Home අද “මේ පරිසර තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි” – වෛද්‍ය...

“මේ පරිසර තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි” – වෛද්‍ය අනිල් ජාසිංහ

724
0

මේ වනවිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින වායු දූෂණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක් පළඳින්නැයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ අවදානම් කණ්ඩායම් හැකිතාක් නිවෙස්වලට වී පසුවන්නේ නම් ආරක්ෂාකාරී බවය.

“මේ අවස්ථාවේ වාතයේ ගුණාත්මක තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළඟ නිසා.”

“දැනට වාර්තාවෙලා තියෙන ආකාරයට ප්‍රධාන නරගවල මෙම නරක වායු තත්ත්වය වාර්තා වෙනවා. කොළඹ, යානපය, රත්නපුරය, පුත්තලම, මහනුවර, වව්නියාව ආදී නගරවල.”

“මේ පරිසර තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.”

“මේ අවස්ථාවේ වයස්ගත උදවිය, කුඩා දරුවන්, හෘද රෝගීන්, පෙනහලු රෝගීන් නිවෙස්වලින් පිටතට යෑම පුළුවන් තරම් සීමා කරනවා නම් හොඳයි.”

“ඒ වගේම මේ වගේ අවස්ථාවකදී මුඛ ආවරණයක් දැමීම වැදගත් වෙනවා.”

ජාතික ගොඩනැඟිලි පරීක්ෂණ ආයතනයේ පරිසර අංශය පවසන්නේ බෙංගාල බොක්කේ පවතින අඩුපීඩන තත්ත්වයත් සමග සුළං හැමීමේ වෙනසක් සිදුවී ඉන්දියාවේ වායු දූෂක ප්‍රමාණයක් මෙරට වායුගෝලයේ පැතිරී ඇති බවය.

එහි අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා මෙම අදහස් පළ කළේ, මෙරට බොහෝ ප්‍රදේශවල සිදුවී ඇති වායු දූෂණය පිළිබඳ හේතු පැහැදිලි කරමිනි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ වායු දූෂණය ඉහළ යාමට ප්‍රධානතම හේතුවවී ඇත්තේ, යාබඳ ප්‍රාන්තවල ගොවීන් අස්වනු නෙළීමෙන් අනතුරුව පිදුරු ආදී අවශේෂ පුළුස්සා දැමීමය.

ඉන්දියාවේ දීපාවලී හින්දු ආගමික උත්සවය වෙනුවෙන් ගිනිකෙළි දැල්වීමෙන් පිටවූ කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායුන් ද වායුගෝලයට එක්වීමෙන් මෙම තත්ත්වය මාරාන්තික මට්ටමකට උග්‍රවී තිබේ.

දිල්ලි අගනුවර වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ අහිතකර සියුම් අංශු 400ක් පමණ හඳුනාගෙන ඇති අතර, එය සාමාන්‍යයෙන් පැවතිය යුතු වන්නේ අහිතකර වායු අංශු 50ක උපරිමයකය.

කෙසේවෙතත් වෙනත් වසරවලට සාපේක්ෂව මේ වසරේ ප්‍රබල වායු දහරා දකුණු දෙසට ක්‍රියාත්මකවීමත් සමග එම දුමාරය දිල්ලියෙන් ඉවතට ගොස් මේ වනවිට ඉන්දියාවේ තමිල්ණාඩු ඇතුළු දකුණුදිග ප්‍රාන්තවලට දැඩි බලපෑමක් එල්ලකර තිබේ.

පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාවද මේ අත්විඳින්නේ ඒ දුමාරයේ බලපෑමය.

ඒ අනුව කොළඹ නගරය ඇතුළු මෙරට ප්‍රධාන නගර කිහිපයක මේ වනවිට වායු දූෂණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

යම් ප්‍රදේශයක වායු තත්ත්ව මාපාංකය 0 සිට 50 දක්වා දැක්වෙනවා නම් එය යහපත් වායු තත්ත්වයක් ලෙස ද ඉන් ඉහළ අගයන් ක්‍රමයෙන් දූෂිත වූ වායු තත්ත්වයක් ලෙස ද සැලකේ.

යම් හෙයකින් එය මාපාංක 151 ඉක්මවන්නේ නම් එය ප්‍රබල අයහපත් වායූ දූෂණ තත්ත්වයක් ලෙස සැලකෙන අතර බොහෝ දෙනෙකුට ඉන් විවිධ රෝග ලක්ෂණ ඇති කළ හැකිය.

තත්ත්වය එසේ තිබියදී ගම්පහ නගරයේ වායු තත්ත්වය මේ වනවිට දැක්වෙන් එහි මාපාංක 200 මට්ටමේය.

කොළඹ නගරයේ එය මාපාංකය 185ක් ලෙසත්, යාපනයේ 175ක් ලෙසත්, ගාල්ලේ වායු මාපාංක 164ක් ලෙසත් දැක්වෙයි.

දිවයිනේ වෙනත් පළාත්වලටද වායු දූෂණයේ බලපෑම එල්ලවී තිබුණි.

කෙසේවෙතත් නුවරඑළිය ප්‍රදේශයේ වායු තත්ත්ව මාපාංක මට්ටම 21ක් ලෙස දැක්වෙන අතර එය ඉතා යහපත් මට්ටමක පවතී.

Previous article“ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා. ඒ් නිසා අනාගතය හොඳ වෙනවා” – ජනපති
Next articleමහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිට ජනපතිගෙන් දෝස්මුරයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here