවාරි මස 04 වන දින උදෑසන 6.30ට සිදු කෙරෙන අතර, ක්‍රිස්තියානි ආගමික වතාවත් එදින එම වේලාවටම ගාලුමුවදොර ක්‍රිස්තියානි දේවස්ථානයේ දී සිදු කෙරේ. හින්දු ආගමික වතාවත් පෙබරවාරි 03වන දින උදෑසන ත්‍රීකුණාමලය දක්ෂිණ කෛලාෂ් හෙවත් කෝණේෂ්වරන් කෝවිලේදී සිදු කෙරේ. මුස්ලිම් ආගමික වතාවත් පෙබරවාරි 04 වන දින පෙ.ව 10.00ට කොළඹ මහ පල්ලියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ අතර කොළඹ දී ද බෞද්ධ හා හින්දු ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙන අතර, ඒ අනුව පෙබරවාරි 04 වනදා ‍පෙ.ව 6.30ට කොළඹ 03, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේ දී බෞද්ධ ආගමික වැඩසටහනක් ද, කොළඹ 04 බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේදී හින්දු ආගමික වැඩසටහන් ද සංවිධාන කර තිබේ.

ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී මාර්තු මාසයේ පැවැත්වීමටත්, කපිල වස්තු සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය මැයි මාසයේ කොළඹ නගරයේ දී පැවැත්වීමටත්, චීනයේ වැඩසිටින සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය ජුනි මාසයේ දී අනුරාධපුර නගරයේ දී පැවැත්වීමටත්, පාකිස්ථානයේ වැඩසිටින සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය ජූලි මාසයේ දකුණු පළාතේ දී පැවැත්වීමටත් මීට සමගාමීව කටයුතු සංවිධාන කර තිබේ.

මීට අමතරව 75 වන නිදහස් දිනයට සමගාමීව සංවිධාන කෙරෙන විශේෂ සංස්කෘතික කලා මංගල්‍යය “ලංකාරලංකා” රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කලා ශිල්පීන් 750කගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 03 වනදා ප.ව 7.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දි පැවැත් වේ.

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය පෙබරවාරි 11 වනදා උදෑසන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිටින් ඇරඹෙන සංස්කෘතික පෙරහර යාපනය නගරය හරහා වීදි සංචාරය කොට, යාපනය කොටුව අසළින් (පැරණි බස් නැවතුම්පොළ භූමිය) අවසන් කෙරේ. අනතුරුව එහිදී සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වෙන අතර එදින රාත්‍රියේ එම ස්ථානයේම විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ සියලු නර්ථන සම්ප්‍රදායන් එක් රැස් කරමින් වීදි සරන ජනරජ පෙරහර පෙබරවාරි 19 වනදා රාත්‍රියේ මහනුවර නගරයේ දී ශ්‍රී දළදා මාළිගාවේ පූර්ණ දායකත්වය සහිතව පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

නිදහස සම්බන්ධ විනාඩි 30ක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර සියලු සිනමාහල්වල හා රංග ශාලාවල ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර ඇති අතර තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් “නිදහස” තේමාව කරගත් කෙටි නාට්‍ය, දේශාභිමාන ගීත, චිත්‍ර තරග ඇතුළු නිර්මාණ තරගාවලියක් මැයි මාසයේ දී පැවැත්වීමට සංවිධානය කර තිබේ.

Previous articleරටේ ආර්ථිකය නිවැරදි දිශාවකට ගෙන ඒමේ මාවත මෙම වසරේ අපට විවෘතයි – ජනපති
Next articleකොළඹ අල්ලන්නට ආ අරගලකරුවන්ට සිදු වු දේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here