Home අද මැතිවරණ ප්‍රචාරණයට වැඩියෙන් වියදම් කළොත් මන්ත්‍රීධුරය අහෝසියි

මැතිවරණ ප්‍රචාරණයට වැඩියෙන් වියදම් කළොත් මන්ත්‍රීධුරය අහෝසියි

696
0

මැතිවරණයකට ඉදිරිපත්වන කිසියම් අපේක්ෂකයෙක් අනුමත මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළහොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි කල හැකි පරිදි නීතිමය ප්‍රතිපාදන ඇතුලත් මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධි විධාන සැලැස්වීමේ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සාධාරණ ලෙස සමාජයට සේවය කල හැකි නිවැරදි තීන්දු ගැනීමට තිබෙන ඉඩ කඩ සීමා කරමින් රුපියල් කෝටිගණන් මුදල් වියදම් කර ජනතාවට නොමග යවමින් සැබෑ ජනමතය විකෘති කරන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අරමුණු කරගනිමින් මෙම කැබිනට් පත්‍රිකාව තමන් ඉදිරිපත් කල බව අධිකාරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (22) කොළඹදී පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවෙමින් ඇමති විජේදාස රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“මෙම ගැටළුව සමානුපාතික ක්‍රමය ඇතිකරපු දවසෙ ඉඳල තියෙන ප්‍රශ්නයක්. මැතිවරණය සඳහා රුපියල් කෝටිගණන් වියදම් කරනවා. මෙම තත්වය වෙනස් වෙන්න ඕන කියල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එදා සිටම ප්‍රකාශ කලා. මෙහෙම රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කරන්නෙ කොහොමද? ඒවා දුන්නෙ කවුද? ලැබුනෙ කොහෙන්ද කියල ජනතාව දන්නෙ නැහැ.

මෙහෙම මුදල් වියදම් කරන අයට විශේෂ වරප්‍රසාද ලැබෙනවා. අපේ රටේ ජනමාධ්‍ය සංස්කෘතියත් මේකට බලපානවා. බොහෝ දෙනෙක් දිගින් දිගටම කියන්නේ කොට්ඨාසයට වග කිව යුතු මන්ත්‍රීවරයෙක් සිටිය යුතු බව. කොට්ඨාසයට සෘජුව අයිති මන්ත්‍රීවරයෙක් ඉන්නවනම් මේවා ජනතාවට ප්‍රශ්න කරන්න පුලුවන්.

මේ සම්බන්ධයෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කිසියම් වෙනසක් කරන්න උත්සාහ කලත් එය අහෝසි වී යාමත් සමග එම කටයුත්ත යටපත් වුනා. මෙම නව නීතිය ක්‍රියාත්මක වීමට පටන්ගත් පසු මැතිවරණය සඳහා තමන්ගේ බලය භාවිතා කරල රජයේ වාහන සේවකයන් සම්පත් යොදා ගැනීම තහනම් වෙනවා.

තමන්ට මුදල් ලැබුණු ආකාරයත් වියදම් කර ඇති ආකාරයත් සම්බන්ධයෙන් මැතිවරණයෙන් සති තුනකට පස්සේ ආදාල අපේක්ෂකයා ගිණුම් සාරාංශයක් ලබා දිය යුතුයි. එය ලබා දිය යුත්තේ දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන්. එහි ඇතුලත් තොරතුරු වැරදි බව ඔප්පු වුවහොත් දණ්ඩනීති සංග්‍රහය යටතේ දඩුවම් ලබා දිය හැකි වෙනවා.

ලෝකයේ ප්‍රශස්ථ ප්‍රඡාතන්ත්‍රවාදය තිබෙන රටවල් මෙම නීති රීති ක්‍රියාත්මක කරල තියෙනවා. අපි රටක් ලෙස ඉදිරියට යාමට අපේක්ෂා කරන්නේ නම් අපි කල යුත්තේ මෙවැනි නීති ප්‍රතිසංස්කරණය හරහා එම සමාජ පරිවර්තනය සිදු කිරීමයි. දේශපාලන සංස්කෘතිය මේ අයුරින් වෙනස් කිරීම තුල ජනතාව නොමග යවා සැබෑ ජනමතය විකෘති කරන පුද්ගලයන් දේශපාලන සංස්කෘතියෙන් ඈත්කල හැකි වෙනවා. මෙම නීතිය ජනාධිපතිවරණයට, පාර්ලිමේන්තු මැතිවරණයට, පළාත් සභා මැතිවරණයට, පළාත් පාලන මැතිවරණයටත් අදාල වෙනවා.”

Previous articleP 627 නෞකාව ජනපති ප්‍රදානත්වයෙන් “විජයබාහු” නමින් අධිකාරියට පත්කරයි
Next articleශ්‍රී ලංකාවේ හෙදියන් 4000කට සිංගප්පූරුවේ රැකියා වරම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here