Home අද අනුරගේ දූෂණ විරෝධය කරූගේ පැසසුමට : රනිල්ගේ සහ විජේදාසගේ වැඩත් අගයයි !

අනුරගේ දූෂණ විරෝධය කරූගේ පැසසුමට : රනිල්ගේ සහ විජේදාසගේ වැඩත් අගයයි !

68
0

අල්ලසින් හා දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා ජනාධිපතිවරයා දක්වන වන ප්‍රයත්නයට සිවිල් සමාජ සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඒකමතිකව සුබ පතන බව එහි නායක, හිටපු කතානායක කරූ ජයසූරිය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කරන අතර අල්ලස හා දූෂණයට එරෙහිව නව නීති බලාත්මක කිරීම සඳහා මෙන්ම අදාළ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිදුකළ කාර්‍යභාරය ද එහිදී සිහිපත් කර තිබේ.

ඒ සම්බන්ධව වන නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලස්ම වැදගත් මෙන්ම ජාතියේ ඇගයුමට ලක්විය යුතු පියවරකි.

ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉමහත් බාධාවක්ව පවතින අල්ලස හා දූෂණය තුරන් කිරීමේ අරමුණ පෙරදැරිව දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මක් එළි දැක්වීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතාමත් ඉහළින් අගය කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අල්ලස හා දූෂණය රටින් තුරන් කිරීම සඳහා අපේක්ෂා සහගතව සිටින පොදු ජනතාවගේ බලාපොරොත්තු මෙම වෑයම හරහා ඉටු වනු දැක්ම අපගේ ද ප්‍රාර්ථනය වන බව සඳහන් කරනු කැමැත්තෙමු.

එමෙන්ම මෙම කාර්යයේදී මූලිකත්වය ගෙන කටයුතු කරන ගරු ජනාධිපති තුමාගේ නායකත්වය අප ඉහළින්ම අගය කරන්නෙමු.

එමෙන්ම මෙම වැදගත් උත්සාහය අප සලකන්නේ 2000 වසරේදී රෝපනය කරන ලද 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මුළපුරන ලද අපේක්ෂාවහි එක්තරා පළ දැරීමක් ලෙසටය. එහිදී මේ රටේ සිවිල් සමාජය උදාර අරමුණු පෙරදැරිව යහපත් ආණ්ඩුකරණ රාමුවක් උදෙසා රජයට ද මඟ පෙන්වමින් සියළුම දේශපාලන ප්‍රවාහයන් සමග එකට එක්ව ක්‍රියා කළ ආකාරය ද අපට සිහිපත් වේ.

එදා ඒ සඳහා අනුපමේය දායකත්වයක් ලබා දුන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙකු අද වන විට ජීවතුන් අතර නැත. ඒ සියළුම දෙනා අපි මේ මොහොතේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.

එමෙන්ම අල්ලස හා දූෂණයට එරෙහිව නව නීති බලාත්මක කිරීම සඳහා මෙන්ම අදාළ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ සමාජය තුළින් මතු වූ බලවත් හඬට කන්දෙමින් ඒ සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග සඳහා හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පිට වැදගත් වැඩ කොටසක් සිදු කරන ලද හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ රටේ සිවිල් සමාජ සංවිධාන සමග එක්ව කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය වන බව සිහිපත් කිරීම අපගේ යුතුකමකි. එමෙන්ම අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් ඒ සඳහා ලැබුණු සහය අගය කල යුතු වේ.

ඒ අනුව වර්ථමාන රජයේ ප්‍රමුඛතම අරමුණක් වන අල්ලසින් හා දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා වන ප්‍රයත්නයට සිවිල් සමාජ සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඒකමතිකව සුබ පතන අතර ගරු ජනාධිපතිතුමා එහිදී ප්‍රර්දර්ශනය කරන දැවැන්ත අධිශ්ඨානය කෙරෙහි ප්‍රශංසා කරන්නෙමු.

කරු ජයසූරිය
නායක- සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Previous articleකලා කෙත අස්වද්දන වැඩක් : මියයන කලාකරුවන්ට උසස් අවමංගල්‍ය ශාලාවක් !
Next articleNPP කියලා පාර්ලිමේන්තු පැමිණි සමහරුන්ව මම දන්නෙත් නෑ : ලාල් ඇත්තම කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here