අලුතින් වාහන ආනයනය කිරීමේ දී 2020 වසරට සාපේක්ෂව 45% කට වඩා වැඩි ප්‍රතිශතයකින් වාහන මිල ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවෝ පවසති.
එවැනි විශාල අගයකින් වාහන මිල ඉහළ යෑමට හේතු වී ඇත්තේ එක්සයිස් (EXeise-S-P-L) බද්ධ ඉහළ යෑම, එකතු කළ අගය මත බද්ද අය කිරීම, සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වන බද්ධ වැඩිවීම වැනි හේතූන් නිසා මෙලෙස වාහන මිල ඉහළ යන බව වාහන ආනයනකරුවෝ පිරිසක් පැවසූහ.
එන්ජින් ධාරිතාවය 2000 සහ 2500 ඉක්මවන වාහන සඳහා මීට පෙර සුඛෝපභෝගී බද්ධ අය කරනු ලැබූවද, නව රෙගුලාසි යටතේ එන්ජින් ධාරිතාව 1500 ඉක්මවන වාහන වලට ද, බද්ධ අය කිරීමට සැලසුම්කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.
මේ වන විට රටේ ඇති භාවිත කරන ලද වාහන මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, රජය යම් හෙයකින් බදු අඩු කරන්නේ නම්, වාහනයක් මිලදී ගැනීමේ සිහිනය දකින ජනතාව වෙනුවෙන්, ඒ සඳහා සහන සලසා දීමට හැකි වනු ඇති බවත්, වාහන ආනයනකරුවෝ වැඩි දුරටත් පෙන්වා දෙති.
ලබන පෙබරවාරි මාසයේ සිට ආනයනය කරන වාහන සඳහා වන බදු ප්‍රතිශතයන් විශේෂ ගැසට් නිවේදනයක් මගින් රජය ප්‍රකාශයට පත් කර ඇත. එම බදු ප්‍රතිශතයන්ට අනුව ආනයනය කරන වාහන මිල ගණන් 15% ත් 20%ත් අතර ප්‍රමාණයකින් ඉහල යනු ඇති අතර ඊට වැට් එකතුවීමෙන් වාහන මිල තවත් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10 කට නොවැඩි වාහන සඳහා 200%- 300% ක ප්‍රතිශතයකින් බදු ඉහල දමා ඇත. මේ අනුව ඉදිරියේදී වැට් සහ බදු එකතු කළ විට වාහන සඳහා බදු 60% කින් පමණ ඉහල යනු ඇති බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති.