ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ලංකාගමනයට සමගාමීව දඹුල්ලේ විවෘත කෙරුණු කෘෂි ගබඩාවේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා එක්වූ අතර ඒ ආශ්‍රිත අඩුපාඩු රැසක් එහිදී අනාවරණය කෙරිණ.
කෘෂි ගබඩාව මෝදි අගමැති සහ ජනාධිපති අනුර විසින් විවෘත කළ දිනයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට දුරකථන ඇමතුමක් ගෙන ” කාශ්‍යප ධාතුසේන රජුට කළ දේ, අනුර හර්ෂට කරලා” යි කියා පැවසූ බවද මන්ත‍්‍රීවරයා සිහිපත් කර සිටියේ ය.
දඹුල්ල කෘෂි ගබඩාව වෙත ගිය නිරීක්ෂණ චාරිකාව සිය ෆේස්බුක් ගිනුමට සජීව වීඩියෝවක් නිකුත්කරමින් මන්ත‍්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේය .
අදාළ කෘෂිකර්ම ගබඩාව “උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ” ලෙස නම් කර ඇති නමුත් එය නිවැරදි නොවන බව පෙන්වාදුන් මන්ත‍්‍රීවරයා එහි නම ” උෂ්ණත්ව සහ තෙතමන පාලිත කෘෂිකර්ම ගබඩාව ” ලෙස වියයුතු බවද පෙන්වා දුන්නේය.
නාමපුවරු වෙනස් කළද ඒ වෙත අලුතින් එක්කල කිසිවක් නොමැති බවත් සියල්ල තමන්ගේ සමයේ නවත්වනු ලැබූ ලෙසම පවතින බවත් ඔහු සඳහන් කළේය.
විජලන , ජූස්, සෝස් හැදීමට වෙන්කර තිබූ කොටස් ඇතමුන් වැටවල් ගසා මේ වන විටත් වෙන්කරගෙන ඇති අතර ඒවා බෙදාගත් ආකාරයේ නෛතික තත්ත්වය සෙවිය යුතු බවත් ඒ සම්බන්ධව තමන් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා පැවසීය.