Home අද මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර මුළු ප්‍රමාණයම ලැබිලා

මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර මුළු ප්‍රමාණයම ලැබිලා

746
0

මෙවර මහ කන්නයේ වී වගාවට අවශ්‍ය සම්පූර්ණ බන්ඩි පොහොර (MOP – Muriate of Potash) ප්‍රමාණයම එකවර ඊයේ දිනය (05) තුළ රටට ලැබී තිබෙනවා.

වාරිමාර්ග හා මහවැලි අමාත්‍යාංශය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩ සටහනට ( Mahaweli Water Security Investment Programme) අයත් මුදල් ප්‍රතිපාදන වැය කරමින් මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බන්ඩි පොහොර මිල දී ගැනීමට එම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙට්‍රික් ටොන් 41,876කින් සමන්විත එම සමස්ත බන්ඩි පොහොර තොගය වාරිමාර්ග හාමහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඊයේ (05) පස්වරුවේ නිල වශයෙන් බාර දෙනු ලැබීය. එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ද සහභාගි විය.

ඇමරිකානු ඩොලර් මිලියන 40ක වියදමින් මෙම බන්ඩි පොහොර තොගය කැනඩාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබ තිබේ.

අප රටේ වී වගාව සඳහා ගොවි ජනතාවට බන්ඩි පොහොර ලබා දෙන්නේ කන්න දෙකකට පසුවය. 2021 මහ කන්නයේ රසායනික පොහොර තහනමින් අනතුරුව 2022 යල කන්නයේ ද බන්ඩි පොහොර ආනයනය කළේ නැත. එමනිසා 2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර භාවිතා කිරීම මගින් වී වගාවේ ඉහළ අස්වැන්නකට හේතූ වනු ඇත.

මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වාරිමාර්ග අමාත්‍යාංශය සතු ව්‍යාපෘතියක ඩොලර් වැය කරමින් කෘෂිකාර්මික ජනතාවට බන්ඩි පොහොර ලබා දීමට කටයුතු කළ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට සමස්ත ගොවි ජනතාවගේ කෘතඥතාවය හිමි විය යුතු යැයි ප්‍රකාශ කළේය.

එමෙන්ම ගොවි නියෝජිතයින් යැයි කියා ගන්නා ඇතැම් දේශපාලන පක්ෂවල ගොයි මහත්තුරු තමන්ට මෙන්ම රජයටත් දොස් තබමින් කිසිදු පොහොරක් මෙවර මහ කන්නයට නොලැබෙන බව පවසමින් මෙරට ගොවි ජනතාව අකර්මණ්‍ය කිරීමට උත්සාහ දැරුවත් එම උත්සාහයන් අසාර්ථක වී ඇතැයි ද සඳහන් කළේය.

“අපේ රටේ ගොවි ජනතාව වගා බිම්වලට බැසීම වැළැක්වීමට සමහරු උත්සාහ කළා. නමුත් මේ වනවිට සියලු ගොවි ජනතාව කුඹුරුවල වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. කවර දේශපාලන පක්ෂයක් වුවත් කෘෂිකර්මාන්තයේ යෙදෙන ජනතාව අකර්මණ්‍ය නොකළ යුතුයි. ලබන වසරේ දී පිටරටින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපේ ගොවි ජනතාව රටට අවශ්‍ය සහල් නිෂ්පාදනය කරනවා.

මෙම කන්නයේ දී මඩ පොහොර ලබා දීමට සැළසුම් කළත් ඒවා මිල දී ගැනීමට තැනක් නැහැ. මඩ පොහොර වැඩි පුරම නිපදවන්නේ යුක්රේන් හා බෙලාරුස් වැනි රටවල්. නමුත් යුද්ධය නිසා ඒ අය ත්‍රිත්ව සුපිරි පොහොර ඒ රටවලින් වෙනත් රටවලට යවන්නේ නැහැ. නමුත් දැන් අපිට මඩ පොහොර තොගයක් ලැබීමට නියමිත නිසා ලබන මහ කන්නයේ වැඩ කටයුතු ආරම්භ වීමට පෙර අපි නොමිලයේ ම ගොවින්ට මඩ පොහොර ලබා දෙනවා” යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය

Previous articleපාර්ලිමේන්තුවේ ඉදිරි වැඩ වෙනහැටි
Next articleLPL ඇරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here