Home අද පරිවාස සහ ළමාරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු සොයාබැලීමට  ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි

පරිවාස සහ ළමාරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු සොයාබැලීමට  ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි

671
0

මෙරට පවතින පරිවාස සහ ළමාරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු සොයාබැලීම සදහා “ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය” සහ පරිවාස හා ළමාරක්ෂණ සේවා පළාත් කොමසාරිස්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එම සංසදයේ සභාපතිනිය වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි   රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්   පැවති මෙම රැස්වීමට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතා ඇතුළු කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. එසේම දිවයින පුරා සිටින පරිවාස හා ළමාරක්ෂණ සේවා පළාත් කොමසාරිස්වරු මාර්ගගත තාක්ෂණය (Online) ඔස්සේ රැස්වීම සමග සම්බන්ධ වූහ.

මෙහිදී දිවයිනේ සියලු පළාත්වල පරිවාස හා ළමාරක්ෂණ සේවා කොමසාරිස්වරු සිය ගැටලු සහ යෝජනා සංසදය වෙත ඉදිරිපත් කළ අතර අදාළ යෝජනා සතියක් ඇතුළත “ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයට” මෙන්ම එහි පිටපතක් අදාළ අමාත්‍යාංශයටද ලිඛිතව ලැබීමට සලස්වන ලෙස රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය උපදෙස් දුන්නාය.

එසේම මේ යෝජනා විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාට  ඉදිරිපත් කර  කඩිනමින් විසදුම් ලබා දීම සදහා “ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය”  මැදිහත් වන බවද ඇය   පැවසුවාය.

න්දිත දරුවන්ට නෛතික කටයුතු සදහා දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට සිදුවීමේදී ඇතිවන අපහසුතාව මගහරවා ගැනීමට පරිවාස නිලධාරීන්හට සාම විනිසුරු පත්වීම් ලබා දීමේ අවශ්‍යතාව පිළිබදව මෙහිදී සාකච්ඡා විය. සංසදයේ සභාපතිනිය මෙහිදී පවසා සිටියේ මේ පිළිබදව අධිකරණ අමාත්‍යතුමා සමග සාකච්ඡා කොට මීට අදාළ පියවර ගැනීමට කඩිනමින් මැදිහත් වන බවයි.

පරිවාසගතවන දරුවන් සමාජගත කිරීමේදී පවතින ගැටලු පිළිබදව පළාත් කොමසාරිස්වරු මෙහිදී සංසදය දැනුවත් කළහ.  මේ අනුව පරිවාසගත දරුවන් සමාජයට වැඩදායි පුරවැසියන් ලෙස හැඩගැස්වීම සදහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සංසදය පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.  එසේම විශේෂ වෘත්තීය පුහුණු වැඩසටහන් හරහා මෙම දරුවන් පුහුණු ශ්‍රමිකයන් ලෙස සමාජගත කිරීම සදහා ද යෝජනා ඉදිරිපත් කරන ලෙස දන්වන ලදී.

මාධ්‍ය තුළ වින්දිත දරුවන් නිරාවරණය වීම වැළැක්වීමේ අවශ්‍යතාව ද  මෙහිදී සාකච්ඡා විය. මීට අදාළ නෛතික විධිවිධාන සහිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අධිකරණ අමාත්‍යතුමා සංසදයට දැනුම් දී  ඇති   බවත් එම කටයුතු සදහා මැදිහත් වන බවත් විජේරත්න මහත්මිය පැවසුවාය.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට මෙන්ම  පරිවාස පළාත් කොමසාරිස්වරුවන්ට අදාළ වන පරිදි   ක්‍රියාකාරී සැලැසුම් ද්විත්වයක් පිළියෙල කරන ලෙසද සංසදයේ සභාපතිනිය විසින්  මෙහිදී උපදෙස් දෙන ලදී.

එසේම පරිවාසගතවන දරුවන් මෙන්ම දරුවන් පරිවාසගත වීම වැළැක්වීම සදහා ඉදිරි වසර පහක් සදහා ජාතික වැඩපිළිවෙලක් සකස් කරන ලෙස  ද සංසදය අදාළ  අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

පරිවාසගත දරුවන්ගේ පෝෂණය සහ ආරක්ෂාවට අදාළ ගැටලු පිළිබදව ද නිරතුරුව අවධානය යොමුකළ යුතු බවද සභාපතිවරිය මෙහිදී අවධාරණය කළාය.

තවද  පරිවාස හා ළමාරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු සහ ප්‍රගතිය පිළිබදච සාකච්ඡා කිරීම සදහා මාස හයකට වරක් “ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය” හා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂා කරන බවද සංසදයේ සභාපතිවරිය පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  වීරසුමන වීරසිංහ,  රාජිකා වික්‍රමසිංහ හා   මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous articleවාමාංශික ව්‍යාපාරය කම්කරුවාගේ අයිතිය අරගෙන හිටිය නිසා කම්කරුවා හැමදාමත් දුප්පත් වුණා – මනුෂ නානායක්කාර 
Next articleලංකාවේ ගෙවල් හයක් ඩොලර් වලට විකිණෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here